Pages

Showing posts with label new media. Show all posts
Showing posts with label new media. Show all posts

Sunday, April 21, 2019

සන්නිවේදනයේ නව මුහුණුවර

සන්නිවේදනයේ නව මුහුණුවර 


නව මාධ්‍ය යන යෙදුම භාවිතයට පැමිණෙන්නේ 1980 දශකයේ අග භාගයේදීයි.නමුත් එය ප්‍රචලිත යෙදුමක් බවට පත්වන්නේ 90 දශකයෙන් පසුවයි.පළමුවරට නව මාධ්‍ය ආක්‍රමණය කළේ බටහිර රටවල් ය. නව මාධ්‍ය යන්න ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ සිදුවූ පුළුල් ප්‍රසාරණයකි.එනම් සත්‍ය වශයෙන් ම සදහන් කළ හැක්කේ මාධ්‍ය නිෂ්පාදනයේ,බෙදා හැරීමේ සහ පරිභෝජනයේ සිදුවූ පුළුල් පරාසයේ වෙනස්වීම් සදහා බලපෑ මාධ්‍යයන් ය. නව මාධ්‍යවල පවතින සුවිශේෂීත්වය වන්නේ නිරන්තර වෙනස්වීම් වලට ලක්වෙමින් වර්ධනය වීමයි.

නව මාධ්‍යයේදී

බොහෝ පිරිසකගෙන් → බොහෝ පිරිසකට
එක් පුද්ගලයෙකුගෙන් → බොහෝ පිරිසකට
බොහෝ පිරිසකගෙන් →  එක් පුද්ගලයෙකුට

සන්නිවේදනය සිදුවේ.



මුල්කාලීනව නව මාධ්‍ය ලෙස වර්ධනය වූයේ තාක්ෂණික අංගයන් වන අතර පසුව නව මාධ්‍ය ප්‍රබල ලෙස සමාජයට බලපෑම් සිදුකරත්ම එය තවත් සමාජයීය බලපෑම් සහගත ක්‍රියාවලියක් බව ඒ පිළිබද පර්යේෂණ කළ විද්වතුන් අවබෝධ කොට ගත්තේ ය.මේ අනුව නව මාධ්‍ය පරම්පරාව මත තවත් මාධ්‍ය පරම්පරාවක් බිහිවනු ඇත.ලෝකයේ යථා ස්වභාවය එය වේ.


නූතන මාධ්‍ය අභිබවා නව මාධ්‍යයේ නැගීම සිදුවිය.නව මාධ්‍යයේ ප්‍රබල වර්ධනය සිදුවන්නේ ප්‍රධාන වශයෙන් ම අන්තර්ජාලයේ ව්‍යාප්තිය හා වර්ධනය තුළීනි. අන්තර්ජාලයේ ඇරඹීම නව මාධ්‍යයේ ගමන තීව්‍ර කරන අතර ඊට පූර්වයේදී නිර්මාණය වු හඩ පටිගත කිරීමේ වීඩියෝ පටිගත කිරීමේ යන්ත්‍රය නව මාධ්‍යයේ මූලික අවස්ථා විය.මෙම නව මාධ්‍යයේ නැගීම හා වර්ධනය විද්වතුන් විසින් පෙන්වා දෙන්නේ තවදුරටත් තොරතුරුවලට දේශ සීමා බාධා නොමැති වීමෙන්  ගෝලීයකරණ ශක්‍යතාව ප්‍රබල වී ඇති බවයි.
පුවත්පත,රූපවාහිනිය හා ගුවන් විදුලි මාධ්‍ය සිදුකරනු ලැබූ සංහතික සමාජයීය කාර්යභාරය වත්මන අන්තර්ජාලය විසින් ඉටුකරනු ලබන්නේ වඩා සාධනීය ප්‍රතිළුල අත්පත් කරගනිමිනි.පොඩ්කාස්ටින්,යූ ටියුබ් ෂෙයාරින් ආදී ආදේශකයන් මගින් සාම්ප්‍රදායික ගුවන් විදුලි හා රූපවාහිනී මගින් සිදුකරනු ලැබූ විභවතාවන් ආකර්ෂණීය ලෙස ඉදිරිපත් කරයි. මේ හේතුව මත අද වන විට නව මාධ්‍ය යනු වේගයෙන් මිනිසා අතරට යන මාධ්‍යයක් ලෙසත් සාම්ප්‍රදායික පුවත්පත,ගුවන් විදුලිය හා රූපවාහිනිය මිනිසාගෙන් ගිලිහී යන මාධ්‍යයක් බවටත් පත්ව ඇත. නව මාධ්‍ය ලෝකය මිනිසාගේ අත මතට ගෙනවිත් දී ඇත.

- වසන්ත මාසිංහගේ
- SC/MAMM/2018/2019/14

Saturday, April 20, 2019

නව මාධ්‍ය හා නූතන මිනිසා

නව මාධ්‍ය හා නූතන මිනිසා


පැරණි සිංහල කියමනක් තිබෙනවා දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග කියලා.නව මාධ්‍ය තුළද නූතන මිනිසාට සිදුව ඇත්තේ මෙම කියමනට සමාන දෙයකි.නව මාධ්‍ය දැනගෙන භාවිත කරන පිරිස සිටින්නේ ඉතා අඩු ප්‍රමාණයක්.බහුතරයක් දෙනා නව මාධ්‍ය තුළ අතරමංව සිටින්නේය.එබැවින් කතරගම යාමට උත්සාහ දරන බොහෝ දෙනෙකුට එම ගමන නොහැකි වී ඇත. 



නව මාධ්‍ය තුළ එලෙස පුද්ගලයින් අතරමං වන්නේ ඇයි ?

දශකයක පමණ කාලයක සිට නව මාධ්‍ය එසේත් නොමැතිනම් සමාජ මාධ්‍ය මිනිසුන් අතර ඉතා ජනප්‍රිය තත්ත්වයකට පත්වුණා. එය කොතරම්ද යත් කඩදාසි සොයා ගැනීමෙන් පසු ජනප්‍රියත්වයට පත්වූ පුවත්පත එමෙන්ම ඉන්පසු ජනප්‍රියත්වයට පත්වූ ගුවන් විදුලිය හා රූපවාහිනියද අභිබවා යමින්. මේ තත්ත්වය තුළ දෛනිකව දැකගත හැකි වූ දෙය වූයේ පුවත්පත,ගුවන් විදුලිය හා රූපවාහිනිය ක්‍රමයෙන් අභාවයට යාමයි. පසුගිය දශකයක කාලය තුළ එම සාම්ප්‍රදායික මාධ්‍ය අභිබවා යමින් නව මාධ්‍ය කැපීපෙනන වර්ධනයක් අත්කර ගන්නට සමත්විය.පුවත්පත,ගුවන් විදුලිය හා රූපවාහිනිය තුළ සැමට කළ හැකි දෙයක් නොමැතිවීම මේ තත්ත්වයට හේතුවුණා.නමුත් නව මාධ්‍ය තුළ එසේ නොවේ එහි සෑම අයෙකුම කොටස්කරුවන්.එම නිසා වයස් භේදයකින් තොරව සෑම අය අතරම නව මාධ්‍ය ජනප්‍රිය වන්නට වුණා.

නව මාධ්‍ය ජනප්‍රියත්වය කෙතරම්ද යත් අප සියලු දෙනාගේ මූලික අවශ්‍යතාවක් වන තරමට එය පත්ව ඇත.නූතන මිනිසා ආහර පාන,නිවාස,ඇදුම් පැළදුම්,බීමට ජලය සපයා ගනිද්දි තම සන්නිවේදන අවශ්‍යතා සපුරාගනු ලබන්නේ නව මාධ්‍ය භාවිතය හරහායි. මිනිසා යනු හුදකලාව සිටින සත්ත්වයෙකු නොවේ.සෑම විටම අනෙකා සමග සන්නිවේදනයේ යෙදෙන සත්ත්වයෙකි. එබැවින් නව මාධ්‍ය ඊට හොදම මෙවලම බවට පත්ව තිබෙනවා.මේ මෙවලම භාවිතයේදී මිනිසාට තමා කළ යුතු නොකළ යුතු දේ කුමක්ද යන්න පවා අමතකව ගොස් තිබෙනවා. ඊට හේතුව නව මාධ්‍ය තුළට පිවිසෙන ඕනෑම කෙනෙකුට වාරණයකින් තොරව තම අදහස් ප්‍රකාශනයට ඉඩකඩ විවෘතව ඇති නිසායි. එහි බාධා කිරීමට කිසිවෙකුත් නැත.තම අදහස සමාජගත කිරීමට නව මාධ්‍ය තුළ ඕනෑතරම් ඉඩකඩ විවෘතව පවතින්නේය. එමෙන්ම අනෙකාගේ අදහසට තමා එකගද?එකග නොවන්නේද? ඒ සම්බන්ධයෙන් තම අදහස කුමක්ද යන්න පවා දැන්වීමටද නව මාධ්‍ය තුළ ඉඩකඩ ඇත.මේ තත්ත්වය තුළ නූතන මිනිසාට තබා අපේක්ෂා කරන මට්ටමද ඉක්මවා සන්නිවේදනය සදහා ඉඩකඩ නව මාධ්‍ය තුළ විවෘතව පවතින්නේය. මේ හේතුවෙන් තමාගේ සීමාව හදුනා ගත නොහැකිව ඇති නූතන මිනිසා නව මාධ්‍ය තුළ අතරමංවීම වැලැක්විය  නොහැකි දෙයකි.

වැදගත්ම කාරණය වනුයේ සාම්ප්‍රදායික මාධ්‍ය සලකා බැලීමේදී එහි පලවන තොරතුරුවලට වගකියන්නෙකු ඇත.එමෙන්ම එම තොරතුරු පලකරන්නේ කවුරුන්ද යන්න පොදු ජනතාවට දැන ගත හැකියි. නමුත් නව මාධ්‍ය තුළ එවැනි තත්ත්වයක් දක්නට නැහැ. නව මාධ්‍ය ඇතැම් විද්වතුන් සමාන කරනුයේ වනයකටයි. වනය තුළ නීතියක් නැත. අප සාමාන්‍ය ව්‍යවහාරයට සදහන් කරනුයේ කැලෑ නීතිය කියා.ඇතැම් විද්වතුන් පෙන්වා දෙන්නේ නව මාධ්‍ය තුළද ඇත්තේ එවැනි කැලෑ නීතියක් බවයි. එබැවින් සීමාව කුමක්ද තමන් යා යුත්තේ කුමන දිශාවකටද යන්න තීරණය කළ යුත්තේ එය පරිශීලනය කරන්නා විසින්මය. මේ කැලෑ නීතිය තුළ බොහෝ දෙනෙකු අතරමං වන්නේය.එම නිසායි නව මාධ්‍ය පරිශීලනය ද නොදැන ගියොත් අතරමග වන්නේ.


- වසන්ත මාසිංහගේ
- SC/MAMM/2018/2019/14






Thursday, April 18, 2019

නව මාධ්‍ය සහ සංවිධිත පුරවැසි මාධ්‍ය


සමකාලීන ලෝකයේ වඩා ජනප්‍රිය මාතෘකාවක් වන පුරවැසි මාධ්‍යකරණය අද වන විට විවෘත අවකාශයක් වූ සයිබර් අවකාශය තුළ ලෝකයට වඩාත් බලපෑම් සහගත මාධ්‍ය ක්‍රියාවලියක් බවට ප්‍රවේශව සිටී.  සංහතික මාධ්‍ය භාවිතයන්ට අභියෝග කරමින් නැගී එන නව මාධ්‍ය ප‍්‍රවණතාවන්ගේ අංගයන් ලෙස ඉස්මතු වූ ජංගම දුරකතන, වෙබ් අඩවි, බ්ලොග් අඩවි, හා සමාජ ජාල මාධ්‍ය අවශ්‍ය ධාරිතා එළෙසම සලසමින් පුරවැසි මාධ්‍යකරණයේ වර්ධනය අවැසි අංගෝපාංග නිර්මාණය කරදී ඇත. මේ නිසා ජනමාධ්‍ය පිළිබඳ අධිපති මතවාද කඩා වැටෙමින් නව මාධ්‍ය ඔස්සේ කෙරෙන නව කියවීම් කරළියට එයි. පුරවැසියා මෙන්ම පුරවැසි මාධ්‍යවේදියා ද සංවිධානගත වෙමින් සංවිධානාත්මක බලයක් ලෝකය වෙත මුදා හරිමින් සිටී. විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය ආයතනයකට වාර්තා සපයන පුරවැසි මාධ්‍යවේදියෙකුගේ හෝ තම ෆේස්බුක්, ට්විටර්, බ්ලෝග් අඩවි තුළින් වාර්තා ගෙන එන පුරවැසි මාධ්‍යවේදීන් නව මාධ්‍ය වේදිකාවමතම සංවිධානගතව කරන බලපෑමේ ශක්‍යතාව ඉහළ බැවු පහත ලෝක අත්දැකීම් අපට පසක් කර දෙයි.

2000 වසරේදී සෑම පුරවැසියෙකු ම වාර්තාකරුවෙක් යන තේමාවෙන් ඇරඹි Ohmy News යනු දකුණු කොරියාවේ පුරවැසි වාර්තාකරණයේ නිරත අන්තර්ජාල ප‍්‍රවෘත්ති වෙබ් අඩවියකි. තම පාඨකයන්ගේ ලිපි පිළිගෙන, සංස්කරණය කොට, ප‍්‍රකාශයට පත් කළ දකුණු කොරියාවේ පළමු ප‍්‍රවෘත්ති වෙබ් අඩවිය මෙයයි. මෙම වෙබ් අඩවියේ අන්තර්ගතයන්ගෙන් 20%‍්‍ර ක් පමණ එහි කාර්ය මණ්ඩල සාමාජිකයන් රචනා කරන අතර බොහෝ ලිපි සම්පාදනය කරන්නේ සාමාන්‍ය පුරවැසියන් ය. 2002 වසරේ පැවති දකුණු කොරියානු ජනාධිපතිවරණයට Ohmy News වෙබ් අඩවිය විශාල බලපෑමක් සිදු කර ඇත. 

ජනාධිපතිවරණයෙන් රෝ  මූ යුන් ජයග‍්‍රහණය කිරීමෙන් පසුව ප‍්‍රථම සම්මුඛ සාකච්චාව ලබාදී ඇත්තේද Ohmy News වෙබ් අඩවියටයි. එමෙන්ම කිසිදු බාහිර පාර්ශ්වයක සහය නොලබමින් 10,000කට අධික පුරවැසි මාධ්‍යෙව්දීන් පිරිසකගේ සහභාගීතවයෙන් සම්මේලනයක් පැවැත්වීමටද  Ohmy News වෙබ් අඩවිය සමත්වී ඇත. 2007 වසරේ දී මෙම වෙබ් අඩවිය මගින් පුරවැසි ජනමාධ්‍යවේදය පිළිබඳ පාසලක් ද විවෘත කරනු ලැබීය. 


On The Ground News Reports නැතහොත් OGNR යනු පුරවැසි මාධ්‍යවේදය මූලික කර ගත් ප‍්‍රවෘත්ති ක‍්‍රමවේදයකි. මෙහිදී සිදුවන්නේ පුරවැසි වාර්තාකරුවන් රැස්කරන ප‍්‍රවෘත්ති තහවුරු කර කෙටියෙන් ප‍්‍රකාශයට පත් කිරීමයි. ජැමෙයිකානු ජාතික මාර්ක් රැම්සි ගේ පුරෝගමීත්වයෙන් ජැමෙයිකාවෙන් ආරම්භ වූ මෙම ප‍්‍රවෘත්ති ක‍්‍රමවේදය මේ වන විට ලොව පුරා ව්‍යාප්ත වී ඇත. ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු අල්ලා ගැනීම සඳහා හමුදාව දියත් කළ මෙහෙයුමක තොරතුරු ජැමෙයිකානු රජය සැඟවීමට කටයුතු කළ අතර ඒ සම්බන්ධයෙන් ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය නිහඬ ප‍්‍රතිපත්තියක් අනුගමනය කළේය. එම අවස්ථාවේදී OGNR ෆේස්බුක් පිටුව මීට අදාළ සියලූ තොරතුරු වාර්තා කළ අතර එය එම තොරතුරු වාර්තා කළ එක ම ප‍්‍රවෘත්ති මූලාශ‍්‍රය විය. තමන් වෙත ලැබෙන ප‍්‍රවෘත්ති OGNR සංස්කාරකවරුන් පරීක්ෂා කර ඒවායේ සත්‍ය අසත්‍යතාව තහවුරු කර ප‍්‍රකාශයට පත් කිරීම මෙම වෙබ් අඩවිය තුළ සිදුවෙයි. ප‍්‍රවෘත්ති වාර්තාවක් ප‍්‍රකාශයට පත්කළ පසු අනෙකුත් පුරවැසි මාධ්‍යවේදීන්ට ද අවශ්‍ය යාවත්කාලීන තොරතුරු ආදිය ඊට එකතු කළ හැකිය. පරිගණක වෙබ් අඩවි, ජංගම දුරකතන සඳහා නිර්මිත වෙබ් අඩවි, පරිගණක මෙවලම් හා විද්‍යුත් තැපෑල ආදිය මගින් ප‍්‍රවෘත්ති වාර්තා යැවීමටත්, ලබා ගැනීමටත් මෙහිදී සාමාජිකයින්ට පහසුකම් සලසයි. සමාජ මාධ්‍ය දෙකක් වන ෆේස්බුක් හා ට්විටර් ඔස්සේ ද වාර්තා එවීමේ හැකියාව පවතී. මෙය භාවිතා කරන්නන්ට ලැබෙන වාර්තාවකට තම ජංගම දුරකතනයෙන් පණිවිඩයක් ඔස්සේ ප‍්‍රතිචාර දැක්වීමට ද අවස්ථාව හිමිවේ.

විවිධ සිද්ධිවලට මැදි වන පුරවැසියෝ ප‍්‍රවෘත්ති වාර්තා, ජායා රූප හා වීඩියෝ පේ‍්‍රක්ෂකයන් සඳහා විසුරුවා හරිති. එවිට පේ‍්‍රක්ෂකයන් ඒවා තවත් තහවුරු කරමින් යාවත්කාලීන තොරතුරු, අදහස් දැක්වීම් හා ඒවාට සම්බන්ධ දෑ එකතු කරයි. පැය 48 ක කාලයක් තුළ OGNR ෆේස්බුක් පිටුවට ග‍්‍රාහකයින් 22,000 ක් දායක වී ඇත. ජැමෙයිකාව පුරා සිදුවන දේවල් රැගෙන එසැණ පුවත් මූලාශ‍්‍රයක් ලෙස OGNR ෆේස්බුක් පිටුව අඛණ්ඩව වර්ධනය විය. 2013 මැයි මාසය වන විට OGNR ෆේස්බුක් පිටුවේ ග‍්‍රාහකයන් 94,000 ට අධික පිරිසක් ද, රටවල් 25 ක කෙටි පණිවුඩ ග‍්‍රාහකයින් ද, 12,000 කට අධික ටිව්ටර් අනුගාමිකයන් සංඛ්‍යාවක් ද විය. එසේම අද වනවිට ජැමෙයිකාවේ වැඩිම පිරිසක් භාවිතා කරන මාධ්‍ය වෙබ් අඩවි අතර තුන් වන ස්ථානය හිමිවී ඇත්තේ OGNR වෙබ් අඩවියටයි.

සාමුහිකව පුරවැසි මාධ්‍යවේදය පදනම් වූ ප්‍රවෘත්ති වෙබ් අඩවි මෙන්ම තනි තනි වශයෙන් සැකසුණු බ්ලොග් අඩවි හා ෆේස්බුක්, යූ ටියුබ් වැනි සමාජ ජාල ඔස්සේ සිදුවන පුරවැසි මාධ්‍යකරණය අද ලෝකය තුළ ඉතා සුලබය. පසුගිය ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍යකරුවන්ගේ සංගමයද  මෙවන් අවකාශයක් මෙරට පුරවැසි මාධ්‍යවේදීන්ට තනා දීමට මුලපිරුව ද තවමත් එහි සාර්ථක ඉදිරි පියවරයන් දැකගත නොහැකිය.






L.A. Samarasinghe
SC/MAMM/2018/2019/17