Pages

Sunday, August 20, 2017

පුරවැසි මාධ්‍යයක් ලෙස බ්ලොග් අඩවි


     නූතන ලෝකයේ ඒකාධිකාරි පුවත් ගලනයට එරෙහිව පැනනැගුණ වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පුවත් නැමියාවක් ලෙස පුරවැසි මාධ්‍යවේදය නූතන සන්නිවේදන අවකාශය තුළ ශීඝ‍්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරයි. වර්තමානයේ දී බ්ලොග් අඩවි (වියනු) තොරතුරු වාහකයක් ලෙස පෘථුල කාර්යභාරයක් ඉටුකරන මාධ්‍ය ප‍්‍රවණතාවකි. ශ‍්‍රී ලාංකේය පුරවැසියන් බ්ලොග් අවකාශයට (Blogsphere) පිවිසීම ශ‍්‍රී ලාංකේය පුරවැසි මාධ්‍යවේදයේ නූතන භාවිතාව වේ. 
    බොහෝ අවස්ථාවන්හිදී වෘත්තිය ජනමාධ්‍යවේදීන් නොවන සාමාන්‍ය මිනිසුන් විසින් පළකරනු ලබන ප‍්‍රවෘත්ති විසින් ප‍්‍රසිද්ධ කරන ප‍්‍රවෘත්ති මෙලෙස බ්ලොග් අවකාශයෙහි චායාරූප සහ වීඩියෝ ආශ‍්‍රයෙන් පළකිරීම සිදු වේ. පුරවැසි මාධ්‍යකරණයේ නියුතු වාර්තාකරුවෙකු බ්ලොග් අඩවි භාවිත කර කිසියම් සිදුවීමක් පිළිබඳව ඉගියක් ලබාදීම හෝ වෙනත් දෘෂ්ටිකෝණයකින් එය වාර්තා කිරීම හරහා ජනතාව අතර ප‍්‍රචලිත මාධ්‍යයක් බවට පත්විය. 

බ්ලොග් අඩවියක් යනු ?
       බ්ලොග් අඩවියක් යනු මාර්ගගත ජර්නලයක් (Online Journal) හෝ දිනපොතක් වැනි ආකෘතියකි. බ්ලොග්කරුවාට මතවාදයක් ඉදිරිපත් කරන්නට කැමති  ඕනෑම කරුණක් පිළිබඳව සටහන් තම බ්ලොග් අඩවියේ සඳහන් කළ හැකිය. 
     මෙය දිනපොතක ලිවීමට සමාන ය. බොහෝ බ්ලොග් අඩවි අනුගමනය කර ඇත්තේ සම්පූර්ණයෙන් ම නිදහස් ආරකි. ඇතැම් බ්ලොග්කරුවන් තම බ්ලොග් අඩවි ලිපි අලවන පොතක් (Crap book) මාර්ගගත මතකයක් (Online memory) ආකාරයට භාවිත කරයි. 


    බ්ලොග්කරු විසින් සොයාගන්නා ලද තොරතුරු මතක තබා ගැනීමට හෝ සුරක්ෂිතව තබා ගැනීමට එය තම බ්ලොග් අඩවියට යොමු (Post) කරයි. ඉදිරිපත් කරන තොරතුරුවලට අදාළව ශ‍්‍රව්‍ය දෘශ්‍ය ගොනු (Audio Video clips), චායාරූප තම බ්ලොග් අඩවිය තුළ ප‍්‍රදර්ශනය කිරීම තුළින් බ්ලොග් අඩවියේ ආකර්ශණශීලිත්වය වර්ධනය වේ. 



     බ්ලොග්කරුවෙක් අලූතින් සටහනක් එකතු කරන විට එම සටහන ඉහළට පැමිණ අනෙකුත් සටහන් පහළට යයි. බ්ලොග් අඩවියක දකුණු කෙළවරට වන්නට ඇති පැති ගොනු (Side Bar) බ්ලොග්කරුට ප‍්‍රිය අනෙක් අඩවිවල අතිරේක සම්බන්ධතාවන් දැක්විය හැකිය. බ්ලොග්කරුවෙකු විසින් මෙම පැති ගොනු යාවත්කාලීන කිරීම (Update) යෝග්‍ය ය.
    වර්තමානයේ දී MSN, Yahoo, Google වැනි වෙබ් අඩවි තුළින් බ්ලොග් ලිවීම සඳහා ඉඩකඩ ලබා දෙයි. සාමාන්‍යයෙන් දිනපොතක මෙන් දිනපතා කෙටි වැකිවලින් ලියන බ්ලොග් ‘මයික්‍රො බ්ලොග්’ (Micro Blog) ලෙස හදුන්වයි. එවැනි මයික්‍රො බ්ලොග් ලිවීම සඳහා ඊට ම ආවේණික වෙබ් අඩවි පවතී. එවැනි වෙබ් අඩවි අතරින් ජනප‍්‍රිය ම වෙබ් අඩවිය වන්නේ www.pownce.com ය. 



බ්ලොග් මාධ්‍යයෙහි ප‍්‍රබලතා 
1. කිසිදු ආයෝජනයකින් තොරව  ඕනෑම පුරවැසියෙකුට පුරවැසි මාධ්‍ය හරහා තම අදහස් පළකළ හැකිය. 
2. විශාල පිරිසකට අදාළ පණිවිඩය ගෙන යා හැකිය.
3. වෙළෙඳදැන්වීම් පළකිරීමේ අවශ්‍ය නොවේ. 
4.අනෙක් මාධ්‍යයන්ට සාපේක්ෂව බ්ලොග් පවත්වාගෙන යාම සඳහා වැය වන පිරිවැය අඩුය. අන්තර්ජාල පරිහරණය සඳහා වැයවන මුදල පමණක් මේ සඳහා වැය වේ. 
5.පුරවැසි මාධ්‍යවේදය බ්ලොග් අඩවි හරහා ශක්තිමත් කර ඒ තුළින් මත පක්ෂපාතිත්වයක් ඇති කර ගැනීමට හැකිය. 

බ්ලොග් මාධ්‍යයෙහි දුබලතා
1. අන්තර්ජාල පරිසරයක් තුළ ගොඩනැගෙන බ්ලොග් මාධ්‍ය හැසිරවීමේ තාක්ෂණික දැනුම බොහෝ පිරිසකට අඩුය. 
2. බොහෝ දෙනෙක්ට අන්තර්ජාල පහසුකම් නොමැතිවීම හේතුවෙන් බලපෑම් කළ හැකි ග‍්‍රාහක ප‍්‍රජාව ප‍්‍රමාණයෙන් අඩුය. 
3. සාමාන්‍ය පුරවැසියන් කර්තෘත්වය දරන බ්ලොග් අඩවි හරහා පළවන ලිපිවල ව්‍යක්තභාවය, නිරවුල්භාවය නොමැති විය හැකිය. 
4. බ්ලොග් අඩවි තුළ බ්ලොග්කරුවන්ගේ පෞද්ගලික තොරතුරු පවා ඇතුළත් කළ හැකි බැවින් එම තොරතුරු අනෙක් පුද්ගලයන්ට අලස බවක් ගෙන එයි. 

                                         

ශ‍්‍රී ලාංකේය පුරවැසි මාධ්‍යවේදයේ නූතන භාවිතය
ශ‍්‍රී ලාංකේය බ්ලොග් මාධ්‍ය ඔස්සේ පුරවැසි මාධ්‍යයට අනුගතව සහභාගිත්ව සන්නිවේදන යාන්ත‍්‍රණයක් සිදු වේ. ප‍්‍රවෘත්ති රැස්කිරීමට හා යළි අර්ථකථනය කිරීමට මෙන්ම විශ්ලේෂණය කිරීම සඳහා ශ‍්‍රී ලංකාවේ පොදු සංසදයක් පිහිටුවා තිබේ. මෙය Sri Lanka Bloggers Union (CBU) ලෙස හදුන්වයි. ශ‍්‍රී ලංකාවේ බ්ලොග් අවකාශය ක‍්‍රමයෙන් වර්ධනය වන අතර විකල්ප මාධ්‍යයක් ලෙස බොහෝ දෙනෙක් අතර ප‍්‍රචලිත වෙමින් පවතී. 

මූලාශ‍්‍රයඃ
එරන්දි, කේ. (2012). ශ‍්‍රී ලංකාවේ පුරවැසි මාධ්‍යවේදය, නුගේගොඩඃ නියෝ ග‍්‍රැෆික්ස්

ඞී ඞී එන් එන් දිසානායක
SC/PG/MAMM/2016/2017/04












0 comments:

Post a Comment