Pages

Saturday, September 9, 2017

ආචාර ධර්ම මාධ්‍ය නියාමනයේ එක් ස්වරුපයකි


ආචාරධර්මවලට මානව සංහතියේ ආරම්භය දක්වා දිව යන ඉතිහාසයක් පවතී. ගෝත්‍රික මිනිසා ක්‍රමයෙන් ශිෂ්ඨ සම්පන්න යුගයකට පිවිසෙන්නේ මේ මානව ආචාරධර්ම තුළින් ඔහුව මෙහෙයවනු ලැබූ නිසාය. මේ සඳහා ආදී ගෝත්‍ර සමාජවල නොයෙකුත් ඇදහිළි, වත් පිළිවෙත් හේතු වන්නට ඇත.
අපේ රටේ සන්නිවේදන ආචාරධර්මවල ඉතිහාසය දෙසට අවධානය යොමු කරන විට දක්නට ලැබෙන්නේ එහි නෛතික ඉතිහාසයට වඩැ පැරණි ඉතිහාසයක් අපසතුව තිබෙන බවයි.  එය අපේ බුදු දහම ඇසුරින් සම්පාදනය වුණු බෞද්ධ ආචාරධර්ම පද්ධතිය  පසුබිම්  කරගෙන නිර්මාණය වූවක් ලෙස හැඳින්වීම අතිශෝක්තියක් නොවේ.
“සන්නිවේදන මගින් මුළු ලෝකයම විශ්ව ගම්මානයක් බවට පත් වෙන බව ” සන්නිවේදන පර්යේෂකයෙකු වූ “මාෂල් මැක්ලුහන්” මීට බොහෝ කලකට පෙර පළ කරන ලද අනාවැකිය අද සත්‍යයක් බවට පත්ව තිබේ.  ඒ විශ්ව ගම්මානය අද විශ්ව පවුලක්  (Global Family)  බවට පත් වී තව දුරටත් කුඩා ඒකකයක් වෙමින් පවතී. වැටකඩුළු මායිම් බිඳ හෙළමින් ඇති වී තිබෙන සන්නිවේදන විප්ලවය හමුවේ නිරාවරණය වෙමින් පවතින ලෝකය සුචරිත මාවතකට යොමු කරලීමට සදාචාර ධර්ම  ප්‍රතිපත්තීන් හරහා නියාමනය  කිරීමට සිදු වී තිබේ.
    ජන සන්නිවේදන ක්‍ෂේත්‍රයේ  මේ විප්ලවකාරී ව්‍යාප්තිය නිසා  ආචාරධර්මීය (Ethical) ගැටලු රැසක් මතු වී තිබේ. මේ නිසා සන්නිවේදකයාට හෙවත් ජනමාධ්‍යවේදියාට සිය වගකීමෙන් නිදහස් වීමට කිසිසේති හැකියාවක් නොමැත.
එදා මෙන් නොව අද සන්නිවේදකයාට අති විශාල සංඛ්‍යාවක් එක විට ඇමතීමට පුළුවන. එමෙන්ම සිය පණිවිඩය හෝ  විස්තරය තොරතුරු හෝ විස්තර සුවිශාල පිරිසක් වෙත එකවිට ගෙන යාමට පුළුවන. එසේම අද ජන සන්නිවේදන  මාධ්‍යය අතිවිශාල සංඛ්‍යාවක් පවතී.  එමෙන්ම තාක්ෂණික දියුණුව  නිසා අද මේ මොහොතේ සිදු වන සේ සජීවීව දැන ගැනීමට පුළුවන. මේ තාක්ෂණික සංවර්ධනය පාලනය කිරීමට නොහැකි තරමට ව්‍යාප්ත වී තිබේ.  එමනිසා ජනමාධ්‍යවේදීන් ස්වයං නියාමනයකට ග්‍රහණය කර ගැනීමට නම්  ආචාරධර්මීය පදනමක් ඔවුන් තුළ ප්‍රගුණ කළ යුතුය. එසේම බලපෑමකින් තොරව ස්වයං මාධ්‍යවේදීන් දැනුවත් කිරීම තුළින් ආචාරධර්ම සඳහා යටත් කළ යුතුය.
    ආචාරධර්ම යනු හැසිරීමේ ප්‍රතිපත්තියකි. එබැවින් ජනමාධ්‍ය ආචාරධර්ම පිළිපැදීම මගින් ජනමාධ්‍යයන්ගේ  ප්‍රමිතිය ඉහළ නැංවීමට පුළුවන.
 ජනමාධ්‍යවේදීන්ට ආචාරධර්මීය ගැටලු මතුවන අවස්ථා කිහිපයක් මෙසේ සටහන් කළ හැකිය.
01    අන්‍යන්ගේ ලිපියක් තම ලිපියක් සේ පළ කිරීම
02    තමන්ගේ පෞද්ගලික හැඟීම් මුසු කිරීම
03    දැනගත යුතු තොරතුරු අත්හිටුවීම
04    වංචනිකව ක්‍රියා කිරීම
05    තොරතුරු විකෘති කිරීම
06    පෞද්ගලිකත්වය  ආක්‍රමණය කිරීම
07    ප්‍රවෘත්තිවලට සහභාගී නොවීම
08    පක්ෂග්‍රාහී වාර්තාකරණයේ යෙදීම
ජනමාධ්‍ය භාවිතයේදී මානව සාරධර්ම සුරකිමින්  තම කාර්යයේ නියැළීම  සඳහා විද්වත්තු විසින් ආචාරධර්ම ප්‍රභේද තුනක් දක්වති. එනම්,
01    පරම ආචාරධර්ම (Absolutes Ethics)
සමස්ත ලෙස පිළිගත් ආචාරධර්ම හා නීති මාලාවක් ඇත. එයට නෛතික පදනමක්ද පවතී. ඉන් බැහැරව නොයා යුතුය.
02    නීති විරෝධී බව (Antinomianism)
    මෙය නීතියට පටහැනිව කටයුතු කිරීම වේ. එනම් අණපනත්, නීතිරීති කඩකරමින් තමන්ට කැමති පරිදි, අභිමත පිරිදි ලිවීමය. ඔහ නීති විරෝධී ජනමාධ්‍යකරුවෙකි.
03         අවස්ථානුකූල ආචාරධර්ම (Situational Ethics)
  සමායේ පවතින ආචාරධර්ම අවස්ථාවට උචිත අයුරින් කිසියම් වෙනස්කමක් සහිතව අභිමත පරිදි අවස්ථානුකූලව භාවිත කිරීමය.
මෙම ආචාර ධර්ම එය භවිත කරන පුද්ගල ඛාණ්ඩ අනුව ප්‍රධාන කොටස් 04 කට බෙදා වෙන් කර  දැක්විය හැකිය. එනම්,
01    මාධ්‍ය පාරිභෝගිකයා රැකීම අරමුණු කර ගත් ආචාරධර්ම
02    මාධ්‍ය සේවකයින් රැකීම අරමුණු කරගත් ආචාරධර්ම
03    අයිතිකරුවන් රැකීම අරමුණු කර ගත් ආචාරධර්ම
04    නීතිමය වගකීම් රැකීම අරමු කර ගත් ආචාරධර්ම


ඇමරිකාවේ මුද්‍රිත මාධ්‍ය ආශ්‍රිතව මෙන්ම විද්‍යුත් මාධ්‍ය සම්බන්ධයෙන්ද ආචාරධර්ම පවතී. රූපවාහිනි , ගුවන්විදුලි ආයතන වලද ලිඛිත ආචාරධර්ම පද්ධති පවතී. ඒවාද ප්‍රධාන කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය.
01    ආයතනගත ආචාරධර්ම
02    වෘත්තීය ආචාරධර්ම වේ
ලෝකයේ ජන සන්නිවේදන මාධ්‍ය බහුල ලෙස ව්‍යාප්ත  වී පවතින රාජ්‍යයන් 200 ක් පමණ වේ. ඒවා අතුරින් රටවල් 40 – 60ක් පමණ ජනමාධවේදීන් කෙරේ  නිසි බලපෑමක් හා පෙළඹ වීමක් ඇති කරන ආකාරයේ හෝ නිදහස් ප්‍රවෘත්ති සංස්කරණය හා ආරක්ෂා කරන ආකාරයේ ආචාරධර්ම පද්ධති ඇත ඉතිරි රටවල් 150 ක පමණ ප්‍රමාණයක එවනි ආචාර ධර්ම පද්ධති හෝ ජනමාධ්‍ය ප්‍රමිති ඇතිකරදීම සම්බන්ධව අවිනිශ්චිත තත්වයක් පවතී.


ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය සහ ලිපි ලේඛන

01    1973 අංක 5 දරණ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත, 1973, කොළඹ
02    තෙන්නකෝන්, රංජිත් කීර්ති, “වාරණ පුරාණය”සමන් ප්‍රකාශන. 2003
03    දිසානායක, විමල්, “ජනසන්නිවේදනය හා සමාජය” 1994, කොළඹ
04    පෙරේරා, කේ.එස්. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය“පුවත්පත් කලා සමීක්ෂා”, 1993, කොළඹ
05    පෙරේරා, කේ.එස්. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය“පුවත්පත් කලා සමීක්ෂා ,1998, කොළඹ
06    රාජපක්ෂ, චන්ද්‍රසිරි“ජනසන්නිවේදන මූලධර්ම1”කර්තෘ ප්‍රකාශන 2003
07    රාජපක්ෂ, චන්ද්‍රසිරි / වීරසිංහ, ටියුඩර්, “ජනමාධ්‍යවේදය”සංහිඳ ප්‍රාකාශන, 2002

පැතුම් ශ්‍රී විජේරත්න (SC/PG/MAMM/2016/2017/10)

0 comments:

Post a Comment