Pages

Thursday, August 24, 2017

නුඹේ අම්මා කොතැන ගියා... සයිබර් ගග දිගේ ගියා | -- Srilankan Moms ෆේස්බුක් පිටුව කියවීම



නූතන 21 වන සියවසේ මව්වරුන්ට සිය වෘත්තිය කාර්යබහුලත්වය හමුවේ, සිය දරුවා වෙනුවෙන් ලග රැඳී සිටීමේ අවශ්‍යතාවය ක්‍රම ක්‍රමයෙන් අවම වේගෙන යන ආකාරය සීග්‍රව දැකිය හැකිවේ. මගේ මිත්තනියගේ කාලයේ දූ දරුවන් දෑහේ මූණේ තබා හැදුවාට මගේ මවට අප වෙනුවෙන් එලෙසින්ම කටයුතු කරන්නට නොහැකි විය.  ඇයද රැකියාවක් කළ මවක් හෙයිනි.  එහෙයින් අප රැකබලා ගැනීමේ කාර්ය සිදු කලේ මගේ මවගේ ඥාතීන් විසිනි. මාමලා, පුංචි අම්මලා, නැන්දලා සමූහයක් මගේ ලමා විය ඔපවත් කලහ. වර්ණාවක් කලහ. එහෙත් මාගේ දියණියට එවැනි සංකීර්ණ පවුලක් හිමි නොවීය. ඇය හැදෙන්නේ තනිවය. වර්තමාන පවුල සහ පවුල් සංස්ථාව මවගේ හා පියාගේ කාර්ය බහුලත්වය මත හුදකලා භාවයේ ඛේදවාචකයට ලක්වෙමින් තිබේ.

නූතන මිත්තනියගේ රික්තකයට පැමිණි සයිබර් අවකාශය

මෙසේ හුදකලා වන දහස් ගණනක් වූ නූතන මව්වරුන් හට පෙර මෙන් දරුවන් සෑදීමේදී නැන්දලා, පුංචි අම්මලා, ලොකු අම්මලා, ආත්තම්මලාගේ වටිනා කියන්නා වූ සාරගර්භ උපදෙස් නොලැබේ. එක්කෝ ඔවුන් වෙසෙන්නේ ග්‍රාමීයවය.  නැතහොත් එසේ හමු වීමට දෙමාපියන්ගේ වෘත්තීය කාර්ය බහුලත්වය ඉඩ නොදේ. කුමක් හෝ හේතුවක් මත, යම්කිසි මවකට තම  මව්පියන් සමඟ විසීමට හැකිවුවද, දරුවන්ගේ පෝෂණය, වර්ධනය, මානසික සංවර්ධන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පවුලක් ලෙස එක්ව කටයුතු කිරීමේ, සිතීමේ අවකාශය අප සැමට අහිමි වී තිබේ. ඒ නූතන විස්තීර්ණ සමාජ රටාව‍ හේතුවෙනි.  මෙවැනි වාතාවරණයකදීය නූතන මව්වරු සයිබර් අවකාශය වෙත පිය නැගීම සිදුවන්නේ.  සමාජ ජාල ‍, වෙබ් අඩවි ඔස්සේ සිය පෞද්ගලික  නව  භාවයන් පමණක් මෙතෙක් හුවමාරු කර ගන්නා ලද ශ්‍රී ලාංකික මව ඒ හරහා වෙනත් තව මානයක් ඔස්සේද සිය චින්තන දහරාව මෙහෙය වීමේ එක් සාර්ථක කේන්ද්‍රස්ථානයක් වන්නේ Srilankan Moms නම් වූ මෙම වෙබ් අඩවිය බිහිවීමයි.


වෘත්තිය වෛද්‍යවරියන්ගේ ඇඩ්මින් සහභාගීත්වය

මෙම වෙබ් අඩවිය 16667 ක ග්‍රාහක ප්‍රතිචාරයක් දැනට හිමිව ඇති අතර 1966 ක ප්‍රමාණයක් නව ග්‍රාහකයන් ලෙස ඊට එක්ව තිබේ.  වෛද්‍ය දිනූ ගුරුගේ ප්‍රමුඛ දිල්රුක්ෂි ජෑන්ස්, දිනූෂා ජයරත්න, දිල්රුක්ෂි පෙරේරා, පවිත්‍රා හේමගේ වැනි පළපුරුදු වෛද්‍යවරියන්‍ රැසක් එක්ව මෙම වෙබ් අඩවිය මෙහෙයවන අතර ඔවුන්ගේ වෘත්තීය දැනුම සහ විවිධ තල වල විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන මව්වරුන්ගේ වටිනා අත්දැකීම් බෙදා හදා ගැනීමේ ජාලයක් ලෙස මෙම වෙබ් අඩවිය නිරන්තරවම ක්‍රියාත්මක වෙමින් පවතී.



මෙම වෙබ් අඩවිය සඳහා ලියාපදිංචි ‍වීමක් සිදුකළ යුතු අතර ඒ සඳහා තමාගේ ජීව දත්ත සටහනක් අදාල ඇඩ්මිනය වෙත යොමු කල පසුව ඔවුන් සිය වෙබ් අඩවිය වෙත ලියාපදිංචි කරවා ගැනීම සිදු කරනු ලබයි.

Hello Doctor 

මෙම වෙබ් අඩවිය තුල දරුවෙකු පිළිසිඳ ගත්  මොහොතේ සිට ඔහු හෝ ඇයගේ සමාජීය ජීවිතයේ සෑම අවස්ථාවක්ම වෙනුවෙන් අදාල වෛද්‍ය උපදෙස් ලබා ගත හැකි අතර එම වෛද්‍ය උපදෙස් තහවුරු කර ගැනීම, වැඩිදුර උපදෙස් ලබා ගැනීම, වැඩිදුරටත් දැනුම ලබා ගැනීම, ආදී සියඵම ආකාරයේ දැනුවත් වීම් අදාල ඇඩ්මින් පැනලය ඔස්සේ සිදුකර ගැනීමට හැකිය.

නමුත් ඒ සඳහා වන කොන්දේසි මාලාවක්ද අදාල ඇඩ්මින් පැනලය ඔස්සේ ග්‍රාහකයාට ලබා දී තිබේ. ඔබේ වෛද්‍යවරයා හමුවන්න හෝ ඔබේ වෛද්‍යවරයාගෙන් අහන්න යනුවෙන් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යයේ අප ඇසූ නැරඹූ කියවූ ආකාරයේ වෛද්‍ය ගැටලු මෙහිදී  සාකච්ඡාවට  ගැනෙන අතර  අදාල ඇඩ්මින් වෛද්‍යවරිය විසින් තෝරාගත් කොන්දේසි මාලාවක් යටතේ ඊට පිළිතුරු ලබා දීම සිදුකරනු ලබයි.






බබාට කෑම කවාගන්න FB  යන්න

ශ්‍රී ලංකාවේ බහුතර මව්වරුන් මුහුණ දෙන පොදු ගැටලුවක් වන්නේ සිය දරුවා ප්‍රධාන ආහාර වේල් ප්‍රතික්ෂේප කිරීමයි. මෙයට හේතු  වන්නේ
·        ඒකා කාරී කෑම කැවීමේ උපක්‍රම
·        ආහාර වල වර්ණය සහ රසය
·        ආහාර පිළිගන්වන ආකාරය
·        මව්වරුන්ගේ කාර්ය බහුලත්වය
·        දරුවාගේ රුචිය
·        මව හැර බාහිර පුද්ගලයන් ආහාර කැවීම  ආදියයි. 
මෙයට වඩා වෙනත් හේතූන්ද තිබිය හැකිය. එහෙත් මේ සඳහා  වන සරල හා ඉක්මන් විසඳුම වන්නේ අන්තර්ජාලය හරහා මෙම Srilankan Moms web අඩවියට පිවිසීමයි. 
එහිදී ඉදිරිපත්වන්නේ මේ සඳහා වන විශේෂඥ ළමා වෛද්‍යවරුන්ගේ උපදෙස් නොවේ. ශ්‍රී  ලංකාවේ  නොයෙකුත් ක්ෂේත්‍ර නියෝජනය කරන විවිධ සාමාජීය හා ආර්ථික තලවල මව්වරුන්  මෙම වෙබ් අඩවිය වෙත යොමුකරන ලද සිය නිවසේදී දරුවන් වෙනුවෙන් අදාහදා බැලූ සියඵම ආකාරයේ කෑම කැවීමේ උපක්‍රම, ආහාර වට්ටෝරු, ආහාර පිසීමේ උපකරණ මේ තුලින් දැකගත හැකිවීමයි.  එසේම එම සියලු පෝස්ත්‍ර අදාල වෛද්‍ය ඇඩ්මින් පැනලයේ නිරීක්ෂණයට යටත්ව පළවීමයි. එසේම මෙම වට්ටෝරු වල විශේෂත්වය වන්නේ  තම තමාගේ ආර්ථිකයට සමපාත වන පරිදි සමබර ආහාර රටාවක් තෝරා ගැනීමට මව්වරුන්ට ලැබෙන හැකියාවයි.

  
                                          
                              
 ්‍                     



ගෙදර ඉන්න අම්මලාගේ වැඩ

මෙම වෙබ් අඩවියට සම්බන්ධ වන මව්වරු බොහොමයක් ආරම්භයේදී ඉතා උසස් නිරාමාණශීලී හැකියාවන් ඇති මව්වරුන් නොවෙති. ඔවුන් බොහෝ දේ සිදුකරන්නේ, ප්‍රථම වතාවටය.  ප්‍රථම වතාවට සිය දරුවන්ට ගව්මක් මැසූ, විශේෂිත ආහාරයක්, සෙල්ලම්බඩුවක්, සෑදූ මව්වරුන්ගේ  එවැනි ඇතැම් නිර්මාණ විස්ම ජනක ලෙස ඉතා ඉහල නිර්මාණ ශීලීත්වයක් දරන බව පෙනී යයි.


දුක්ගන්නා සයිබර් කිරිමව්වරු

මෙම වෙබ් අඩවිය සඳහා  සිය දායකත්වය සපයන බොහෝ මව්වරුන්ගේ මා දකිනා විශ්විය සාධාරණ පොදු ගුණයක් තිබේ. එනම් ඔවුන් අනෙකුත් මව්වරු කෙරෙහි දක්වන පොදු සංවේදීතාවයයි.  ඔවුන් කිසි දිනක එකිනෙකාගේ නමින් හෝ වෙබ් අඩවියේ පොදු නමින් ඔවුනොවින් අමතා නොගනී. ඔවුන්ගේ පළමු ඇමතුම ආරම්භ වන්නේ “ආදරණීය අම්මලා” යනුවෙනි.  එසේම එක මවකගේ ගැටලුවක් වෙනුවෙන් සමස්ථ මව්වරුන්ම සංවේදී වී විශාල පිළිතුරු ගණනාවක් ලබා දී තිබෙනු දක්නට ලැබේ. එය ලෝකයේ ඕනෑම තැනක මවක් තවත් මවක් වෙත දක්වන තවත් දරුවෙක් වෙත දක්වන සංවේදී භාවයේ මව්වත් කමේ හා දයාවේ කැඩපතක් වැනිය.

මෙතෙක් ගමේ මාතෘ සායනයේදී හෝ ගමේ ගොඩේ හෝ නාගරික  මව්වරුන් අතර මෙතෙක් හුවමාරු වූ දරුවන් පිළිබඳ මාතෘත්වය පිළිබඳ දරුවන්ගේ ගැටඵ පිළිබඳ ඕපාදූප මට්ටමේ හෝ පෞද්ගලික තොරතුරු හුමවාරුව. මෙම නූතන මාධ්‍ය අවකාශය තුළ කිසියම් විද්වත්භාවයක් හා වෘත්තීය භාවයක් උසුලයි.



අම්මලාගේ මාකටින් වැඩ

විශේෂයෙන්ම නිවස තුල ස්වයං රැකියා සිදු කරන ගෘහණියන්ට මෙම වෙබ් අඩවිය ව්‍යාපාර සඳහා  හෝ ස්වයං රැකියා සඳහා දිරි දීම් උදෙසා සාර්ථක තෝතැන්නක් බවට පත්ව තිබේ. එහෙත් ඇඩ්මින්වරියන්ගේ පොදු කොන්දේසි මාලාව යටතේ ළදරු ආහාර, ළමා සෙල්ලම්බඩු, ළමයින්ගේ විවිධ ක්‍රියාකාරකම්වලට අදාල උපකරණ, ආදිය සඳහා වෙළඳපල ඉලක්ක කර ගැනීමේ අර්ථයෙන්ම අදාල පෝස්ටුව පළවීමට ඉඩක් නැත.  පොස්ටුව පළවීමට උදෙසා ඉඩක් ලැබෙන්නේ එහි ඇති පොදුභාවය, ප්‍රයෝජනවත් භාවය, ගුණාත්මක භාවය, සෞඛ්‍ය ආරක්ෂිත භාවය සැලකීමට ගැනීමෙන් අනතුරුවය.



මාගේ කූඩුවට ඇවිත් සල්ලාල පෙම්බරෙක්

මෙකල්හි සමාජ මාධ්‍ය බොහෝ විට අවභාවිත වන්නෙ‍් ‍ යෞවන යෞවනියන්  හැරුණුකොට, මෙවැනි වැඩිහිටි මවුවරුන් අතිනි. ‍Face book  වැනි සමාජ මාධ්‍ය ‍ජාල හරහා තමාගේ විද්‍යුත් ගිණුම  හරහා තමා ඉදිරියේ විවරවන නාදුනන ලෝකය අතරමං වන ඔවුහු සිය වටිනා කුටුම්භයේ සමාජ වටිනාකම සිද බිද දමා ගනිති.  සිය පතිවත අහිමිකර ගනිති. දූ දරු සබදතා නැතිකර ගනිති. එහෙත් මෙම සමාජ වෙබ් අඩවිය පරිහරණය කරන කිසිදු මවක්, එම තත්වයේ ලා සිතිය නොහැකි බවත් පෙනී යයි. එයට හේතුව මෙම වෙබ්  අඩවිය හරහා උතුම් මාතෘත්වය හා සිය දරුවාට පමණක් පුමුඛත්වය ලබා දීමය.



සයිබර් අම්මලාගේ හොඳ නරක

නූතන සයිබර් අවකාශයක සැරිසරන මව්වරුන් හට එම අවකාශය තුල  යහපත් දේ මෙන්ම අයහපත් දෙයද ග්‍රහණය කර ගත හැකිය.  විශේෂයෙන්ම  මෙවැනි  වෙබ් අඩවි හරහා සමාජ ගත වන යහපත ලෙස මෙහි කරුණු දැක්විය හැකිය.

·         මාතෘත්වය පිළිබද දැනුවත් භාවය වැඩිදියුණු කර ගැනීම
·        දරුවන්ගේ පොදු කායික මානසික ගැටඵ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට හැකිවීම.
·        වෘත්තීය ළමා රෝග විශේෂඥ වෛද්‍ය සහය ලබා ගත හැකිවීම
·        අත්දැකීම් හුවමාරුවක් සිදු කර ගැනීම
·        නිර්මාණශීලී චින්තනයක් ඇතිවීම
·        තම සහජ දක්ෂතා උදෙසා වෙලඳසැලක් විවෘත වීම
·        මාතෘත්වය පිළිබඳ සංවේදී සංජානනයක් පොදුවේ ඇති කර ගැනීමට හැකි වීම

දුර්වලතා

·        මෙය අන්තර්ජාලය පරිහරණය කළ හැකි ඒ සඳහා දැනුමක් ඇති මව්වරුන්ට පමණක් සීමිත වීම
·        සාම්ප්‍රදායික දැනුම හා අවබෝධය ගිලිහී යාම
·        මව්වරුන් අතර අනවශ්‍ය තරගයක් ඇතිවීම
·        ඇතැම් අවස්ථාවලදී වෙලඳපල අවශ්‍යතා ප්‍රමුඛ වීම
·        පෙර පරම්පරාවේ දැනුම සහ අවබෝධය නොතකා හැරීම නිසා සමාජ සබඳතා  දෙ‍දරා යාම
·        සෑම ගැටලුවක් සඳහාම  අන්තර්ජාලයේ පිහිට පැතීම සහ එයට ඇබ්බැහි වීම ආදිය දැක්විය හැකිය.  එහෙත් මෙම තත්වය පාලනය කල හැක්කක්ද  නොවන්නේ ඉදිරි අනාගත පරම්පරාව, නව තාක්ෂණය පිළිබඳ ඉතා ඉහල දැනුවත් භාවයකින් කටයුතු කරන හෙයිනි.

කිරි මුට්ටිය ග‍ඟේ ගියා

නූතන මව්වරුන්ගේ සමාජ භූමිකාව අතිශය සංකීර්ණය. එම සංකීර්ණ තත්වය හේතුවෙන්ම නිතැනින්ම මෙම සමාජ ජාල පරිහරණය කිරීමට ඔවුන්ට සිදුව තිබේ.  එහෙත් දැලිපිහියෙන් කිරි කෑම හා සමාන මෙම ක්‍රියාවලිය කිරි මුට්ටිය ගගේ ගියා  යන අවසන් සමාජ භාවිතයෙන් හමාර නොවිය යුතුය.  මන්දයත් කිරි මුට්ටිය ගගේ ගියහොත් ... නොහොත්... මාතෘත්වය පිළිබඳව  වන දයාව කරුණාව වැනි උත්තරීතර වටිනාකම් මේ හරහා  සිදී ගියහොත්, මේ කවර ආකාරයක හෝ වෙබ් අඩවියකින් පලක් නොවන හෙයිනි.  Srilankan Moms ලාට ලෝකය පුරා සිටින අනෙකුත් Moms ලාට සිදු වූ දෙය නොවීමට වගබලාගැනීම  එම මව්වරුන්ගේ මෙන්ම අදාල ඇඩිමින් පැනලයේද සමාජ වගකීම බව අමතක නොකල යුතුය.


SC/PG/MMM/2015/2017/17
මයුරි ලියනගේ 


0 comments:

Post a Comment