Pages

Sunday, August 20, 2017

පුරවැසියාගේ මාධ්‍ය භූමිකාව (Citizen Journalism)


Citizen Journalism

ආරාබි වසන්තය , තුර්කියේ මහජන නැගිටීම් , සිරියානු සිවිල් යුද්ධයේ තොරතුරු ප්‍රවාහය පිලිබඳ විමසා බලන විට පුරවැසි මාධ්‍ය සහ එහි ශක්‍යතාවන් ගැන කථාබහට ලක්වෙනවා.

  • මොකක්ද මේ පුරවැසි මාධ්‍යය?
  • ප්‍රධාන ධාරාවේ මාධ්‍ය එක්ක පුරවැසි මාධ්‍ය වෙනස් වෙන්නේ කොහොමද?
  • එයින් කරන්න පුළුවන් මොනවද ?


මේ පුරවැසි මාධ්‍ය ගැන කථා කරන විට නැගෙන ජනප්‍රිය ප්‍රශ්ණ කිහිපයක් .

පුරවැසි මාධ්‍ය යනු පුරවැසියන් සක්‍රීය භූමිකාවක යෙදෙමින් තොරතුරු එකතු කිරීම , සකස් කිරීම , බෙදා හැරීම යන කරණු ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන්ගෙන් බැහැරව වෙබ්ගත නව මාධ්‍ය හරහා සිදුකිරීමේ ක්‍රියාවලියක් ලෙස සරලව නිර්වචනය කළ හැකියි.

මෙහිදී ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුල පවතින දොරටුපාල අවහිරයෙන් තොරව සමාජයේ පොදු ප්‍රශ්ණ ගැන වාර්තාකරණයට විග්‍රහයට හා සන්නිවේදනයට මේ පුරවැසියන්ට අවස්ථාව හිමිවෙනවා.

අන්තර් ජාල ව්‍යාප්තියත් සමඟ වර්ධනය වූ සමාජ ජාල වේදිකා හරහා (Facebook , Twitter ,Flickr , Youtube , Bloger, Instagram) යම් සිදුවීමක් සම්බන්ධව තම අදහස් , වචන , රූප , දර්ශන හෝ ශබ්ද ලෙසින් වාරණයකින් හෝ පාලනයකින් තොරව අන්‍යයන් හා බෙදා හදා ගැනීම මෙහිදි සිදුවෙනවා.

අදාලත්වය සහ මෙම නිදහස් ස්වරූපය නිසා සහභාගීත්ව මාධ්‍යකරණය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාධ්‍යකරණය යන නම් වලින්ද පුරවැසි මාධ්‍ය කලාව හැඳින්වෙනවා.

පුරවැසි මාධ්‍යකරණයේදී එය වාර්තාකරන්නේ අදාල සිදුවීමට සම්බන්ධ හෝ එය අත්දකින පුද්ගලයෙකු බැවින් එම වාර්තාකරණය බෙහෙවින්

  • අදාල (Relevant)
  • අව්‍යාජ (Genuine)
  • සම්බන්ධ (connected)

වාර්තාකරණයන් බවට පත්වෙනවා.



ප‍්‍රවෘත්ති වල ක්‍ෂණික බව යන කාරණයේදී මෙම පුරවැසි මාධ්‍යකරුවන්ගේ වාර්තාකරණය ඉතාමත් ප‍්‍රබල, වාසි සහගත සාධකයන්

එනිසාම BBC , CNN , ALJAZEERA වැනි ජාත්‍යන්තර ප‍්‍රවෘත්ති ආයතන ලොව පුරා වන සිදුවීම් පුරවැසි මාධ්‍යකරුවන් හරහා ලබාගැනීමට විශේෂිත වූ මාර්ග හඳුන්වා දී තිබෙනවා. තම ආයතනික වෙබ් අඩවිය හරහා පුරවැසි මාධ්‍ය කරුවන්ගේ ප‍්‍රවෘත්ති ලබාගන්නා අතර ඒවා සඳහා ප‍්‍රවෘත්ති විකාශයන් තුල විශේෂිත ඉඩක්ද ලබාදෙනවා. i repoter , u repoter යන නම් වලින් එම විශේෂාංගය හැඳින්වෙනවා.



2010 හයිටි භූමිකම්පාව , සිරියානු සිවිල් යුද්ධය යන අවස්ථාවලදී එහි සැබෑ තත්ත්වය ලෝකයට අනාවරණය වූයේ සීමිත උපකරණ භාවිතා කරමින් එම ප‍්‍රදේශවල සිට සිද්ධිය වාර්තාකල පුරවැසි මාධ්‍යකරුවන් මඟිනි.


කෙසේ වෙතත් නිශ්චිතවැටුපක් නොලබා, ආයතන ව්‍යුහයකට යටත් නොවී, වෘත්තීය නිපුණත්වයකින් තොරව තොරතුරු ගෙන එන  පුරවැසි මාධ්‍යවේදීන්ගේ ක‍්‍රියාකාරීත්වය පිළිබඳච ගැටළු නැතුවාම නෙවෙයි.

ඔවුන් බොහෝ විට සිද්ධිය වාර්තා කරන්නේ පුරවැසි දෘෂ්ඨිකෝණයෙන්. ඒ වගේම, මාධ්‍ය ආචාර ධර්ම පිළිබඳව සැලකිලිමත් නොවීමත් පුරවැසි මාධ්‍යකරුවන්ට එල්ල වන චෝදනාවක්.
සිමීත තාක්‍ෂණික උපකරණ භාවිතා වන හෙයින් ඔවුන් ගෙන එන ශබ්ද රූප ඉහළ ගුණාත්මක තත්ත්වයේ නොතිබිය හැකියි.



පුරවැසි මාධ්‍යයේ අරමුණු වන්නේ ස්වභාවික වූත්, විශ්වාසනීය වූත්, නිරවද්‍ය, පුළුල් තොරතුරු සම්පාදන, ක‍්‍රියාවලියයි.

නමුත් නීති රීති හෝ පාලනයක් නොමැති මේ අවකාශයේ සුදුසුකම් නොමැති අයගේ වගකීම් රහිත ජනමාධ්‍යකරණය පුරවැසි මාධ්‍යයේ ඇති අනතුරක් ලෙස දැක්විය හැක්කේ එය දැලිපිහිය අතට ගත් වඳුරාගේ   හැසිරීමට සමාන කරමින් .



මේ වන විට ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය ආයතනත් පුරවැසි මාධ්‍යකරුවන් හරහා ලබාගන්නා රූප/දර්ශන තම ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයක් තුල විකාශය කරනු දැකිය හැකියි. නමුත් එම ආයතන මෙම පුරවැසි මාධ්‍යකරුවන් දැනුමෙන් , තාක්‍ෂණයෙන් සන්නද්ධ කරවීම සඳහා කටයුතු කලහොත් තම ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයට උපරිම ප‍්‍රතිලාභ ලබාගැනීමට හැකිවෙනවා.

කෙසේ වෙතත් පුරවැසි මාධකරුවන්ගේ භූමිකාව ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයේ අනාගතය නව මානයක් කරාගෙන යෑමට හේතු වනු ඇති බව ජනමාධ්‍ය නිරික්‍ෂකයන්ගේ   අදහසයි.        .

      

කේ.සී. සාරංග SC/PG/MAMM/2016/2017/12 



0 comments:

Post a Comment