Pages

Thursday, April 18, 2019

නව මාධ්‍ය සහ සංවිධිත පුරවැසි මාධ්‍ය


සමකාලීන ලෝකයේ වඩා ජනප්‍රිය මාතෘකාවක් වන පුරවැසි මාධ්‍යකරණය අද වන විට විවෘත අවකාශයක් වූ සයිබර් අවකාශය තුළ ලෝකයට වඩාත් බලපෑම් සහගත මාධ්‍ය ක්‍රියාවලියක් බවට ප්‍රවේශව සිටී.  සංහතික මාධ්‍ය භාවිතයන්ට අභියෝග කරමින් නැගී එන නව මාධ්‍ය ප‍්‍රවණතාවන්ගේ අංගයන් ලෙස ඉස්මතු වූ ජංගම දුරකතන, වෙබ් අඩවි, බ්ලොග් අඩවි, හා සමාජ ජාල මාධ්‍ය අවශ්‍ය ධාරිතා එළෙසම සලසමින් පුරවැසි මාධ්‍යකරණයේ වර්ධනය අවැසි අංගෝපාංග නිර්මාණය කරදී ඇත. මේ නිසා ජනමාධ්‍ය පිළිබඳ අධිපති මතවාද කඩා වැටෙමින් නව මාධ්‍ය ඔස්සේ කෙරෙන නව කියවීම් කරළියට එයි. පුරවැසියා මෙන්ම පුරවැසි මාධ්‍යවේදියා ද සංවිධානගත වෙමින් සංවිධානාත්මක බලයක් ලෝකය වෙත මුදා හරිමින් සිටී. විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය ආයතනයකට වාර්තා සපයන පුරවැසි මාධ්‍යවේදියෙකුගේ හෝ තම ෆේස්බුක්, ට්විටර්, බ්ලෝග් අඩවි තුළින් වාර්තා ගෙන එන පුරවැසි මාධ්‍යවේදීන් නව මාධ්‍ය වේදිකාවමතම සංවිධානගතව කරන බලපෑමේ ශක්‍යතාව ඉහළ බැවු පහත ලෝක අත්දැකීම් අපට පසක් කර දෙයි.

2000 වසරේදී සෑම පුරවැසියෙකු ම වාර්තාකරුවෙක් යන තේමාවෙන් ඇරඹි Ohmy News යනු දකුණු කොරියාවේ පුරවැසි වාර්තාකරණයේ නිරත අන්තර්ජාල ප‍්‍රවෘත්ති වෙබ් අඩවියකි. තම පාඨකයන්ගේ ලිපි පිළිගෙන, සංස්කරණය කොට, ප‍්‍රකාශයට පත් කළ දකුණු කොරියාවේ පළමු ප‍්‍රවෘත්ති වෙබ් අඩවිය මෙයයි. මෙම වෙබ් අඩවියේ අන්තර්ගතයන්ගෙන් 20%‍්‍ර ක් පමණ එහි කාර්ය මණ්ඩල සාමාජිකයන් රචනා කරන අතර බොහෝ ලිපි සම්පාදනය කරන්නේ සාමාන්‍ය පුරවැසියන් ය. 2002 වසරේ පැවති දකුණු කොරියානු ජනාධිපතිවරණයට Ohmy News වෙබ් අඩවිය විශාල බලපෑමක් සිදු කර ඇත. 

ජනාධිපතිවරණයෙන් රෝ  මූ යුන් ජයග‍්‍රහණය කිරීමෙන් පසුව ප‍්‍රථම සම්මුඛ සාකච්චාව ලබාදී ඇත්තේද Ohmy News වෙබ් අඩවියටයි. එමෙන්ම කිසිදු බාහිර පාර්ශ්වයක සහය නොලබමින් 10,000කට අධික පුරවැසි මාධ්‍යෙව්දීන් පිරිසකගේ සහභාගීතවයෙන් සම්මේලනයක් පැවැත්වීමටද  Ohmy News වෙබ් අඩවිය සමත්වී ඇත. 2007 වසරේ දී මෙම වෙබ් අඩවිය මගින් පුරවැසි ජනමාධ්‍යවේදය පිළිබඳ පාසලක් ද විවෘත කරනු ලැබීය. 


On The Ground News Reports නැතහොත් OGNR යනු පුරවැසි මාධ්‍යවේදය මූලික කර ගත් ප‍්‍රවෘත්ති ක‍්‍රමවේදයකි. මෙහිදී සිදුවන්නේ පුරවැසි වාර්තාකරුවන් රැස්කරන ප‍්‍රවෘත්ති තහවුරු කර කෙටියෙන් ප‍්‍රකාශයට පත් කිරීමයි. ජැමෙයිකානු ජාතික මාර්ක් රැම්සි ගේ පුරෝගමීත්වයෙන් ජැමෙයිකාවෙන් ආරම්භ වූ මෙම ප‍්‍රවෘත්ති ක‍්‍රමවේදය මේ වන විට ලොව පුරා ව්‍යාප්ත වී ඇත. ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු අල්ලා ගැනීම සඳහා හමුදාව දියත් කළ මෙහෙයුමක තොරතුරු ජැමෙයිකානු රජය සැඟවීමට කටයුතු කළ අතර ඒ සම්බන්ධයෙන් ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය නිහඬ ප‍්‍රතිපත්තියක් අනුගමනය කළේය. එම අවස්ථාවේදී OGNR ෆේස්බුක් පිටුව මීට අදාළ සියලූ තොරතුරු වාර්තා කළ අතර එය එම තොරතුරු වාර්තා කළ එක ම ප‍්‍රවෘත්ති මූලාශ‍්‍රය විය. තමන් වෙත ලැබෙන ප‍්‍රවෘත්ති OGNR සංස්කාරකවරුන් පරීක්ෂා කර ඒවායේ සත්‍ය අසත්‍යතාව තහවුරු කර ප‍්‍රකාශයට පත් කිරීම මෙම වෙබ් අඩවිය තුළ සිදුවෙයි. ප‍්‍රවෘත්ති වාර්තාවක් ප‍්‍රකාශයට පත්කළ පසු අනෙකුත් පුරවැසි මාධ්‍යවේදීන්ට ද අවශ්‍ය යාවත්කාලීන තොරතුරු ආදිය ඊට එකතු කළ හැකිය. පරිගණක වෙබ් අඩවි, ජංගම දුරකතන සඳහා නිර්මිත වෙබ් අඩවි, පරිගණක මෙවලම් හා විද්‍යුත් තැපෑල ආදිය මගින් ප‍්‍රවෘත්ති වාර්තා යැවීමටත්, ලබා ගැනීමටත් මෙහිදී සාමාජිකයින්ට පහසුකම් සලසයි. සමාජ මාධ්‍ය දෙකක් වන ෆේස්බුක් හා ට්විටර් ඔස්සේ ද වාර්තා එවීමේ හැකියාව පවතී. මෙය භාවිතා කරන්නන්ට ලැබෙන වාර්තාවකට තම ජංගම දුරකතනයෙන් පණිවිඩයක් ඔස්සේ ප‍්‍රතිචාර දැක්වීමට ද අවස්ථාව හිමිවේ.

විවිධ සිද්ධිවලට මැදි වන පුරවැසියෝ ප‍්‍රවෘත්ති වාර්තා, ජායා රූප හා වීඩියෝ පේ‍්‍රක්ෂකයන් සඳහා විසුරුවා හරිති. එවිට පේ‍්‍රක්ෂකයන් ඒවා තවත් තහවුරු කරමින් යාවත්කාලීන තොරතුරු, අදහස් දැක්වීම් හා ඒවාට සම්බන්ධ දෑ එකතු කරයි. පැය 48 ක කාලයක් තුළ OGNR ෆේස්බුක් පිටුවට ග‍්‍රාහකයින් 22,000 ක් දායක වී ඇත. ජැමෙයිකාව පුරා සිදුවන දේවල් රැගෙන එසැණ පුවත් මූලාශ‍්‍රයක් ලෙස OGNR ෆේස්බුක් පිටුව අඛණ්ඩව වර්ධනය විය. 2013 මැයි මාසය වන විට OGNR ෆේස්බුක් පිටුවේ ග‍්‍රාහකයන් 94,000 ට අධික පිරිසක් ද, රටවල් 25 ක කෙටි පණිවුඩ ග‍්‍රාහකයින් ද, 12,000 කට අධික ටිව්ටර් අනුගාමිකයන් සංඛ්‍යාවක් ද විය. එසේම අද වනවිට ජැමෙයිකාවේ වැඩිම පිරිසක් භාවිතා කරන මාධ්‍ය වෙබ් අඩවි අතර තුන් වන ස්ථානය හිමිවී ඇත්තේ OGNR වෙබ් අඩවියටයි.

සාමුහිකව පුරවැසි මාධ්‍යවේදය පදනම් වූ ප්‍රවෘත්ති වෙබ් අඩවි මෙන්ම තනි තනි වශයෙන් සැකසුණු බ්ලොග් අඩවි හා ෆේස්බුක්, යූ ටියුබ් වැනි සමාජ ජාල ඔස්සේ සිදුවන පුරවැසි මාධ්‍යකරණය අද ලෝකය තුළ ඉතා සුලබය. පසුගිය ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍යකරුවන්ගේ සංගමයද  මෙවන් අවකාශයක් මෙරට පුරවැසි මාධ්‍යවේදීන්ට තනා දීමට මුලපිරුව ද තවමත් එහි සාර්ථක ඉදිරි පියවරයන් දැකගත නොහැකිය.






L.A. Samarasinghe
SC/MAMM/2018/2019/17



0 comments:

Post a Comment