Pages

Thursday, April 11, 2019

ෆේස්බුක් ඔස්සේ අනාවරණය වන ක්‍රිකට් ලෝලීන්ගේ කණස්සල්ල






ෆේස්බුක් ඔස්සේ අනාවරණය වන ක්‍රිකට් ලෝලීන්ගේ කණස්සල්ල


- Chanika Athauda


  ක්‍රිකට් මෙරට ආගමක් බවට පත් වූයේ 1996 ලෝක කුසලානය දිනා  ගැනීමත් සමඟය. එය එදින සිට ක්‍රමක්‍රමයෙන් වර්ධනය වූවා මිස අවප්‍රමාණය වීමක් දක්නට නොලැබුණි. සිය කුඩා දරුවා ක්‍රිකට් තරුවක් කිරීමේ සිහිනය දකින සුවහසක් දෙමව්පියෝ මෙරට සිටී. සිය පුත්‍රයාගේ ක්‍රිකට් ආම්පන්න රැගත් බෑගයද රැගෙන, අනෙක් අතින් දරුවාද රැගෙන අපහසුවෙන් පිය මනින මව්වරු ඕනෑ තරම් ක්‍රිකට් පුහුණු පාසල් අසල දක්නට ලැබේ. අධ්‍යාපනයෙන් ඉදිරියට යෑමට නොහැකි නම්, ක්‍රිකට් ක්‍රීඩාවෙන් හෝ සිය දරුවාට පැහැබර අනාගතයක් සකසා දීම ඔවුන් දකින සිහිනයයි. මහමගට බට ඕනෑම අවස්ථාවක කුඩා දරුවන් පමණක් නොව වැඩිහිටියන් පවා ක්‍රිකට් ක්‍රීඩා කරන අයුරු දක්නට ලැබේ. 





හතර සීමාව සටහන් කළ විශාල ක්‍රීඩාංගණයක්, විකට් කූරු, ලෙදර් පන්දු එවැනි කිසිවක් නොමැතිව වුවද ඔවුන් තරග ක්‍රීඩා කරයි. ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙන කාලයකදී නිවෙස්වල ඇති රූපවාහිනියකින් එම ක්‍රිකට් තරග හැර ටෙලි නාට්‍යයක් හෝ වෙනත් වැඩසහටනක් නැරඹීමට අවස්ථාව හිමි වන්නේ අතලොස්සකට පමණි. ඒ තරමට සෑම නිවෙසකම ‘ක්‍රිකට් පිස්සෙක් ‘ හෝ ‘ක්‍රිකට් පිස්සන් රාශියක්’ සිටී. එය කාන්තා, පිරිමි ලෙස වෙනසක් වන්නේද නැත. ඇතැම් නිවෙස්වල ක්‍රිකට් තරගවලට කැමැත්තක් දක්වන කාන්තා පාර්ශවයද දැකිය හැකිය. ක්‍රිකට් මෙරට පොදු ආගම බවට පත්ව ඇත්තේ එලෙසය.



කණ්ඩායම ජය ලබන සෑම අවස්ථාවකදීම සතුටු වීමටත්, ඔවුන් ලබන පරාජයකදී  තමන්ට සිදු වූ විපතක් සේ සලකා කණගාටු වීමටත් මෙරට ක්‍රිකට් ලෝලීන්ට අමුතුවෙන් පුරුදු පුහුණු කළ යුතු නැත. කෙසේ නමුත් මෑතක් වන තෙක් ක්‍රීඩා ලෝලීන්ට සිය අදහස් පළ කිරීමට මාධ්‍යක් නොතිබූ බව වැටහෙන්නේ වර්තමානයේ මෙරට  ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ඔස්සේ ක්‍රීඩා ලෝලීන් ඉදිරිපත් කරන අදහස් සමඟය. තරගයක් අවසන් වී සුළු වේලාවෙකින් ෆේස්බුක් ඔස්සේ ක්‍රීඩා ලෝලීන් සිය අදහස්, විචාර, චෝදනා, යෝජනා ආදිය ඉදිරිපත් කරයි. මෙරට ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව ක්‍රීඩා ලෝලීන් තුළ පවතින දැඩි උන්දුව එම විවිධ සටහන් මඟින් ප්‍රකට වේ. ඇතැම් විට තරගය අවසන් වීමට පෙරදීද එවන් ප්‍රකාශ දක්නට  ලැබේ.  පහසුවත්, සරළ බවත්, තමා කැමති භාෂා රටාවකින් තමා කැමති අදහසක් ඉදිරිපත් කළ හැකි වීමත් එවන් ෆේස්බුක් සටහන් ඉහළ යෑමට හේතු වූවා විය හැකිය. 
   


  එමෙන්ම, කිසියම් පුද්ගලයෙක්ට සෘජුවම සිය අදහස් ප්‍රකාශ කිරීමේ අකමැත්තක් ඇත්නම්, සිය අනන්‍යතාවය සඟවාගෙන අදහස් ඉදිරිපත් කිරීමේ හැකියාව ද ෆේස්බුක් තුළ පවතී. ෆේස්බුක් යනු සිය මුහුණ වෙස් මුහුණකින් ආවරණය කරගෙන ලෝකය දෙස බැලීමක් ලෙසටද දැක්විය හැකිය. මෙම අනන්‍යතාව සඟවා ගැනීමට ඇති හැකියාව හේතුවෙන්ම විවිධ පුද්ගලයින්ට අපහාස උපහාස එල්ල වන ආකාරයේ ප්‍රකාශද සංසරණය වන අවස්ථා දක්නට හැකිය. පසුගිය සමයේ ශ්‍රී ලංකා කණ්ඩායම තරගවලින් පරාජය වූ අවස්ථාවලදී ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ හිටපු නායක දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස් ඉලක්ක කර ගනිමින් ප්‍රචාරය වූ ෆේස්බුක් සටහන් විශාල ප්‍රමාණයක් දක්නට ලැබුණි. 






කෙසේ හෝ චන්දිමාල්ට නායකත්වය අහිමිවීමට දක්ෂතාවලින් පසුබැසීම පමණක් නොව එවන් සමාජ මාධ්‍ය සටහන්ද වක්‍රාකාරයෙන් හෝ හේතු වූ බවට විටෙක අනුමාන කළ හැකි අවස්ථාද දක්නට ලැබේ. 


  මෑත කාලයේදී ප්‍රේක්ෂකයින්ගේ අප්‍රසාදය වැඩි වශයෙන්ම එල්ල වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයා වන්නේ කුසල් මෙන්ඩිස් ය. ඔහු තරග රැසකදී පිතිකරුවෙකු ලෙස මෙන්ම කඩුලු රකින්නෙකු ලෙසද අසාර්ථක වූ අවස්ථාවලදී ක්‍රීඩා ලෝලීන් මෙන්ඩිස්ට සිය අප්‍රසාදය පළ කළා පමණක් නොව ඔහුව සරදමට ලක් කළ අවස්ථාද ෆේස් බුක් ඔස්සේ දක්නට ලැබුණි. 

  කෙසේ නමුත් ෆේස්බුක් ඇතුළු මෙම සමාජ මාධ්‍යවලින් ප්‍රචාරය වන එවැනි සටහන් හමුවේ ක්‍රීඩකයින්ද පීඩනයට පත්වූ බවට පසක් වන අවස්ථා ද ඇත. ශ්‍රී ලංකා කණ්ඩායමේ නිමා වූ දකුණු අප්‍රිකා කණ්ඩායමේ ටෙස්ට් තරගයක් අවසානයේදී කුසල් මෙන්ඩිස් රූපවාහිනි ඔස්සේ සමාජ මාධ්‍ය ඔස්සේ තමාට එල්ල වූ ප්‍රහාර පිළිබඳව අදහස් දැක්වීම ඉන් එක් අවස්ථාවකි. 





  කෙසේ නමුත් පිතිකරුවෙකු ලෙස අසාර්ථක වී සිටි ඔහු එම තරගයේදී ලකුණු අතරට පිවිසීමට සමත් වුවද, ක්‍රීඩකයෙකු ලෙස තමා සතු විය යුතු ඉවසීම සහ අන්‍යන්ට ගරු කිරීමේ ගුණය, හික්මීම වැනි ගුණාංගවල නිසරු භාවය ප්‍රකට කිරීමට එම හැසිරීම සමත් විය. ක්‍රිකට් යනු ක්‍රීඩා පිටියක් මැදට පැමිණ තනිවම ක්‍රීඩා කළ හැක්කක් නොවන බවටත්, සුවහසක් ක්‍රීඩා ලෝලීන්ගේ සහය තමාට හිමි විය යුතු බවටත්, ඔවුන්ගේ ආදරය සහ ගෞරවය දිනා ගැනීමට තරම් තමන් නිරහංකාර විය යුතු බවටත් අත්දැකීම්වලින් මෙන්ම වයසින්ද මුහුකුරා නොගිය මේ තරුණ ක්‍රීඩකයා අවබෝධ කරගෙන නොසිටින්නට ඇත. කෙසේ නමුත් ඉන් අනතුරුව සිදු වූයේ ඔහු මෙරට ක්‍රීඩා ලෝලීන් ඉදිරියේ තව දුරටත් විහිලුකාරයෙක් බවට පත් වීමය.






  සමාජ මාධ්‍ය හේතුවෙන් ක්‍රීඩකයින් පීඩනයට පත්ව සිටින බවට තවත් නිදසුනක් අනාවරණය වන්නේද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිමා වූ දකුණු අප්‍රිකා තරග සංචාරයේදීමය. 



ටෙස්ට් තරග ජයග්‍රහණයෙන් අනතුරුව ක්‍රීඩකයින් ක්‍රීඩාගාරයේ එය සැමරූ අවස්ථාවකදී වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් සිය ප්‍රධාන පුහුණකරු වූ චන්දික හතුරුසිංහ මහතාට සහය පළ කරමින් සිදු කළ කතාව ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ උණු කැවුම් මෙන් ප්‍රචාරය විය. එහිදී ලක්මාල් අසභ්‍ය වචනයෙන් මෙරට ක්‍රීඩා ලෝලීන්ට අපහාස කරන ආකාරයද දැක් වුණු අතර, ඉන් අනතුරුව ඔහුට ෆේස් බුක් ඔස්සේ එල්ල වූයේ ගල් වරුසාවකි. 


  

  ක්‍රීඩකයින් මෙවැනි අවස්ථාවලදී ඉතා වගකීමකින් යුතුව මෙන්ම, අවබෝධයකින් යුතුව කටයුතු කළ යුතුය. ලක්ෂ ගණක ක්‍රිකට් ක්‍රීඩකයින් අතරින් රටක් නියෝජනය කිරීමේ වරම හිමි වන්නේ ක්‍රීඩකයින් 11 දෙනෙකුට පමණි. එම 11 දෙනා අතරට පිවිසීමත් සමඟ ඔවුන් පෙර නොවූ විරූ අන්දමේ ධනස්කන්ධයකට හිමිකම් කීමේ වරම උදා කර ගනී. ජනප්‍රියත්වය හිමි වේ. සමාජයේ පිළිගැනීමක් හිමි වේ. මේ සියල්ල හිමි වීමට ප්‍රධාන හේතුව අන් කිසිවක් නොව, ක්‍රිකට් ලෝලී ජනතාව මෙරට තුළ  සිටීම බවට ක්‍රීඩකයින්ද වටහා ගත යුතුය. ක්‍රීඩා ලෝලීන්ගේ සහය නොමැතිව තමන්ට හුදකලාව ගමන් කළ නොහැකි බවට ක්‍රීඩකයින් වටහා ගන්නේ නම්, ඔවුන් තව දුරටත් මෙරට ප්‍රධාන විහිලුකරුවන් බවට පත් නොවනු ඇත.


  කුඩා ෆේස්බුක් සටහනක් විප්ලවීය වෙනසක් සිදු කළ හැකි මෙවලමක් බවට පත්ව ඇති බවට පසක් වන්නේ, මෙරට ක්‍රීඩා අමාත්‍යවරයා පවා උත්සව අවස්ථා, රූපවාහිනී වැඩසටහන් ආදියේදී සමාජ මාධ්‍ය පිළිබඳව අදහස් පළ කිරීම තුළිනි. විටෙක ඔහු පැවසූවේ, ‘ ෆේස්බුක්වලට ඕන විදිහට කණ්ඩායම වෙනස් කරන්න බැහැ. පුහුණුකරු වෙනස් කරන්නත් බැහැ. මේකට ක්‍රමයක් තියෙනවා’’ යනුවෙනි. තවත් අවස්ථාවකදී ඔහු සඳහන් කරන්නේ, සමාජ මාධ්‍යවලින් එල්ල වන ප්‍රහාර කෙරෙහි අවධානය යොමු නොකර සිය ක්‍රීඩා කටයුතු කෙරෙහි අවධානය යොමු කිරීමට ක්‍රීඩකයින් උත්සාහ කළ යුුතු බවටය.  




  මෙරට හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු පමණක් නොව තේරීම් කමිටු නිලධාරියෙකුද වන අරවින්ද ද සිල්වා සහභාගී වූ උත්සවයකදී ඔහුද ඒ හා සමාන අදහසක් දැක්වීය. තමා හමුවීමට එන නවක ක්‍රීඩකයින්ට ලබා දෙන අවවාද අතරට ෆේස්බුක් ප්‍රකාශවලින් මානසික පසුබෑමකට ලක් නොවී සිටීමේ උපදේශයද ඇතුලත් බවට අරවින්ද පැවසීය. ෆේස්බුක් ඒ තරමටම ක්‍රීඩකයින්ටද පීඩනයක් එල්ල කර ඇති බවට ඉන් ඉඟි පළ වේ. 







  හිටපු ප්‍රධාන ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම නවක ක්‍රීඩකයින්ගේ සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳව අප්‍රසාදයෙන් අදහස් පළ කළ අවස්ථා ද ඇත. කණ්ඩායමට සාමාජිකයන් තේරීමේදී පවා වක්‍ර බලපෑම් එල්ල කිරීමට තරම් මෙම ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවලට හැකියාවක් ඇති බවට නිදර්ශන ඉදිරිපත් වූ අවස්ථා තිබේ. සමස්ථයක් ලෙස ගත් කළ මෙරට ක්‍රිකට් ක්‍රීඩකියන් පමණක් නොව ක්‍රීඩා පරිපාලකයින් පවා මෙම ෆේස්බුක් සටහන් මඟින් තේරුම් ගත යතු එක් කරුණක් ඇත. නූතන තාක්ෂණය හමුවේ තවදුරටත් මෙරට ක්‍රිකට් ලෝලියා මීට වසර 20කට 30කට පෙර සිටි පුද්ගලයා නොවන බවටය. ඔවුන් තවදුරටත් ක්‍රීඩකයින්ගේ තරග දෙස බලා සිටීමෙන් පමණක් සෑහීමකට හෝ කණස්සල්ට පත්ව එය තමන් තනිව විඳ දරා ගන්නා පුද්ගලයින් නොවේ. ක්‍රීඩකයින්ගේ දුර්වලතා හමුවේ එය සෘජුව ප්‍රකාශ කිරීමට සිය ජංගම දුරකථනයෙන් සන්නද්ධ පුද්ගලයින් වේ.  




ආයුධවලින් සන්නද්ධ වූවන්ට වඩා මෙම ක්‍රීඩා ලෝලීන්ගේ ෆේස්බුක් සටහන් ඔස්සේ එල්ල වන ප්‍රහාර බලවත්ය. ඒ බව ක්‍රීඩකයින් වටහා ගත යුතුය. ඒ සමඟම ඔවුන් වටහා ගත යුතු සැඟවුණු කරුණක් ඇත. ඒ, ක්‍රීඩා ලෝලීන් එලෙස සන්නද්ධ වන්නේ අන් කිසිවක් නිසා නොව ඔවුන් තවමත් ක්‍රිකට් ක්‍රීඩාවට අප්‍රමාණ කැමැත්තකින් සහ උන්මාදයකින් පසුවන නිසා බවය. 






Chanika Athauda
:( SC/MAMM/2018/2019/13/ATHAUDA C.M.K )

:Online Media (MMMM 623 MMS 133 )


2 comments:

ඩීජේ said...

මුංගේ පෆෝමන්ස් බලලා ගෙවීම් කරන් නැත්තන් හැමදාම ඔහොම තමයි.

CHANI said...

ඩීජේ thank you for ur comment..

Post a Comment