Pages

Sunday, July 21, 2019

ප‍්‍රවෘත්ති මාධ්‍යවේදීන් සඳහා වූ වෘත්තීය ප‍්‍රතිපත්ති මාලාව බලාත්මක ද?





මිනිසා සාමාජීය පුද්ගලයෙකු වශයෙන් ස්ථාපිත වීමත් සමගම ප‍්‍රවෘත්ති දැනගැනීමේ කුතුහලය, ආශාව විසින් සෑම මිනිසෙකු ම පොළඹවනු ලැබූ බව ඓතිහාසික සත්‍යයකි. අතීතයේදී ත්, වර්තමානයේදී ත් මෙම පොදු මානව හැඟීම මත ක‍්‍රියාකිරීමේදී සමාජයක් තුළ සන්නිවේදන කාර්යයේදී, සමාජයේ වැඩි පිරිසක් උනන්දුවක් දක්වන දේ ප‍්‍රවෘත්ති ලෙස හඳුනාගෙන ඇත.

නමුත් වර්තමානයේ ප‍්‍රවෘත්ති වශයෙන් කරුණු තොරතුරු සමාජගත වීමේදී එමගින් පුද්ගලයාගේ මානව අයිතිවාසිකම් උල්ලංඝණය වන ආකාරයක් දැකගත හැකි ය. මිනිසෙකු වශයෙන් පුද්ගලයෙකු භුක්ති විදින ප‍්‍රධානත ම අයිතිවාසිකම වන්නේ ජීවත්වීමේ අයිතිය වේ. තව ද ප‍්‍රකාශනයේ නිදහස හෙවත් තමා දරන මතයන් පිළිබඳ අදහස් ඉදිරිපත් කිරීමට ඇති අයිතිය ද පුද්ගලයෙකු වශයෙන් ලබා ඇති මූලික අයිතිවාසිකමකි.

 මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනයේ 19 වන වගන්තියේ, ලේඛනයේ හා ප‍්‍රකාශනයේ නිදහස දක්වා තිබේ. එම නිදහස විශ්ව ප‍්‍රකාශනයේ 29 (2) හා 30 වගන්තිවලින් සීමා කර තිබේ. ඒ මෙසේ ය. 

29 (2) වගන්තිය.
      ”සමාජයේ කිසිවෙකුට හිංසා හා පීඩා වන ලෙස සිය අයිතිවාසිකම් හා නිදහස භාවිත නොකළ යුතු ය”

විශ්ව ප‍්‍රකාශනයේ 30 වන වගන්තියට අනුව ”අන්‍යයන්ගේ අයිතිවාසිකම් අහිමි කරන අන්දමින් අපට කැමති දෙයක් ප‍්‍රකාශ කළ නොහැකි ය.” යන්න සඳහන් වේ. මෙයින් අවධාරණය කරන්නේ ”අප කැමති දෙයක් ප‍්‍රකාශ කළ හැකි ය” යන පරම අයිතිය භාෂණයේ නිදහසට ඇතුළත් නොවන බව ය. 


සිවිල් හා දේශපාලන හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය. 

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ 19 වන වගන්තියෙන් ලබා දී තිබෙන අදහස් ප‍්‍රකාශ කිරිමේ නිදහස හෙවත් ලේඛනයේ, භාෂණයේ හා ප‍්‍රකාශනයේ නිදහස එම වගන්තියේ ම (3) වන  ඡ්‍දෙයේ (අ) සහ (ආ) උප වගන්ති මගින් සීමා කර තිබේ. එනම්, මෙම වගන්තියේ 2 වන ඡ්‍දෙයෙහි ප‍්‍රතිපාදිත අයිතිවාසිකම් ක‍්‍රියාත්මක කිරීමේදී ඒ හා බැඳුණු විශේෂ යුතුකම් හා වගකීම් තිබේ. එසේ හෙයින් එය ඇතැම් සීමා කිරීම්වලට යටත් විය හැකි ය. එහෙත් මේ කිසිවක් නීතියෙන් විධිවිධාන සැලසුණු හා යට දැක්වෙන ආකාරයේ ඒවා පමණක් විය යුතු ය. 

(අ) අනෙකාගේ / අන්අයගේ අයිතිවාසිකම්වලට හා කීර්ති නාමයන්ට ගරු කිරීම සඳහා. 
(ආ) ජාතික ආරක්ෂාව හෝ ජනතා විනය හෝ මහජන සාමය හෝ සදාචාරය හෝ රැකීම සඳහා නීතියෙහි ලා විධිවිධාන සලස්වා ඇත්තාවූ ද, අවශ්‍ය වන්නා වූ ද ඒවා විය යුතු ය. 

අන්‍යයන්ගේ අයිතිවාසිකම්වලට හා කීර්ති නාමයන්ට ගරු කළ යුතු බව ඉතාමත් පැහැදිලිව සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ දක්වා තිබේ. මෙයින් ගම්‍ය වන්නේ තමා ලියන, කියන හා ප‍්‍රකාශයට පත්කරන දේ තුළින් සමාජයේ ජීවත්වන පුද්ගලයින්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම හෝ ඔවුන්ගේ කීර්ති නාමයට කැළලක් වන අයුරින් අපහාස කිරීම හෝ නොකළ යුතු බව ය. එනම්, මාධ්‍යවේදියා වගකීමකින් යුතුව ආචාර ධර්මානුකූලව කටයුතු කළ යුතු බව ය. එසේ ම ඔහු ලියන, කියන ප‍්‍රකාශයට පත් කරන දේ තුළින් ජාතික ආරක්ෂාවට, මහජන සාමයට, මහජන සෞඛ්‍යයට හා සදාචාරයට හානියක් සිදු නොකළ යුතුය යන්න ද මේ වගන්තිවලින් අවධාරණය කර තිබේ. 



මාධ්‍යවේදීන් සඳහා වූ වෘත්තීය ප‍්‍රතිපත්ති මාලාව.

මෙය ශ‍්‍රී ලංකා කර්තෘ සංසදය විසින් සම්පාදනය කරනු ලැබ ශී‍්‍ර ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම විසින් පිළිගැනුණු මාධ්‍ය වෘත්තීය ප‍්‍රතිපත්ති (ආචාරධර්ම) සංග‍්‍රහයයි.

x පූර්විකාව.

පුවත්පත් ප‍්‍රකාශන සමාගම්, කර්තෘවරු සසහ ඔවුන්ගේ පුවත්පත් කලාවේදීන්/වේදිනියන් මෙන්ම මුද්‍රිත සහ අන්තර්ජාල ලියුම්කරුවන්, කෙරෙහි බලපාන මේ මාධ්‍ය වෘත්තීය ප‍්‍රතිපත්ති සංග‍්‍රහය, ශී‍්‍ර ලංකා මාධ්‍ය නිදහස්ව ද පාඨක අවශ්‍යතා සහ අපේක්ෂා පිළිබඳ වගකීමෙන් හා සංවේදිතාවෙන් යුතුව ද පවත්වා ගැනීමත්  ඒ අතරම පුවත්පත් කලාවේ උසස්තම ප‍්‍රමිති ආරක්ෂා කිරීමත් අරමුණු කොට ගත්තකි.

මාධ්‍ය නිදහසට එරෙහිව ක‍්‍රියාත්මක වන විකෘති වාණිජත්වයෙන් හො පටු ආත්මාර්ථයේ අනිසි බලපෑමෙන් ද නිර්බාධකව නිරවද්‍යතාව හා වෘත්තීය අව්‍යාජත්වය උදෙසා දරන ප‍්‍රයන්තය ද පොදු ජන සුභ සිද්ධිය සඳහා ගවේෂණාත්මක පුවත්පත් කලාවේ උසස්තම සම්ප‍්‍රදාය සහතික කිරීම ද මේ මාධ්‍ය වෘත්තීය ප‍්‍රතිපත්ති සංග‍්‍රහයෙන් ප‍්‍රයත්න දැරේ. සිය ස්ථීර මත දැරීමේ හා ප‍්‍රකාශයට පත් කිරීමේ නිදහස පුවතත්පතටත්, පුවත්පත් කලාවේදීන්ටත්/වේදිනියන්ටත් හිමි වන අතරම අන්‍යයන්ගේ අදහස් කෙරෙහි නිසි සැලැකිලි දැක්වීමටත් සමාජය කෙරෙහි සිය වගකීම් පිළිබිඹූ කිරීමේ උත්සහයක යෙදීමටත් පුවත්පත් හා පුවත්පත් කලාවේදීහු වග බලා ගත යුත්තෝය.

මේ මාධ්‍ය වෘත්තීය ප‍්‍රතිපත්ති මාලාව, පුද්ගලයාගේ අයිතිය මෙන්ද කරුණු දැන ගැනීමට පොදු ජනතාවට ඇති අයිතිය ද ආරක්ෂා කරයි. ඒ අයිතිය ප‍්‍රකාශනයෙන් මෙන්ම හරයෙන් ද සම්පූර්ණයෙන්ම ආරක්සා විය යුතු අතරම පුද්ගල අයිතිය කෙරෙහි දැක්වෙන ගෞරවයට අදාලව එහි අන්තර්ගත වගකීම අන්කිසිවකට හිලවු වන තරමට පටු අන්දමින් හෝ පොදු ජන සුභ සිද්ධිය උදෙසා කෙරෙන ප‍්‍රකාශය වැළැකෙන තරමට පුළුල්ව හෝ නිර්වචනය නොවිය යුත්තේය.

පැමිණිලි විසඳීමේ දී කර්තෘවරුන්/වරියන් ශ‍්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම සමග ක්ෂණික සහයෝගිතාවෙන්කටයුතු කළ යුතුය. වෘත්තීය ප‍්‍රතිපත්ති මාලාව උල්ලංඝනය කර ඇතැයි නිගමනය වන සෑම ප‍්‍රකාශනයක්ම එම තීන්දුව නිසි ප‍්‍රමුඛතාවක් හා පුවත්පත් පැමිණිලි කොමිසම පිළිබඳ සඳහනක් සහිත සිරස්තලයක් ද ඇතිව පළ කල යුත්තේය.

x නිරවද්‍ය වාර්තාකරණය.

නිවැරැදිවත් විකෘතියකින් තොරවත් ප‍්‍රවෘත්ති පළ කිරීම ඡායාරූප හා වෙනත් අනුරූප නිවැරදිව සහ විකෘති කිරීමකින් තොරව පළ කිරීම සඳහා මාධ්‍ය, සාධාරණ පරෙස්සමකින් ක‍්‍රියා කළ යුත්තේය. සැලකිය යුතු සෑම අනුරූපමය ඩිජිටල් වෙනස් කිරීමකම ඒ බව සඳහන් කළ යුතුය.

වාර්තාවල නිරවද්‍යතාව, එය පළ කෙරෙන්නට කලින් සොයා බැලීම සඳහා කර්තෘවරුන් ඒ ඒ පුවත්පත් කලාවේදියෝත් සෑම සාධාරණ ප‍්‍රයන්තයක්ම දැරිය යුත්තෝය. එවැනි සොයා බැලීමක් ප‍්‍රායෝගිකව නොකළ හැකි අවස්ථාවක දී ඒ බව වාර්තාවෙහි සඳහන් කළ යුතුය.

කර්තෘවරුන්/වරියන්, බාහිර ලේඛකයන්/ලේඛිකාවන් ඇතුළු කාර්ය මණ්ඩලයත් අසත්‍ය හෝ නිවැරැදි නොවන බව තමන් දන්නා වූ ද එසේ යැයි විශ්වාස කිරීමට තමන්ට හේතු ඇත්තාවූ ද කිසිදු කරුණක් තහවුරු වන අන්දමින් පළ නොකළ යුත්තේය.

පොදු ජන සුභ සිද්ධිය සඳහා ගවේෂණාත්මක පුවත්පත් කලාවෙහි නියැලෙන ලෙස ප‍්‍රකාශන දිරිමත් කෙරේ.

විකෘති කිරීම් වලින් වැළකිය යුතුය. සුදුසු පරිදි ජනතාවගේ වෙනත් කටයුතු ආරෝපණය කර දැක්විය යුත්තේ අදාලත්වය අනුවය.
මාධ්‍ය, අර්ථ නිරූපන, අනුමාන සහ කරුණු පැහැදිලිව වටහාගත යුතුය.

x නිවැරදි කිරීම් හා සමාව අයැදීම.

වාර්තාවක් කරුණු අතින් වැරැදි යැයි කර්තෘට පෙනී යන අවස්ථාවකදී එය නිසි ප‍්‍රමුඛතාවක් හා යෝග්‍ය වන්නේ නම් සමා අයැදීමක් ද ඇතිව, එම නිවැරැදි කිරීම හා සමා අයැදීම පීඩිත පාර්ශවයේ කැමැත්තට පටහැනි වන අවස්ථාවක දී හැර, අනෙක් සෑම විටකදීම වහාම නිවැරැදි කළ යුත්තේය.

x පිළිතුරු දීමට අවස්ථා.

කරුණු අතින් සාවද්‍ය ප‍්‍රකාශන නිසා පුද්ගලයන්ගේ හෝ සංවිධානවල හෝ කීර්තියට, ගෞරවයට, නම්බුවට, හැඟීම්වලට, පෞද්ගලිකත්වයට හා නිලයට හානි සිදුවන්නේ නම්, ඒ ප‍්‍රකාශන වලට පිළිතුරු දීම සඳහා සාධාරණ හා යුක්ති සහගත අවස්ථාවක් ඒ පුද්ගලයනට හෝ සංවිධානවලට හො දිය යුත්තේය. 

වරද ගැන සමාව අයැදීම හෝ කනගාටුව පළ කිරීම වෙනුවට පැමිණිලිකරුගේ/පැමිණිලිකාරියගේ පිලිතුරට ප‍්‍රතිචාර දක්වන කතුවරු හෝ පුවත්පත් කලාවේදියෝ ඊට පිළිතුරු දීමේ තවත් අවස්ථාවක් අතෘප්ත පාර්ශවයට සලසා දීමට සූදානම් විය යුත්තෝය.

x රහස්‍ය මූලාශ‍්‍ර.

තොරතුරුවල රහස්‍ය මූලාශ‍්‍රය, එය අනාවරණය කිරීමේ අවසරය ඒ මූලාශ‍්‍රයෙන්ම නොලැබෙන තෙක් හෙළිදරව් නොකිරීමේ සදාචාරාත්මක වගකීමක් සෑම පුවත්පත් කලාවේදියෙකුටම/වේදිනියකටම ඇත්තේය.

x පොදු වාර්තාකරණය හා ලිවීම.

කම්පන හෝ හිත් වේදනා ඇති කරන ආකාරයේ සමාජ ප‍්‍රශ්න, එනම්, කෲරත්වය, ප‍්‍රචණ්ඩත්වය, මත්ද්‍රව්‍ය අපයෝජනය, දුෂ්ටත්වය, පරපීඩා/කාමුකත්වය, ලිංගික පීඩනය හා අශිෂ්ටත්වය ද යනාදිය පිළිබඳ කරුණු වාර්තා කිරීමේ දී ඊට සම්බන්ධ ඡුායාරූප හා චිත‍්‍ර, අවශ්‍ය සංවේදීතාවෙන් හා විචාර බුද්ධියෙන් යුතුව මෙන්ම පොදු ජන යහපත උදෙසා කරුණු ප‍්‍රකාශයට පත් කිරීම පිළිිබඳ තමන්ගේ වගකීමට යටත්ව ද ඉදිරිපත් කිරීමට පුවත්පත විශේෂයෙන් සැලැකිලිමත් විය යුත්තේය.

අපරාධ හා අපරාධ නඩු පිළිබඳ තොරතුරු හා වාර්තා කිරීමේදී ප‍්‍රකාශන නීතියෙන් හා පොදු ජන යහපත පිළිබඳ සාධකයෙන් ද යන දෙවිදියෙන්ම අවසර ලැබෙතොත් විනා එසේ නොවේ නම්, 

!. ලිංගික අපරාධවලට  ලක්වූවන්ගේ නම් හෙළිදරවු නොකළ යුතුය.
2. සාපරාධී වරදක් සම්බන්ධයෙන් චෝදනා ලත් වයස අවුරුදු 16 ට අඩු හා පෙර දඬුවම් නැති  කිසිදු                 බාලයෙකුගේ නම, කරුණු දැන දැනම අනාවරනය නොකළ යුතුය.  
3. අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා හෝ දඬුවම් හෝ ලැබූ පුද්ගලයෙකුගේ ඥාතීන්ගේ අනන්‍යතාවය ඔවුන්ගේ කැමැත්ත නැතිව හෙළිදරව් නොකළ යුත්තේය.

පුවත්පත් කලාවේදියෙක් දැන දැනම හෝ හිතාමතා හෝ ජනවාර්ගික හෝ ආගමික අසමගියට හෝ ප‍්‍රචණ්ඩත්වයට අනුබල නොදිය යුත්තේය. 

පුද්ගලයෙකුගේ වර්ගය, වර්ණය, ආගම හා ලිංගිකත්වය පිළිබඳවත් ශාරීරික හෝ මානසික රෝගාබාධ පිළිබඳවත් අගති සහගත හා අවඥා සහගත කරුණු සඳහන් කිරීමෙන් පුවත්පත් වැළැකිය යුත්තේය.

පුද්ගලයෙකුගේ වර්ණය, කුලය, ආගම, ලිංගික නැඹුරුතා ශාරීරික හෝ මානසික රෝගාබාධ පිළිබඳ විස්තරය, කතාවට සෘජුවම අදාළ වන්නේ නම් විනා, එසේ නැතිව ප‍්‍රකාශයට පත් කිරීමෙන්වැළැකිය යුත්තේය.

සිය දිවි නසා ගැනීම් වාර්තා කිරීමේදී, ඒ ජීවිත හානිය සඳහා යොදා ගැනුණු උපක‍්‍රමය පිළිබඳ පමණට වැඩි විස්තර ඉදිරිපත් නොකිරීම විය යුතුය.
   
x පෞද්ගලිකත්වය.

පුද්ගලයන්ගේ පෞද්ගලික හා පවුල් ජීවිත ඔවුන්ගේ ගේ දොර, සෞඛ්‍යය හා සහසම්බන්ධතා ද සංඛ්‍යාංක සන්නිවේදනය කෙරෙහි ගෞරවයක් දැක්වීමෙහිලා පුවත්පත් විශේෂ සැලැකිල්ලකින් ක‍්‍රියා කළ යුත්තේය. පෞද්ගලිකත්වයට ඇති මේ අයිතිය අදාළ පුද්ගලයන්ගේ කැමැත්තෙන් තොරව ආක‍්‍රමණය කිරීම සාධාරණීකරණය කළ හැක්කේ පොදු ජන සුභ සිද්ධිය ඒ සියල්ල ඉක්මවා යන්නේ නම් පමණකි.

පෞද්ගලිකත්වය පිළිබඳ සාධාරණ අපේක්ෂාවක් පවත්නා පෞද්ගලික හෝ පොදු තැනක සිටින පුද්ගලයන් ඔවුන්ගේ කැමැත්ත නැතිව ඡායාරූපගත කරනු සඳහා දිගු කාච සහිත හෝ වෙනත් ආකාරයක කැමරා භාවිතය, පොදු යහපත පිණිස නොවන්නේ නම්, එය පිළිගත නොහැක්කේය.

ශෝකය හෝ කම්පනය හා සම්බන්ධ සිද්ධි පිළිබඳ කරුණු විමසීමේදීත් ඒ සඳහා ඒවාට සමීපවීමේදීත් නිසි සංවේදීතාවෙන් හා ස්ථානෝචිත ප‍්‍රඥාවෙන් ද කටයුතු කිරීමට පුවත්පත් කලාවේදීහු විශේෂයෙන් සැලැකිලිමත් විය යුත්තෝය.

සිය පාසල් සමය අනවශ්‍ය අත පෙවීම්වලින් තොරව සම්පූර්ණ කර ගන්නට බාලයනට නිදහස තිබිය යුතුය. ළමයෙකුගේ පෞද්ගලික ජීවිතය හා සම්බන්ධ කරුණු ප‍්‍රකාශයට පත් කිරීම පිළිගත හැකි කාර්යයක් වනු ඇත්තේ ඔහුගේ හෝ ඇගේ පවුලේ හෝ භාරකරුගේ කීර්තිය, ප‍්‍රසිද්ධිය හා තත්ත්වය හැර අනෙක් කරුණක් පොදු ජන සුභ සිද්ධිය උදෙසා වන්නේ නම් පමණි.

පෞද්ගලිකත්වය ආක‍්‍රමණය කිරීමට එරෙහි තහංචි, රෝහල් වල හෝ සමාන වෙනත් ආයතන වල හෝ සිටින පුද්ගලයන් පිළිබ`ද විමසීම්වලට විශේෂයෙන් අදාළ වන්නේ එය පොදු ජන සුභ සිද්ධිය පිණිස වන්නේ නම් පමණි.
 
x   හිරිහැර හා කපටිකම්.

බිය වැද්දීමෙන් හෝ හිරිහැර කිරීමෙන් හෝ වැරැදි කරුනු ඉදිරිපත් කිරීමෙන් හෝ කපටිකමින් හෝ තොරතුරු හෝ ඡායාරූප ලබා ගැනීමට ඡායාරූප ශිල්පීහු ද ඇතුළු පුවත්පත් කලාවේදීහු තැත් නොකළ යුත්තෝය. පොදු ජන යහපත පිළිබඳ සාධකයෙන් සාධාරණීකරණය කළ නොහැකි නම් හා වෙනත් පිළිවෙළකින් තොරතුරු ලබා ගත හැකි නොවිණි නම් දිගු කාච, කැමරා හෝ ශ‍්‍රවණ උපකරණ, පුද්ගලික අන්තර් නිරෝධනය, ජංගම දුරකථන ඇමතුම්, විද්‍යුත් තැපෑල හෝ පිණිවිඩ භාවිතා නොකළ යුත්තෝය.

x වෘත්තීය ගෞරවය.

සෑම මාධ්‍යවේදියෙකුම අවංකත්වය සමග කටයුතු කළ යුතුය. සහ ඔවුන්ගේ කාර්යය ඉටු කිරීමේදී ගෞරවය ආරක්ෂා කිරීමට වගබලා ගත යුතුය.

අභිරුචිය පිළිබඳ ගැටුම් ඇති වන අවස්ථාවලින් වැලකිය යුතුය. 

තමා සම්බන්ධ යම් පුවතකට අදාළව සමීප පෞද්ගලික සබඳතා පවතීනම් හෝ තමන්ගේ ගෞරවයට හානිවන අන්දමට ත්‍යාග දීම හෝ ගැනීම හේතුවෙන් කිසියම් ගැටුම්කාරී තත්ත්වයක් වැළැක්විය නොහැකි වන්නේ නම්, පුවත්පත්කලාවේදීන්/වේදිනියන් විසින් ඒ බව තමන්ගේ කර්තෘට හෝ වගකිවයුතු ප‍්‍රධානියෙකුට හෝ දැන්විය යුතුය. 

එවැනි ගැටුමක් නොවැළැක්විය හැකි නම් එය සාමාන්‍යයෙන් පාඨකයාට අනාවරණය කළ යුතුය.

මේ සඳහා නීති පනවා නොමැති වුවත්, සාමාන්‍යයෙන් ප‍්‍රකාශයට පත්වීමට ප‍්‍රථමයෙන් තමන්ට ලැබෙන මූල්‍ය තොරතුරු වලින් තමන්ට ලැබෙන යහපත ගැන නොසලකා පුවත්පත්කලාවේදීන්/වේදිනියන් විසින් එවැනි තොරතුරු අනෙක් අයගේ යහපත සඳහා ලබා නොදිය යුතුය.

පුද්ගලයන් හෝ ඔවුන්ගේ පවුල්වල අය විසින් පවත්වාගෙන යනු ලබන කොටස් හෝ සුරැකුම්පත් හි සැලකිය යුතු මූල්‍ය ප‍්‍රතිලාභ ඇති බව හිමිකරුට (ප‍්‍රකාශකයාට), කර්තෘට හෝ මූල්‍ය කර්තෘට දැනුම්දීමකින් තොරව පුවත්පත් කලාවේදීන්/වේදිනියන් ඒ පිළිබඳව ලිවීම නොකළ යුතුය.

ව්‍යාපාරික හෝ කර්තෘ මණ්ඩල නොවන පාර්ශව මගින් ගෙවීම් හෝ වෙනත් ප‍්‍රතිලාභ දෙනු ලබන දැන්වීම් ප‍්‍රචාරණය හෝ ප‍්‍රවර්ධනය සඳහා ලියා ඇති ලිපි ලේඛනවල ඒබ ව පැහැදිලිවම සදහන් කළ යුතුය. කර්තෘ මණ්ඩල කාරණෘ වෙනුවෙන් ගෙවීම් ලැබීම හෝ භාර ගැනීම නොකළ යුතුය.

➤අර්ථ නිරූපණය.

”මහජන යහපත යනු, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය, අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස සහ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ජනතාව විසින් තෝරාපත්කර ගනු ලැබූ නියෝජිතයින් ගේ සහ රජයේ ක‍්‍රියාකලාප පිළිබඳව ජනතාව දැනුවත් කිරීම.”

මතු දැක්වෙන කරුණුද ඇතුළත් වේ. එසේ වුවත් එම කරුණුවලට සීමා වී නොමැත. 

1. අපරාධයක් හෝ තර්ජනය කිරීමක් සොයාගැනීම හෝ හෙළිදරව් කිරීම. 
2. පුද්ගලයෙකු හෝ සංවිධානයක් නෛතික බැඳීම් වලට අවනත වීමට අපොහොසත් වීම හෝ අපොහොසත් වන බව පෙනීයාම අනාවරණය කිරීම. 
3. යුක්තිය නොතකා හැරීම් අනාවරණය කිරීම.   
4. තදබල ලෙස නොහොබිනා කටයුතු වල යෙදීම, අචාරධර්ම වලට පටහැනි ලෙස හැසිරීම හෝ ජනතාව සම්බන්ධයෙන් නොහැකියාවෙන් ක‍්‍රියා කිරීම යන 
    වැදගත් කරුණු සඳහා ප‍්‍රසිද්ධ විවාද පැවැත්වීම හෝ දායකත්වය ලබාදීම.
5. සැඟවී සිටීම සැඟවී සිටීමට තැත් කිරීම හෝ ඉහත දැක්වෙන  ඕනෑම දෙයක්.   
6. මහජන සෞඛ්‍ය සහ සෞඛ්‍යාරක්ෂාව සහ සමාජ, සංස්කෘතික සහ අධ්‍යාපනික සම්මත ආරක්ෂා කිරීම.   
7. පුද්ගලයෙකු හෝ සංවිධානයක් මගින් යම් ප‍්‍රකාශනයක් හෝ ක‍්‍රියාවකින් මහජනතාව නොමග යැවීමෙන් ආරක්ෂා කිරීම.

කවර තත්ත්වයක් යටතේ වුව ද පොදු ජන සුභ සිද්ධිය අදාළ වන අවස්ථාවක දී එය යථා පරිදි ඉටු වී තිබේ ද යන වග පැහැදිලිව දක්වන සම්පූර්ණ විස්තරයක් ඉදිරිපත් කරන ලෙස කතුවරයාගෙන් හා/හෝ පුවත්පත් කලාවේදියාගෙන්/වේදිනියගෙන් ඉල්ලා සිටීමේ අයිතිය පුවත්පත් පැමිණිලි කොමිසමට ඇත්තේය.
   
         ➤අන්තර්ජාල ප‍්‍රකාශන.

මෙම වෘත්තීය ප‍්‍රතිපත්ති මාලාවේ විධිවිධාන පුවත්පතේ අන්තර්ජාල ප‍්‍රකාශනවලට ද අදාළ වන්නේය.

1. පුවත්පතේ, සඟරාවේ හෝ ස්වාධීන වෙබ් ප‍්‍රකාශනයේ කතුවරයා අවසානයේ දී වගකීම භාරගත යුතු අතර එහි කර්තෘ මණ්ඩල පාලනය සහ ප‍්‍රකාශයට පත්කිරීමට පෙර වෘත්තීය ප‍්‍රතිපත්ති මාලාවේ අඩංගු නියමනයට අනුකූල ද යන කරුණු දෙක ගැනම සැළකිලිමත් විය යුත්තේය.  
2. යොදා ගනු ලබන ලිපි ලේඛන පූර්ව සංස්කරණයකට භාජනය නොවිය යුතු අතර අන්තර්ජාල මාධ්‍ය හෝ අන්තර්ජාල මාධ්‍ය නොවන වෙත් මාධ්‍ය නියාමන ආයතන වලට සම්මතයනට අනුකූල බවට සහතික විය යුත්තේය.

       ➤සමාලෝචනය. 

ශ‍්‍රී ලංකා කර්තෘ සංසදයේ සාමාජිකයන්ගෙන්/සාමාජිකාවන්ගෙන් හා සංසදය විසින් පත් කෙරෙන එහෙත් සංසද සාමාජික නොවන්නන්ගෙන් ද සමන්විත වෘත්තීය ප‍්‍රතිපත්ති කමිටුවක උපදෙස් ඇතිව, ශී‍්‍ර ලංකා කර්තෘ සංසදය මෙම වෘත්තීය ප‍්‍රතිපත්ති මාලාවේ විධිවිධාන වරින් වර සමාලෝචනය නළ යුත්තේය.
පහත දැක්වෙන සංවිදාන මෙම ආචාරධර්ම පද්ධතියට සහයෝගය දැක්විය.

පුවත්පත් ප‍්‍රකාශකයන්ගේ සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ‍්‍රී ලංකා වෘත්තීය පත‍්‍ර කලාවේදීන්ගේ සංගමය, ශී‍්‍ර ලංකා පුවත්පත් ආයතනය, ශී‍්‍ර ලංකා ජනමාධ්‍ය විද්‍යාලය, ශී‍්‍ර ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, ශී‍්‍ර ලංකා ද්‍රවිඩ මාධ්‍ය සංවිධානය, දකුණු ආසියා නිදහස් මාධ්‍ය සංගමය (ශී‍්‍ර ලංකා පාර්ශවය).

සංශෝධනය 2014

දෙවන මුද්‍රණය 2015 මැයි මස


සටහන - ඔමායා කෝවිලගොඩගේ.
SC/MAMM/2018/2019/24

0 comments:

Post a Comment