Pages

Saturday, August 19, 2017

ගප්පියා ඇල්ලීම

”තනියම ගේම” යැයි අපි එදිනෙදා ව්‍යවහාරයේ කියන්නේ.. තනියම නොහොත් ස්වශක්තියෙන් සියළු දේ කරන්නට සිදු වී තිබිමය. ගප්පියා සිදුකරන්නේත් එයමය. අන්තර්ජාලය පරිහරණය කරන බොහෝ දෙනෙක් ගප්පියා හදුනති. ”තනියම ගේම” කිව්වාට ගප්පියා එහෙම ආත්මාර්ථකාමි ගේම් ගහන කෙනෙකුත් නොවේ. එසේ වුවද ගප්පියා විසින් අන්තර්ජාලය තුල මෙතෙක් ගසා ඇති ගේමද සුළුපටු එකක් ලෙස සැලකිය නොහේ. ගප්පියා ගැන කථාකිරිමට සිදුවන්නේ ඒ අස්ථානයේ සිටය. 


මේ ආදී වශයෙන් ගප්පියා කියන දෙයින් ගම්‍යමාන වන සත්‍යනම් අනිත් වුන් වද ඇදගෙන ගප්පියාට ජීවිතය සාර්ථක ඉසව්වක් කරා ගෙනයාමට අවශ්‍ය බවය. ඒ නිසාම ගප්පියා යනු සැබැවින්ම කවුද යන්න මෙහිදි විමසා බැලීම වටි. 



සරලයි ඒත් ගැඹුරුයි 

ගප්පියා නොහොත් තරිදු විජේසේකර කරලියට පැමිණෙන්නේ  ඕස්ෙටි‍්‍රලියාවේ සිටය. ඔහුට ගප්පියා යන නම ලැබෙන්නේ ශ‍්‍රී ලංකාවේදීය. පාසැලේදී ඉතා කෙට්ටු ශිෂ්‍යයෙක් වන තරිදු සිය මිතුරන් අතින් ගප්පියා යන බෞතිස්ම නාමය ලබයි. පාසැල් කාලයේ සිටම චිත‍්‍ර ඇදීමේ සහජ හැකියාවක් ඇති ගප්පියා වෙබ් සැලසුම්කරුවෙකු ලෙස  ඕස්ෙටි‍්‍රලියාවේදී කටයුතු කිරිමට පටන් ගනි. එහෙත්  ඕස්ෙටි‍්‍රලියාවේදී ඔහු පිගන් සේදීම රැුකියාවක් ලෙස කල බව කියන්නට තරම් ඔහු අධීනද, නිහතමානීද , නිර්භයද , සරලද වේ. 

ගප්පියාගේ නිර්මාණ බොහෝමයක මෙම සරල, සැහැල්ලූ, සත්‍යවාදී, තරුණයා අපට මුණගැසේ. 


සරලය කිව්වාට ගප්පියා තුල ගැඹුරු ජීවන දහමක්, ජීවන විලාශයක්, දේශපාලන දැක්මක් සතු බව දක්වන්නට ඔහුගේ නිර්මාණ අතලොස්සක් වුව ප‍්‍රමාණවත්වේ.



ඔහුගේ නිර්මාණ ප‍්‍රකාශන ජේදනය තුල මා දකින සුවිශේෂීම ගුණාංගය වනාහි ඍජු බවය. තමාගේ තීරණ වල වගකීම තමාම දරාගන්නා බවය. ඒ සඳහ වන සරල උදාහරණයක් අප ඔහුගේ වීඩියෝ නිර්මාණයක් තුලින් දැන් නරඹමු.


ඉහත වීඩියෝව නැරඹු පසු ඔබ අත්විදි හැගීම කුමක්ද ? බිරිදට පමණක් නොවන එදිනෙදා දෛනික ජීවිතයේදී අප ඇසුරු කරන කිරි කාරයාගේ සිට කන්තෝරුවේ ලොක්කා දක්වාම, පුද්ගලයන් හා ගණුදෙනුවේදී අප හැසිරෙන්නේ කොතරම් ව්‍යාජ ලෙසද ? යන්න නොවේද ? 

අපගේ අවශ්‍යතාවය පිළිබඳව ඍජුවම, පැහැදිලිව සරලව අපට බිරිද හෝ සැමියා වෙත සන්නිවේදනය කල නොහැක්කේ මන්ද ? එසේ කිරිමට තරම් සාමාජීය වශයෙන් දියුණු වටපිටාවක ශ‍්‍රී ලාංකිකයන් හැටියට අප සිටිමුද ? මං අද හවසට යාළුවෝ ටික එක්ක බීලා එන්නේ යැයි කිවහැකි සැමියෙක් සහ හා හොදයි කියා එයට එක`ගවන බිරිදක් සිටින්නේ ලෝකයේ කවර රටකද ? 

නමුත් සිදුවිය යුත්තේද එයම නොවන්නේ ද ? පුද්ගල නිදහස හා එකිනෙකාගේ සිතුම් පැතුම්වල ගෞරවනීය ලෙස සැලකීම නොහැකි වීම පිළිබඳව වන ඛේදනීය සත්‍යත් එම නිර්මාණය තුල මැනවින් ප‍්‍රතිනිර්මාණය කිරිමට මෙහිදී ගප්පියා නිර්මාණශීලිව සමත්ව තිබේ. 

මෙම නිර්මාණය නැරඹු ප‍්‍රමාණය 44,239 ක් වන අතර 1262 ක් ඒ සඳහා සිය කැමැත්ත පළකොට තිබේ. 

ගප්පියාගේ නිර්මාණ අඩවිය කොටස් කිහිපයකට බෙදි යයි. එනම් ගප්පියා වීඩියෝ, ගප්පියා thinking, ගප්පියා songs, ගප්පියා dramas, just ask  ගප්පියා, 10  rules of gappiya ,  gappiya music , gappiya clothing යනාදී වශයෙනී. 

විටෙක ධනාත්මක චින්තකයෙකු වන ගප්පියා විටෙක රස්තියාදුකාරයෙකි, විටෙක චිත‍්‍ර ශිල්පියෙකි, විටෙක හොරෙකි, විටෙක සළෙලෙකි. විටෙක නෝන්ජල් අවිහිංසකයෙකි, විටෙක පෙම්වතෙකි, විටෙක විද්වතෙකි. ඔහුගේ නිර්මාණ තුල ඔහු විසින් මෙම චරිත ද්විත්වයම නිරූපණය කරනු ලබන අතර ඒ සෑම ද්විත්ව චරිත නිරූපනයක් තුලම සෑම අතින්ම වෙනස්වු පුද්ගල චරිත දෙකක් ග‍්‍රාහකයාට හමුවේ. 

චරිත නිරූපණය පිළිබඳව වන ඔහු තුල ඇති භවයත් සරලය, අවංකය. කොටින්ම කිවහොත් ඔහු පෙන්වන්නේ ඔහුවම මිස අනෙකෙකු නොවේ. අප ලැජ්ජා වන්නේ ඔහුගේ නිර්මාණ තුල අප අපවම දකිනා හෙයිනි. එහෙත් ඔහු තරමටම අපට ඍජුවිය නොහැකි හෙයිනි. 


මිනිහෙක් අවංක වු විට කුමක් සිදුවන්නේද ? මෙය ගප්පියාගේ වීඩියෝ තුල නිරූපනය වන ආකාරය හාස්‍යජනකය, නමුත් ගැඹුරුය. ඍජුය. පණිවිඩය මනා ග‍්‍රාහකයා අල්ලා ගනි. ඒ හරහා ගප්පියා අපව අල්ලා ගනි. 

 

ගප්පියා ගේ දේශපාලනය 

ගප්පියාගේ දේශපාලනය  අහවල් එකය හෝ අහවල් පක්‍ෂයයි කීමට අපට හරිහැටිම නුපුළුවන. නමුත් ගප්පියාට දේශපාලනයක් තිබේ. ගප්පියාම කියන ආකාරයට රටක් හෝ ජාතියක් වෙනස් කිරිමේ දේශපාලනයක් ඔහු නොකරයි. ඔහුගේ ජීවන දර්ශනය ඔහුගේ දේශපාලනයයි. 

 

ගප්පියා හා පශ්චාත් නූතනවාදි ලාංකීය තරුණයා 

ලංකාවේ ජීවත් වන ලාංකීය තරුණයන්ගේ සිහින ආදේශය, සිහින කුමරා, සයිබර් වීරයා වීමට මේ මොහොතවන විට ගප්පියාට හැකිවී තිබේ. ගප්පියා යනු ජනප‍්‍රිය නළුවෙක් නොවේ. සිවිල් සමාජය තුල බලවත් චරිතයක් ද නොවේ. වෙනත් සුවිශේෂී හැකියාවන් සහිත තරු ගුණයක් ඇති පුද්ගලයෙක්ද නොවේ. සාමාන්‍ය මිනිසෙකි. සාමාන්‍ය කොල්ලෙකි. එහෙත් නූතන සයිබර් අවකාශය තුල ගප්පියා මෙන් අදින්නට, පලදින්නට, සිතන්නට, කොටින්ම කිවහොත් ඔහු මෙන් වීඩියෝ හදා එක රැුයින් තරුවක් වන්නට කැමති තරුණයෝ බහුලව සිටිති. ගප්පියා ලාංකීය නූතන තරුණ පරපුරට සිදු කරන්නේ සුජීව ප‍්‍රසන්න ආරච්චිගේ නවකතා වලින් ඇතිකරන ලද බලපෑම නොවේ. එය ඊට වඩා අර්ථාන්විතය. සුජිව ප‍්‍රසන්න ආරච්චි බත් කඩයක් දමා, කොත්තු රෙස්ටුරන්ට් එකක් දමා, කේක් පෙට්ටි හදා කොල්ලන්ට දියුණු වන ලෙස සිය නිර්මාණ වලින් කියන විට ගප්පියා කියන්නේ, ඊට වඩා පහසුවෙන් තනියම වීඩියෝවක් කරන ලෙසය. තනියම ස්ක‍්‍රිප්ට් එකක් ලියන විදිහය. තනියම තම විඞීයෝවේ රගපාන අයුරුය. පශ්චාත් නූතනවාදී ලාංකීය තරුණයාට සිය Smart ජංගම දුරකථනයෙන් බත් කඩයක් දැමීමට වඩා, කොත්තු රෙස්ටුරන්ට් හැදීමට වඩා ගප්පියා කියනදේ කිරිම පහසුය.

ගප්පියා ලංකාවේ තරුණයක් අතර මේ මොහොත වන විට ”වීරයා” වන්නේ එබැවිනි. එක් අතකින් ගප්පියා නියෝජනය කරන්නේ නූතන සයිබර් අවකාශයේ ලාංකීය තරුණයාගේ ඉටුනොවු අපේක්‍ෂාය. 


ගප්පියා සහ ලිංගිකත්වය 

ගප්පියාගේ ජීවන දහම තුල ඔහුගේ ලිංගිකත්වය හා ආදරය පිලිබද සංකල්ප විවාදාත්මකය. නමුදු බටහිර රටක විදේශීය තරුණියක් හා විවාහ  වි සිටින ගප්පියා ලංකාවේ තරුණයන්ට ලිංගිකත්වය දෙස විවෘත මනසකින් බලන්නට ආරාධනා කර සිටි. මේ කාරණයේදී නම් ඔහු හා එකග වනද නොවනද තරුණයෝ ඔහු හා සංවාදයට එලැඹෙති. ඔහු හා ඔහුගේ වීඩියෝ සඳහා පෙනී සිටින බිරිද කිසිදු පැකිලීමකින් තොරව ඔහුගේ සරල ජීවන දර්ශනය තහවුරු කිරිම උදෙසා සිය යට ඇදුම පවා පෙන්වා සිටි. මෙය යම් අවස්ථා වලදි සදාචාරය ඉක්මවීමක් ලෙස මතුපිට අර්ථයෙන් අර්ථ දැක්විය හැකි වුවද, ගප්පියා සිදුකරන්නේ එයම නොවේ. ඒ තුලින් ආදරය කිරිමට නිදහස හා ආදරය දීමට නිදහස ලබා ගැනීමට ඔහු ප‍්‍රයත්න දරයි. ”කොන්දේසී විරහිත බැදිමක පැවතීම” ඔහු විසින් සනාත කිරිමට යන්න දරයි. 

 

Just Ask ගප්පියා 

ගප්පියාගෙන් අහන්න යන විශේෂාංගය සුරංගි අක්කාගෙන් අහන්න යනුවෙන් ළමා කාලයේදී අප ඇසු ළමා පැන පොඩි තීරය වැන්නක් සිහියට නංවයි. මින් මතු කෙරෙන යටිපෙළ අරුත නම්, ගප්පියා ප‍්‍රශ්න අසා පිළිතුරු ලබාගතයුතු තරමේ වැදගත් සයිබර් චරිතයක් වන බවය. මේ විශේෂාංගය සඳහා ගප්පියා ලබාදෙන බොහෝ පිළිතුරු හාස්‍යජනක වුවද වීඩියෝවක් නිර්මාණය කිරිම, පිටපතක් රචනා කිරිම වැනි සැබෑම ප‍්‍රශ්නවලට ඔහු සැබෑ පිළිතුරු ලබාදෙයි. එසේම මානසීක, සමාජයීය ගැටළුවලටද මෙකී නොකී සෑම ගැටළුවකටම පිළිතුරු ලබාදෙන ගප්පියා තමාගේ ග‍්‍රාහකයන් අතර ඉතා සූක්‍ෂම හා නිර්මාණශීලි ලෙස තම ස්ථාවරය රදවාගන්නට සමත්වේ. 



ගප්පියාගේ ජාතිය නැංවීමේ ප‍්‍රයත්න 

ගප්පියාගේ සෑම නිර්මාණ ප‍්‍රයත්නයකම අවසානයේ ඔහු පුද්ගලයින්ට වෙන වෙනමත් ජාතියට ඍජුවත් නැගි සිටිමේ ක‍්‍රම උපාය විදහා දැක්විම කැපී පෙනෙයි. තනි තනිව සිතා හෝ රට ජාතිය වෙනස් කිරිමේ උණක් ගප්පියාට තිබේ. එය කොතෙක් දුරට අවංකද යන්න විමසීමට බොහෝ විට අපට අමතක වන්නේ ගප්පියා සිය නිර්මාණයට අවංක හෙයිනි. 

  

ගරිල්ලා (ගප්පියා) මාකටින් 

ගප්පියා විසින් අවසන් වශයෙන් අප සියල්ලන්ම අල්ලන්නේ මෙතැනින්ය. ඒ අර්ථයෙන්ම බලන කල නූතන වාණිජ වෙලද පොළ තුල අප ගප්පියාගේ ගොදුරු බවට පත්වී කථාව නිමාවේ. මන්දයත් මෙම වෙබ් අඩවිය හරහා ද ගප්පියාගේ ලකුණ රැුගත් ටී ෂර්ට් සන්නාම හරහාද ගප්පියාගේ දුරකථන කවර හරහාද ඔහු ඔහුට ආවේණික වෙළඳපලක් නිර්මාණය කරගෙන අවසන් හෙයිනි. 
නමුත් ගප්පියා මාකටින් වලට හසුවුවායැයි සිතා කිසිවෙකු ඊට පශ්චාත්තාප නොවන්නේ ගප්පියා අපට ලබාදී ඇති සංඥාර්ථවාදි, සංජානනය නොහොත් ගප්පියාගේ ජිවන දහමට විරුද්ධ වීමට හෝ හෙලාදැකීමට අපට අවශ්‍ය නොවන බැවිනි. 
කොටින්ම ගප්පියා තාර්කිකය ! 
ගප්පියා තුල ගත යුත්තක් තිබේ. 

එසේ හෙයින් ගප්පියා වීම හෝ ගප්පියාගේ බඩු මිලට ගැනීම මාර දෙයකි. 

අවසන් අර්ථයෙන් එයද වෙලදපල ජයගැනීමකි. 
ගප්පියා ඇල්ලීම කෙසේ වෙතත්.. ගප්පියා අප අල්ලා ඇති බව නම් මේ වනවිට පරම සත්‍යකි. 





References :
 http://www.gappiya.com/ වෙබ් අඩවිය හරහා 

SC/PG/MMM/2015/2017/17
මයුරි ලියනගේ 

0 comments:

Post a Comment