Pages

Tuesday, April 9, 2019

ට්විටර් සහ නූතන දේශපාලනය ( The Relationship Between Modern Politics & Twitter )

ට්විටර් සහ නූතන දේශපාලනය
( The Relationship Between Modern Politics & Twitter )

- Chanika Athauda 


  නූතන දේශපාලනයට නව මාධ්‍යයෙහි සක්‍රීය දායකත්වයක් වර්ධනය වෙමින් පවතී. ලංකාව වැනි රටවල පවා මේ වන විට දේශපාලනඥයින් මට්ටු කිරීමේ අපූරු මෙවලමක් බවට මෙම නව මාධ්‍ය පත් වෙමින් පවතී. නීතිය ඉදිරියේ දණ නොගැසූ දේශපාලනඥයින් කුඩා ස්මාර්ට් දුරකථනයක් අතැති කොලු ගැටයෙක් ඉදිරියේ පසු බසින අවස්ථා දක්නට ලැබේ. රාජ්‍ය නිලධාරීන්ට, ආරක්ෂක නිලධාරීන්ට පමණක් නොව තමන්ට බලය දුන් ජනතාවටද චන්ඩිකම් කළ දේශපාලනඥයින් මේ කුඩා ජංගම දුරකථනය අබියස තවදුරටත් චන්ඩියන් නොවේ. ඉතා කෙටි කලක් තුළ නව මාධ්‍ය එලෙස විශාල බල පරාක්‍රමයක්  ගොඩනඟා ගත්තා පමණක් නොව, සියලු දෙනාටම අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව ඇත.

   දේශපාලනඥයින් මෙම නව මාධ්‍යවල බලය සහ එයින් තමාට ලබා ගත හැකි ශක්තිය  පිළිබඳ අවබෝධ කර ගන්නේ මීට දශයකට දෙකකට පෙර සිටය. නව මාධ්‍ය දේශපාලන ක්ෂේත්‍රයේ අද අත්පත් කරගෙන සිටින ස්ථානය සඳහා වූ මෙහෙයුම ඇරඹෙන්නේ 90 දශකයේදීය. කෙසේ නමුත් මේ වන විට සෑම දේශපාඥයෙකුටම සමාජ මාධ්‍ය අත්‍යාවශ්‍ය වන තත්වයට පත්ව ඇත. අතීතයේදී පෝස්ටර් ව්‍යාපාර, දේශපාලන රැස්වීම්, ගුවන් විදුලි දැන්වීම්, රූපවාහිනී දැන්වීම් ආදී විවිධ ක්‍රම මගින් දේශපාලන සන්නිවේනය සිදු විය. නමුත් වර්තමානය වන විට එම සීමා අභිබවා යමින් සිය දේශපාලන සන්නිවේදනයේ ප්‍රධාන මෙවලම ''සමාජ මාධ්‍ය වන තත්වයට දේශපාලනඥයින් විසින්ම පත් කරගෙන ඇත.

  දේශපාලනය, මහජනයා හා මාධ්‍ය අතර තොරතුරු සන්නිවේදනය වන ක්‍රියාවලිය දේශපාලන සන්නිවේදනයයි. එනම් දේශපාලන සන්නිවේදනය තුළ ප්‍රධාන පාර්ශව තුනක් සිටී.

* දේශපාලන සංවිධාන ( Political Organization)
* මාධ්‍ය ආයතන    ( Media )
* පුරවැසියෝ  ( Citizens )

  දේශපාලන සංවිධාන යටතට පක්ෂ, මහජන සංවිධාන, පීඩනයක් ඇති කළ හැකි පාර්ශව, ත්‍රස්තවාදී කණ්ඩායම් සහ රජය යන පාර්ශව අන්තර්ගත වේ. මෙම සියලු පාර්ශව අතර සිදුවන සන්නිවේදනය දේශපාලන සන්නිවේදනය නම් වූ ප්‍රධාන කුලකයේ අනු කුලක වේ.
 

  සමාජ මාධ්‍ය මැතිවරණ ව්‍යාපාරයකට යොදා ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීමේදී ඇමෙරිකාවේ මැතිවරණ ව්‍යාපාර පිලිබඳව අවධානය යොමු කිරීම අත්‍යාවශ්‍ය වේ. එහිදී මැතිවරණ ව්‍යාපාරයට සමාජ මාධ්‍ය යොදා ගැනීම ක්ෂණික ක්‍රියාවක ප්‍රතිඵලයක් නොවන අතර එය දිගු කලක් පැවැති ක්‍රියාදාමයක ප්‍රතිඵලයකි. 1992 වසරේදී අමෙරිකා මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය නව මානයකට යොමු කළ වසරක් විය. ඒ රූපවාහිනී ප්‍රසිද්ධ විවාද හඳුන්වාදීමත් සමඟය. ඊට සමගාමීව නව ආකාරයක මැතිවරණ ප්‍රචාරණයක්ද හඳුන්වා දුණි. ඊට පෙර එම තත්වය තිබු‍ණේ පෝස්ටර්, දැන්වීම් පත්‍රිකා, ගුවන් විදුලිය ආදියටය. නමුත් 1992 මැතිවරණයේදී නව ආකාරයක මැතිවරණ ව්‍යාපාර දියත් විය. එහිදී වඩාත් ඉහළ භූමිකාවක් රඟ දැක්වූයේ ''බිල් ක්ලින්ටන්'' මහතාය. ඔහු ''ලැරි කිංග් ලයිව්'' නම් උදෑසන වැඩසටහනට, එම්.ටී.වී නම් වූ නාලිකාව ඉදිරිපත් කළ වැඩසටහනට පමණක් නොව රාත්‍රී රූපවාහිනී වැඩසටහනකටද එක් විය. එම රාත්‍රී රූපවාහිනී වැඩසහටනේදී ක්ලින්ටන් වාදකයෙකු ලෙස සැක්සෆෝනය වාදනයටද එක් වූ අතර එය ඉන් අනතුරුව ගීත දර්ශක ආදියටද ඇතුළත් විය. එම වසරේදී ඇමෙරිකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ''රොස් පෙරට්'' ( Ross Perot ) නම් ව්‍යාපාරිකයාද සාර්ථක මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කළේය. ''ලැරී කිංග් ලයිව්'' වැඩසටහනට ඔහුද එක් විය. එයද බොහෝ දෙනකෙුගේ අවධානයට ලක් වූ අතර  සී.එන්.එන් රූපවාහිනිය සිදු කළ සමීක්ෂණයකදී ඉදිරියෙන් සිටියේද රොස් පෙරට් ය. සමාජ මධ්‍ය දේශපාලන සන්නිවේදයට යොදා ගැනීම සඳහා ඇමෙරිකාවෙන්  සැලසුම් නිර්මාණය වන්නේ ඉහත තත්වයෙන් අනතුරුවය.


 1992 මැතිවරණ ප්‍රචාරන ව්‍යාපාරයේදී බිල් ක්ලින්ටන් සැක්සෆෝනය වාදනය  කළ අයුරු

  1992 ඇමෙරිකා මැතිවරණ ව්‍යාපාරය හැඳින්වෙන්නේ  ''Old Media, New Politics '' ලෙසයි. එහිදී රාත්‍රී ගුවන් විදුලි සහ රූපවාහිනී වැඩසටහන්පුවත් සඟරා, MTV හෙවත් සංගීතය මුල් කරගත් නාලිකා, මුද්‍රිත මාධ්‍යරූපවාහිනී ටැබ්ලොයිඩ් වැඩසටහන් ආදිය යොදා ගැණිනි.


1992 වසරේ සිට ඇමෙරිකා මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාර සඳහා වෙන් කළ මුදල් ප්‍රතිශත ලෙස

  1992 වසරේදී ඇමෙරිකා මැතිවරණයට අන්තර් ජාලයේ කිසිදු දායකත්වයක් නොවීය. එය 1996 වසර වන විට 3%ක් විය. ක්‍රමයෙන් වර්ධනය වූ එය 2007 වසර වන විට 47%ක් දක්වා වර්ධනය වී ඇත. 2008 වසරේ ඇරැඹි ඇමෙරිකා ජනාධිපතිවරණ ව්‍යාපාරය නව මාධ්‍ය වැඩි වශයෙන් යොදා ගත් මැතිවරණයයි. වෙබ් අඩවි, බ්ලොග්, වීඩියෝ වෙබ් අඩවි, වැනි ඒවා මඟින් බොහෝ සමාජ සුභ සාධන ව්‍යාපාර ද දියත් විය. එම මැතිවරණයේදී තොරතුරු හුවමාරු කළ ප්‍රධාන සන්නිවේදන මාධ්‍ය බවට පත් වූයේ නව මාධ්‍යයි. එහිදී සමාජ මාධ්‍යවලට ද ප්‍රධාන ස්ථානයක් හිමි විය. එමෙන්ම දේශපාලනඥයෝද නව මාධ්‍ය කෙරෙහි යොමුවන අයුරු දක්නට ලැබේ. පුවතපත් වැනි සාම්ප්‍රදායික මාධ්‍යවලට වඩා මෙම නව මාධ්‍යවලට තරුණ ප්‍රජාවගේ වැඩි කැමැත්තක් හිමිවීමත්, එය වඩා පහසුදායක වීමත් වැනි හේතු නිසා එම නව මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මැතිවරණ ව්‍යාපාරවලදී වඩාත් ජනප්‍රිය විය. මහජන මතය විමසීම, සමීක්ෂණ ආදියටද නව මාධ්‍ය යොදා ගැනීම ඇරැඹීමත් සමග සාම්ප්‍රදායික මාධ්‍යවලට සාපේක්ෂව ඊට යොමු වන පිරිස වැඩි විය. මෙම නව මාධ්‍ය වැඩසටහන්වලට වඩාත් දායක වූයේ තරුණ ප්‍රජාව සහ බුද්ධිමත් පිරිසය. 




1996 - 2006 කාල පරාසය වන විට වෙබ් අඩවිඊමේල් හෙවත් විද්‍යුත් තැපෑල කතිකාවත්බ්ලොග් අඩවි ආදී නව මාධ්‍ය අංග ඇමෙරිකාවේ මැතිවරණ ප්‍රචාරණයට එක් විය.


  නව මාධ්‍ය තුළ ( Microblogging) හෙවත් කෙටි පණිවුඩ ක්‍රමවේදය අතිශය ජනප්‍රිය වී ඇත. එය ස්වභාවයෙන්ම කෙටි පණිවිඩයක් වීම නිසා පැහැදිලව ග්‍රහණය කර ගැනීමට හැකි වීම ඊට එක් හේතුවක් විය හැක. ඡායාරූප, වීඩියෝ දර්ශන යනාදිය ද ඇතුලත් කළ හැකි නිසා තේරුම් ගැනීම තවත් පහසු වී ඇත. මෙම ක්‍රමයේ වාසි කිහිපයකි. අවම කාලයක් තුල සන්නිවේදනය සිදු කළ හැකි වීම, ජංගම දුරකථන ඔස්සේද භාවිත කළ හැකි නිසා පහසුදායකය, තොරතුරු ප්‍රචාරය කිරීම ( share ) පහසුය, අනුගාමිකයන් ( Followers) රැසක් සිටින නිසා එක වර විශාල පිරිසකට තොරතුරු සන්නිවේදනය කළ හැක. මහජනතාවගේ අදහස් සෘජුවම ලබා ගැනීමට හැකි වීම නිසා වෙනත් සමීක්ෂණ ආදියට යන පිරිවැය අවම වීම වැනි වාසි මෙම Microblogging තුළ දක්නට ලැබේ. වර්තමානයේ වඩාත් ප්‍රචලිත Microblogging වන්නේ Twitter  හෙවත් ට්විටර් පණිවුඩ ක්‍රමයයි.


  ලොව ප්‍රබලම රාජ්‍ය වන ඇමෙරිකාවේ ජනාධිපතිවරයා පවා සිය මැතිවරණ සමයේදී යොදා ගත් ප්‍රධාන ක්‍රමය වූයේ මෙම ට්විටර් පණිවිඩ ක්‍රමයයි.


ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම 



ඇමෙරිකාව තුළ යොවුන් ප්‍රජාව දේශපාලනය දෙසට යොමු කිරීමටඔවුන්ට ඒ පිළිබඳව උනන්දුවක් ඇති කිරීමට සමාජ මාධ්‍ය ඉවහල් වී ඇත. යොවුන් ප්‍රජාව වෙනුවෙන් ඇප් වර්ග හඳුන්වාදීම ආදිය මඟින් ඔවුන් වෙත දේශපාලන සන්නිවේදන කටයුතු සිදු කළ හැක. ස්මාර්ට් ජංගම දුරකථන, ගූගල්, ට්විටර් වැනි සමාජ මාධ්‍ය ආදිය  ඇමෙරිකාවේ යොවුන් ප්‍රජාව තුළ දේශපාලනය කෙරෙහි සැලකිය යුතු මට්ටමින් උනන්දුවක් ඇති කිරීමට හේතු වී තිබෙන බවට විවිධ සමීක්ෂණ වාර්තා සනාථ කෙරයි. සමීක්ෂණ ආදියටද ( මත විමසීමට ) සමාජ මාධ්‍ය යොදා ගත හැකි නිසා සාම්ප්‍රදායික මත විමසුම් ක්‍රමවලට මැළි කමක් දක්වන යොවුන් ප්‍රජාව ආකර්ෂණය කර ගැනීමට හැකි වී තිබේ.  2011 සිට 2015 වසර දක්වා චිකාගෝ විශ්ව විද්‍යාලයේ සිදු කළ අධ්‍යයනයක් මඟින් යොවුන් සහ තරුණ ප්‍රජාවගේ දේශපාලන අදහස් ලබා ගැනීමේදී වඩාත්ම සාර්ථක මාධ්‍ය සමාජ මාධ්‍ය බවට තහවුරු වී තිබේ.


  ඇමෙරිකා ජනාධිපතිවරණයෙන් අනතුරුව ඉහළම මුදලක් වැය කළ මැතිවරණය ලෙස සැලකෙන්නේ 2014 වසරේදී පැවැති ඉන්දීය මහ මැතිවරණයයි. වත්මන් අග්‍රාමාත්‍ය ''නරේන්ද්‍ර මෝදි'' ඇතුළු භාරතීය ජනතා පක්ෂයේ ජයග්‍රහණය උදෙසා දැවැන්ත ප්‍රචාරණ වැඩසටහනක් ක්‍රියාත්මක විය. එහිදී මෝදි වෙනුවෙන් ඉතා පරීක්ෂාකාරී ලෙස සැලසුම් කළ සම්ප්‍රචාරණ වැඩසටහනක් (      Propaganda ) දියත් විය. ඊට සාම්ප්‍රදායික පුවත්පත්, ගුවන් විදුලි සහ රූපවාහිනී මාධ්‍යවලට අමතරව සමාජ මාධ්‍ය යොදා ගැනීම, අරමුදල් සම්පාදනය, ඩිජිටල් රැලි ආදියද යොදා ගැනුණි. මෙහිදී මහජන සම්බන්ධතාව ඉහළ නැංවීම කෙරෙහි වැඩි අවධානයක් යොමූ වූ අතර බාල, තරුණ, මහලු, ස්ත්‍රී සහ පුරුෂ යනාදී විවිධ පාර්ශව ඉලක්ක කර ගනිමින් පුළුල් ප්‍රචාරණයක් දියත් විය. ඊට සාම්ප්‍රදායික රැස්වීම් ආදිය මෙන්ම සමාජ මාධ්‍යද බහුල ලෙස යොදා ගැනුණි. 


ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ට්විටර් ගිණුම


ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ට්විටර් ගිණුම


 එහිදී ෆේස්බුක් පමණක් නොව ට්විටර් පණිවිඩ ද බහුල ලෙස යොදා ගන්නා ලදි. ''නරේන්ද්‍ර මෝදි''ගේ මැතිවරණ ව්‍යාපාරයේ වඩාත් වැදගත් අංගයක් ලෙස දැක්වෙන්නේ ඔහු තමන්ට ලැබෙන ට්විටර් පණිවිඩ ආදියට පිළිතුරු සැපයීමයි. ඔහු බොහෝ විට සුප්‍රසිද්ධ නළු නිළියන්, ක්‍රීඩකයින් වැනි ඉන්දීය ජනතාව තුළ ප්‍රසාදයක් දිනූ පුද්ගලයින්ගේ ටුවිටර් පණිවිඩවලට ප්‍රතිචාර දැක්වීම ද දැක ගැනීමට හැකිය. එනම් තමන් ඉන්දීය ජනතාව මෙන්ම ඔවුන් හා සමාන ගති පැවතුම්වලින් පිරි කලාවට, ක්‍රීඩාවට ඇල්මක් දක්වන පුද්ගලයකු බවට මෙහිදී ජනතාව තුළ මතයක් ඇති කරවන ලදී. මෙතුළින්ද ඔහු ජනතාව වෙත ආකර්ෂණය වීමට උත්සාහ කළ බවක් පෙනේ. මෝදිගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා ඇමෙරිකා ඩොලර් මිලියන 700ක මුදලක් වැය වූ බවට එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.   




  ලොව වැඩිම පිරිසක් අනුගමනය කරන ට්විටර් ගිණුම් අතර 21වැනි ස්ථානය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ගිණුමට හිමිව ඇත. එමෙන්ම ආසියානු කලාපයේ ඉදිරියෙන්ම සිටින ට්විටර් ගිණුම් හිමියා වනනේ ද ඔහුයි. අලෙවිකරණ ක්ෂේත්‍රයේ විශේෂඥයකු වන ''පිලිප් කොට්ලර්'' වරක් ප්‍රකාශ කළේ ''මෝදිගේ'' මැතිවරණ ව්‍යාපාරය තුළ තම අලෙවිකරණ හර සංකල්ප වන 4 P ( Product, Price, Place, Promotion ) මැනැවින් ක්‍රියාවට නංවන අයුරු තමා දුටු බවය. ''කොට්ලර්'' වැඩි දුරටත් සඳහන් කළේ මෝදි යනු ''නිෂ්පාදනයක්'' ( Product) වන බවටය. එම නිෂ්පාදනය නිසි ලෙස ස්ථානගත කිරීමට ඔහුගේ මැතිවරණ ප්‍රචරණ ව්‍යාපාරය සමත් විය. 2014 මැතිවරණ සමය තුළ මෝදි වෙත ට්විටර් පණිවිඩ මිලියන 11කට අධික සංඛ්‍යාවක් ලැබුණු බවට වාර්තා වේ.



  එමෙන්ම ආසියානු කළාපයේ ට්විටර් ගිණුම් හිමි දේශපාලනඥයින් අතර පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉදිරියට පැමිණෙමින් සිටී. ඔහු ද සිය දේශපාලන කටයුතු සඳහා වඩාත් සක්‍රීය ලෙස ට්විටර් ගිණුම යොදා ගනී.


       පකිස්ථාන අග්‍රමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ට්විටර් ගිණුම



   ඉහත සියලු සාධක සලකා බැලීමේදී ප්‍රත්‍යක්ෂ වන කරුණ වන්නේ, දේශපාලන කටයුතු නිසි ලෙස පවත්වාගෙන යෑමට සන්නිවේදනය අත්‍යාවශ්‍ය වන බවටය. නූතන දේශපාලනය දෙස අවධානය යොමු කිරීමේදී එහි සාර්ථකත්වය සඳහා නවීන තාක්ෂණය සමග හඳුන්වාදුන් සමාජ මාධ්‍ය වැනි නව ක්‍රම වඩාත් සාර්ථක වෙමින් පවතින බවට දක්නට ලැබේ. කාර්යබහුල ජීවන රටාව තුළ වඩාත් සාර්ථක වන්නේ ජංගම දුරකථනය වැනි මාධ්‍ය ඔස්සේ සරලව ක්‍රියාත්මක කළ හැකි සන්නිවේදන ක්‍රියාදාමයන්ය. සමාජ මාධ්‍ය එහිදී අන් සියලුම සාම්ප්‍රදායික මාධ්‍යවලට වඩා ඉදිරියෙන් සිටී. දේශපාලනඥයෙකුට තම පණිවිඩ, මහජනයා වෙත සන්නිවේදනය කළ හැකි ප්‍රධාන මාධ්‍යක් ලෙසට ට්විටර් දැක්විය හැකිය.


Chanika Athauda
:( SC/MAMM/2018/2019/13/ATHAUDA C.M.K )
:Online Media (MMMM 623 MMS 133 )


0 comments:

Post a Comment