Pages

Tuesday, August 1, 2017

‘ඊ පරම්පරාවේ’ සන්නිවේදන පෙරළිය

(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)

‘තොරතුරු හෝ ප‍්‍රවෘත්ති තවදුරටත් සැගවිය නො හැකි දෙයක් බව’ වර්තමානයේ ප‍්‍රචලිතව ඇති ‘නව මාධ්‍යවලට’ කැමැත්තක් දක්වන බොහෝ දෙනෙකුගේ අදහසයි. මෙහි දී නව මාධ්‍ය යනුවෙන් අදහස් කරන්නේ, ප‍්‍රවෘත්ති වෙබ් අඩවි, බ්ලොග් අඩවි සහ ෆේස් බුක් ජාල ඇතුළු ‘සමාජ මාධ්‍ය’ ඔස්සේ ක‍්‍රියාත්මක වන, අන්තර්ජාලය මත පදනම් වූ මාධ්‍ය ධාරාවයි. මේවායින් සමහරක් ‘පුරවැසි මාධ්‍ය’ ලෙස ද හඳුන්වනු පෙනේ. ලංකාවේ සම්මත ධාරාවේ මුද්‍රිත මාධ්‍ය මගින් ඇතැම් තොරතුරු හෝ ප‍්‍රවෘත්ති සඟවන බවත්, නව මාධ්‍ය ඒවා නො පැකිලව නිරාවරණය කරන බවත්, ඒවාට රුචි කරන අය පවසති. එහි දී මුද්‍රිත මාධ්‍ය ජනතාව ගෙන් ප‍්‍රතික්ෂේප වන බව ද ඔවුහු අදහති. එබැවින් තව වැඩි කලක් නො ගොස් ලංකාවේ මුද්‍රිත මාධ්‍ය සහමුලින්ම අවසන් ගමන් යනු ඇති බවත්, එවිට ඔවුන්ගේ ආස්ථානය නව මාධ්‍ය විසින් අත්පත්කර ගනු ඇති බවත්, ඔවුන්ගේ අලූත්ම මතවාදයයි.

මෑතක මේ කාරණය පිළිබඳ පෙරළිකාර සටහනක් පළ වූයේ, ‘ලංකා ඊ නිවුස්’ ප‍්‍රවෘත්ති වෙබ් අඩවියේ ය. 2015 නොවැම්බර් 06 වැනි දා පළ වූ සටහන ලියා තිබුණේ, තුෂල් විතානගේ සහෘදයා විසිනි. සම්මත ධාරාවට අයත් සිංහල මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ජනතාවට අවශ්‍ය ඇතැම් තොරතුරු සඟවන බැවින්, මහජනයා ඉන් ඉවත්වී ‘නව මාධ්‍ය’ වෙත නැඹුරු වෙමින් සිටින බව ඔහුගේ ලියැවිල්ලෙහි සඳහන් විය. එසේම එහි අවසන් ප‍්‍රතිඵලය වන්නේ, ලංකාවේ චිත‍්‍රකතා පත්තර අභාවයට ගියාක් මෙන් මුද්‍රිත මාධ්‍ය ද අවසන් ගමන් යාම විය හැකි යයි ද ඔහු පවසා තිබිණි. ‘පුරවැසි වාර්තාකරණය හමුවේ බිඳ වැටෙන ජාතික ජනමාධ්‍යවල අභිමානය’ යන්න ලිපියෙහි සිරස්තලය විය.

ලියුම්කරු, තුෂල් විතානගේ සහෘදයා ගෙන හැර පෑ ඇතැම් කාරණාවලට එකඟ නැත. එසේ වුව ද තුෂල් සිය ලියැවිල්ලෙන් මතු කරන ප‍්‍රධාන කාරණයට ලියුම්කරු ද එකඟ ය. ‘නව මාධ්‍ය විසින්, ඉතා වේගයෙන් මුද්‍රිත මාධ්‍ය අභිබවනය කරමින් සිටින්නේ ය’ යන්න, එම ප‍්‍රධාන කාරණයයි. එය වර්තමාන මාධ්‍ය ලෝකයේ කිසිවෙකුට බැහැර කළ හෝ ප‍්‍රතික්ෂේප කළ නො හැකි තත්ත්වයකි. එබැවින් තුෂල් මතු කළ සංවාදය තවත් අදියරකින් ඉදිරියට ගෙන යාම මෙම සටහනෙහි අරමුණයි. ලියුම්කරු එහි දී සම්මත ධාරාවේ මුද්‍රිත මාධ්‍ය පමණක් නොව, විද්‍යුත් මාධ්‍ය ද (සම්මත ධාරාවේ ජාතික මාධ්‍ය) සිය ලියැවිල්ලට හසුකර ගනියි. සම්මත ධාරාවේ මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යවලට ප‍්‍රවෘත්ති හෝ තොරතුරු ‘සැඟවීමට’ (සැඟවීමක් යයි කියන) සිදුව ඇත්තේ මන්ද? යන්න සහ වර්තමාන ජන සමාජය කෙරෙහි නව මධ්‍ය ධාරාවේ බලපෑම කොතෙක් ද? යන කාරණා එයින් සාකච්ඡුා කෙරේ.

නව මාධ්‍යයෙහි පැතිරීම

කරුණු කාරණා විස්තර කරන්නට මත්තෙන්, අන්තර්ජාලය මුල්කර ගත් සමාජ මාධ්‍ය අද කොතෙක් දුරට ව්‍යාප්තව තිබේ ද? යන්න ගැන දළ අවබෝධයක් ගත යුතුවේ.

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ 2014 වාර්ෂික වාර්තාවට අනුව, එම වසරේ ලංකාවේ සිටි අන්තර්ජාල ග‍්‍රාහකයන් සංඛ්‍යාව 33,83,458කි. වර්ෂයේ ජනගහණය සමග ගැලැප්පූ විට, රටේ සෑම හය දෙනෙකු ගෙන් එක් අයෙක් අන්තර්ජාල ග‍්‍රාහකයෙකි! ඊට අමතරව 2014 වසර වන විට ලංකාවේ භාවිත වන ෆේස් බුක් ගිණුම් සංඛ්‍යාව ලක්ෂ 23ක් පමණ වන බව අසන්නට ලැබේ. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2015.12. 10 වැනි දින නිකුත් කළ ලංකාවේ පරිගණක සාක්ෂරතාවය පිළිබඳ තොරතුරු අනුව, රටේ ජනගහණයෙන් සියයට 24.6ක්ම ‘ඩෙක්ස්ටොප්’ හෝ ‘ලැප්ටොප්’ මාදිලියේ පරිගණක භාවිත කරති. ලංකාවේ සමස්ත පරිගණක සාක්ෂරතාව සියයට 26.8කි. පරිගණක සාක්ෂරතාවය වැඩිම බස්නාහිර පළාතේ ය. එය සියයට 38.3කි. වයස් අනුව ගත් විට පරිගණක සාක්ෂරතාවය වැඩිම අගයක් ගන්නේ, අවුරුදු 15-19 අතර කාණ්ඩයේ ය. ඔවුන් ගෙන් සියයට 27.6ක් අන්තර්ජාලය ද, සියයට 21.2ක් ඊමේල් ද භාවිත කරති. අවුරුදු 15-29 අතර වයස් කාණ්ඩයේ අය අතර අන්තර්ජාල භාවිතය ඉහළ අගයක් ගනියි. වර්ෂ 2010-2014 කාලය තුළ, පරිගණක සතු ජනගහණය සියයට 66.9ක් විය.

(උපුටාගැනීම - http://walaspathi.blogspot.com)

0 comments:

Post a Comment