Pages

Wednesday, April 10, 2019

මුහුණු පොතේ නාසිසස්



මම නාසිසස්... කවුද නාසිසස් කියන්නේ... නාසිසස් කියන්නේ පුරාවෘත්තයක්. සම්ප්‍රදායික අර්ථයෙන් පුරාවෘත්ති කියන්නේ පැරණි නමුත් පැරණි නොවන කතාන්දරවලට. අපි පුරාවෘත්තයකදී ඇත්ත නැත්ත බලන්නේ නැහැ. හරියට අපි ප්‍රශ්න අහන් නැතුව හින්දි චිත්‍රපටියක් බලනවා වගේ. අන්න ඒ වගේ පුරාවෘත්තත්.  පුරාවෘත හා අපි අතර තිබෙනවා ඒ වගේ ගිවිසුමක්.
පුංචි කාලේ මම වාක්‍යයක් ලිව්වා මම සිංහයෙක්මි කියලා. ඒ වාක්‍ය ව්‍යාකරණානුකූලව හරි. ඒත් මම සිංහයෙක් නෙවෙයිනේ... මෙතැනදි උඹලට ගාණක් නෑ වාක්‍යයේ අර්ථයත් සමග. මෙන්න මේ වගේ තමයි පුරාවෘත්තත්.
ඉස්සේලලා මේ කතාව අහපල්ලා. රොලන්ඩ් බාත් Mythologies වියමනේදී කියනවා. Myth කියන්නේ භාෂාවක් කියලා. ඊටපස්සේතව ටිකක් ඉස්සරහට ගිහින් ඔහු කියනවා පුරාවෘත්ත කියන්නේ එක්තරා කථන ක්‍රමයක් කියළා. මේ සන්ධර්භය ඇතුළේ මනෝවිශ්ලේෂණයේදි පුරාවෘත්ත නැත්නම් පුරානෝක්ති කියන්නේ හැඟවුම්කාරකයක් කියළා ඔහු කියනවා. හැඟවුම්කාරක (Signified) කියන්නේ ආත්මය එහෙමත් නැත්නම් (Subject) කියන දෙයට. ඒ කියන්නේ හැඟවුම්කාරයක් වෙනුවෙන් නියෝජනය කරන්නාට. Signifier represent another signifier of subject. හැබැයි කිසිම විටක හැඟවුම්කාරකයට අර්ථය හැඟවුම්කරණය කරන්න බෑ. ඒක කරන්නේ වෙනත් හැඟවුම්කාරකයක් වෙනුවෙන් ආත්මය නියෝජනය කිරීමයි.
මේ අර්ථ සම්බන්ධය තුළ ඊඩිපස්ගේ ගේ ඉදන් මම නාසිසස් දක්වා සියලුම පුරානොක්තිවල උඹලට හමුවන චරිත හැඟවුම්කාරක පමණයි. ඒ කියන්නේ මේ චරිත අවුරුදු දහස් ගණනක් තිස්සේ උඹලව නියෝජනය කරනවා.
දැං කවුද මේ මම කියන නාසිසස්? අවුරුදු දහස් ගණනක් පුරා කවීන්, විද්වතුන් ලේඛකයින් මාවයි එකෝවයි පට්ට ගැහුවා. ආ එකෝ... මට එයා ගැන කියන්න බැරිවුණා... මේ කතාවේ කොහේදි හරි මං උඹලට ඒකි ගැනත් කියන්නං. ප්‍රේමය, අහිමිවීම, මරණය, වැළපීම වැනි තේමාවන්ට අපි නිරන්තරවම ගොදුරු වුණා. ඒ අතරින් කැපී පෙනෙන නිර්මාණය තමයි ඕවිට් කියන රෝම කවියගේ මෙතොපොපොසිස්. ඔවිට්ගේ සැබෑ නම ඔබ්වියස් ඔලිවියස්. මෙතොපොපොසිස් තුන්වැනි ග්‍රන්ථයේ තමයි එකෝ සහ නාසසිස් පුරාවෘත්තය ගෙනහැර පාන මහා කාව්‍ය තියෙන්නේ. අපේ කතාවේ වැදගත්ම දේ  තමයි ආත්මීයත්වයේ ස්වභාවය පිළිබඳ දර්ශනික කතාබහ.
දැං ආපහු එමු ආත්මීයත්වයට. එක අතකින් මම කියන පුද්ගලත්වය මෙම ආත්මීයත්වය සම්බන්ධයි. හැබැයි ආත්මීයත්වය කියන දේ මම කවුද කියන ප්‍රශ්නයටත් උත්තර සොයනවා. මේ ප්‍රශ්නයට උත්තර සොයන විට මෙහි අර්ථය ආත්මීයත්වය, විශ්වය, සදාචාරය, ආගම, කලාව ආදිය ගැන මා දරා සිටින විශ්වාසයන්ට අදාළ නැහැ. එය මගේ අනන්‍යතාව සහ පැවැත්ම ගැන කරන ගවේෂණයක්. මින් මම කරන්නේ ආත්මයක් ලෙස ගොඩනැඟීමයි.
ඔමිට අපේ කතාව පටන්ගත්තේ අපෙන් නෙවෙයි. ඔහු පටන් ගන්නේ ජූනෝ සහ ජුපිටර් කියන දෙවිවරු දෙදෙනාගේ හැමනෙනකොට වැඩිම සතුටක් ලබන්නේ පිරිමියා ද ගැහැනිය ද කියන විවාදයෙන්. මේ විවාදයට තෙරේසියස් කියන පුද්ගලයත් සම්බන්ධ වෙනවා. ඔහු දෙවියෙක් නෙවෙයි. ඔහු මනුශ්‍යයෙක්. ජූනෝ සහ ජුපිටර් මේ ප්‍රශ්නය තෙරේසියස් ගෙන් අහනවා. තෙරේසියස් ගෙන් මේ ප්‍රශ්නය අහන්න හේතුවක් තිබුණා මොකද තෙරේසියස් කියන්නේ පිරිමියෙක් ලෙස උපත ලබා කාලයකට පසු එකපාරටම ස්ත්‍රියක් ලෙස ජන්මයක් ලැබූ කෙනෙක්. මෙතනදි තෙරේසියස් ජුපිටර්ගේ පැත්ත අරගෙන කියනවා වැඩිම ආතල් එකක් තියෙන්නේ ස්ත්‍රියයි කියලා. හත්ඉලවුවයි. ජූලි හතයි. ජූනෝට ඒකට කේන්ති ගිහින් තෙරේසියස්ව අන්ධයෙක් කළා. හැබැයි යම්කිසි සහනයකුත් තෙරේසියස්ට දෙනවා. ඒ තමයි අනාගතය ගැන කීමේ හැකියාව තෙරේසියස් වෙත ලබාදීම.
මේ කතාව මට සම්බන්ධ වන්නේ මෙහෙමයි. මගේ අම්මා වෙරියොව් නම් ජල අප්සරාවක්. මගේ අම්මාව දූශණය කළා ගංගාවට අධිපති පාහර දෙවි කෙනෙක් විසින්.  එම දූශණයේ ප්‍රථිපලක් විදිහට තමයි මම අම්මාගේ බඩට ආවේ. මම ඉපදුනාට පස්සේ මගේ අම්මා මාව තෙරේසියස් ළගට අරගෙන ගියා පේන අහන්න. පළවෙනි පේනය විදිහට අම්මා අහනවා මගේ දරුවා නාසිසස් බොහෝ කලායක් ජීවත් වෙනවාද කියලා. තෙරේසියස් කියන්නේ එයා තමන්වම නොදැන සිටී නම් බොහෝ කාලයක් ජීවත් විය හැකි බවයි. පාහර තේරේසියස්... මම මොකටද මට බයවෙන්නේ? කුණුහර්ප ඕවා.
කොහොම වුණාත් මම මාර කඩවසම්. මට සෑහෙන්න දෙනෙක් ප්‍රේම කළා. එත් මං ඒවා ගණන් ගත්තේ නෑ. එකෝ... එකෝත් මට ප්‍රේම කළා.
එයාගේ කතාවත් මාරයි. එයාට කට හඬක් නෑ. ඒක නැතිවුණේ මම කලින් කියපු ජුපිටස් සහ ජූනෝ ගේ වාදයේම ප්‍රථිපලයක් හැටියට. ජුපිටර්ගේ හොර කොටුවලට උදවු කළේ එකො. ඒ නිසා ජූනෝ එකෝගේ කට හඬ අහිමි කරනවා. කරලා එකෝට යම් කිසි සහනයක් දෙනවා කෙනෙක් කතා කරන දෙයින් අවසන් වචනය අල්ලාගෙන එය ප්‍රතිරාව කරමින් කතා කරන්න.
මම වනාන්තරයේ දඩයමේ යනකොට එකෝ මගේ පසුපසින් ආවලු. ඒත් මම දන්නේ නෑ.... ඇත්තම කිවුවොත් මම ගණගන්නේත නෑ..
අන්තිමේ මම විලක් ගාවට ආවා. විලේ වතුරෙන් දැක්කා මගේම කදිම කඩවසම් රූපය. පුදුම ලස්සනක්... මම ඒ රූපේ වැළගන්න හැදුවා.  ඒත් බැරි වුණා.
උඹලට තේරෙනවද? ඒ කියන්නේ තමන්ටම තමන්ව අහිමි වෙනවා.  අනිත් පැත්තට මම හිතුවා මෙහි සිටින අනිකා මාව මඟහැර යන්න හදනවා කියලා. මේ විදිහට මම මගේගේ රූපයත් එකක් බැඳිලා ඒ දිහා බලාගෙන නොකා නොබී ඉඳලා එතැනම මිය ගියා. ඊට පස්සේ එකෝ එතෙන්ට ආවා. ඒකි එනකොට මම විල පතුලටම යන්න ගිහිං. මම විල පතුලට යද්දිම විලෙන් එළියට ආව රතුපාට මලක්. එකෝ දැක්කා ඒ රතු මල. එදා ඉදන් ඒ මල නාසිසස් මල වුණා. අර දයාන් විතාරණ සින්දුවක කියන ඩැෆටිල් කියන්නෙත් නාසිසස් මලටම තමයි.
දැන් උඹලා අහන්න ඕන අවුරුදු දහස් ගණනක් පැරණි කතාව අපිට අදාළ වෙනවද කියලා? ඒ කියන්නේ මේ කතාවෙන් සමකාලීන උඹලව නිරූපණය වනවාද?
අදත් උඹලට ඕන තරම් නාසිසස්ලා හමුවෙනවා. උඹලා හැමෝගෙම නාසිසස් ලක්ෂණ අඩුවැඩි වශයෙන් තිබෙනවා. ෆේස්බුක් කියන්නේ නාසිසල්ලා බල්ටි ගහන පිට්ටනියක්.
නාසිසස් තමන්ගේ මුහුණ දකින කැඩපත තමයි විල. උඹලගේ කාලයේ නාසිසස්ලා තමන්ගේ මුහුණ දකින කැඩපත තමයි මුහුණු පොත. ඔවුන් ඒ මත එබීගෙන ඉන් පෙනෙන තමන්ගේ රූපයට වශීවී සිටිනවා.
මොනවද මුහුණු පොත බලාගෙන බලාගෙන යන විට හමුවන්නේ...
මෙන්න බලන්න මං කවියක් ලිව්වා ලස්සනයි ද බලන්න
ඒකට කමෙන්ටුවක් එනවා අනේ කොච්චර ලස්සනයි ද අක්කේ ඔයා කොච්චර ලස්සන කවියෙක්ද?
මෙන්න බලන්න යාළුවනේ මං ලිව්වා මේ කවිය ගැන විචාරයක්.
දැං කවියො විචාරකයො මේ විදිහට බිහිවෙනවා වගේ තමයි පඬිවරුත් මේ හරහා බිහිවෙනවා.
එක්කෙනෙක් පොත් රාක්කයක පින්තූරයක් දානවා. දාලා කියනවා බුක් ෆෙයාර් එකෙන් මං පොත් ටිකක් ගත්තා මෙන්න ඒ පොත් කියළා.
එකෙන් කියන්නේ ඒ පොත් ටික කියවන නිසා එයා පඬිවරයෙක් කියළා.
තව පිරිසක් ඉන්නවා මුහුණු පොතේ තරඟෙට කුණුහර්ප කියනවා. ලොකුම කුණුහර්ප කියපු කෙනා තමයි පොර බවට පත්වන්නේ. මේක සංස්කෘති ගැටළුවක් නෙවෙයි ශිෂ්ඨාචාර ගැටළුවක්.
උඹලා නොදන්නා දේ තමයි මොවුන් බර පතළ මානසික රෝගයකින් පීඩා විඳින බව. ඒ රෝගය තමයි නාසිසිටම්.
මනෝවිශ්ලේෂණයේදි ස්ලැවොයි ජිජැක් මෙය හඳුන්වන්නේ රෝගි නාසිසස් කියා. ලැකාන්ගේ ප්‍රවාදය ඇතුළේ අද අප ගෙවන්නේ ධනවාදි කතිකාවතක්. මීට කලීන් ආත්මය කියන්නේ හැඟවුම්කාරකයකට. නමුත් අද කාලයේ ආත්මය කින්නේ භාෂාවේ ප්‍රථපලයක්. මේ නිසා තමයි සමහර මිනිස්සු තමන්ගේ පෙත ගැන පත්තරේ පළවුණු විචාරයක් මුහුණු පොතේ පළ කරලා මේ මගේ පොත ගැන අහවලා විචාරයක් ලියලා කියා දන්නේ. ඒ මදිවට ලියනවා මං ගැන ලිවුවට ස්තූතියි අයියේ කියළා.
ඉස්සර කලා කෘතිය හා කලාකරුවා අතර යම්කිසි පරතරයක් තිබුණා. ඒ කියන්නෙ කලා කෘතිය සමාජයට මුදා හැරියට පස්සේ කලාකාරයා ඒ ගැන කතා කරන්න මැදිහත් වෙන්නේ නැහැ. අද තමන්ගේ නිර්මාණය විවේඡනය කරන්න තමන්ම ඉදිරිපත් වෙනවා. පදික වේදිකාවේ බඩු විකුණන්න මහන්සි වෙන තුට්ටු දෙකේ වෙළෙන්දො වගේ.
ක්‍රිස්ෆෙර් ලාෂ් කියන විද්වතා පොතක් ලිනවා කල්චරල් ඔෆ් නාසිසස් කියලා.  ලාස් මිචොෆ් ෆුකොක් වගේ තමන්ගේ ප්‍රවාදය ඓයිතිහාසික සන්ධර්භයකට ගෙනයන කෙනෙක්. ඔහුගේ ලිවීම ගැන ජිජැක් කියනවා සමකාලීන අධිකාරීවාදි පාරිභෝගික සමාජය මේ දාර්ශනික විචාරය හරිම තියුණුයි කියලා. ජිජැක් කියනවා 1986දි මුහුණු පොත කියලා කිසිම දෙයක් නැති කාලෙක දිව්‍යඥනයෙන් කියනවා මුහුණු පොත වැනි දෙයකින් නාසිසස් රෝගීන් බිහිවෙන බව. ඔහු මෙහි රෝග ලක්ෂණ ලැයිස්තුගත කරනවා.
මින් මූලිකම ලක්ෂණය තමයි පරිසරයට හැඩගැස්වීමේදී ඔහු ඉතා දක්ෂයෙක්. හැබැයි තමන් තමන් පොර කියන දේ පෙන්නනවා. තමන්ගේ කවියට කමෙන්ට්ස් එවන ඔහුගේ අශිරාරික මිතුරන්ට තමාට තමාවම තහවුරු කරගැනීමට උපකාරී වන උපකරණ ටිකක් පමණක් වනවා. ඊට පස්සේ එයාලව අමතක කරලා දානවා. ඇත්ත වශයෙන්ම ඔහු පවතින්නේ ඔවුන්ගේ ඇගයීම සහ පිළිගැනීම මත. සමාජීය වශයෙන් ඔහු තමාව උත්කර්ෂයට නංවාගන්නවා. මං මුහුණු පොතේ දකිනවා තමන්ගේ අතීත වික්‍රමයන් කොටස් වශයෙන් ලියන පොරවල්. ස්වයං චරිතාපදාන ලිවිමත් එක්තරා විදිහක නාසිස්ස්ටික් රෝග ලක්ෂණයක්. මේහරහා වන්නේ තමාව තමා විසින්ම නිර්මාණය කරගැනීමක්.
ජිජැක් කියන විදිහට දැං හුඟක් සමාජ සම්බන්ධතාවල තියෙන්නේ නාසිස්ටික් ලක්ෂණ. මෙහිදි අව්‍යාජ ඇඟළුම්කමක් ගොඩනගා ගන්න බෑ. ඔහු අනිකා සමග මිත්‍රතා ගොඩනගා ගන්නේ තමන්ගෙන් විය යුතු යුතුකමක්, වගකීමක්, විශ්වාසයක් වෙනුවෙන් වගේ. මේ සම්බන්ධතා මූනිච්චාවට විතරයි. කෙනෙකුව වර්ණනා කරනවානම් ඒ නාසිස්ට්ක් ලක්ෂණ නිසායි. උඹලා ෆේස්බුක් එකේ කරන්නෙම ඔච්චරයි..මේ ගැන ජිජැක් කියන වටිනා අදහසක් තමයි නාසිස්ටික් රෝගියා තනිකමට බයයි. වයසට යනවට බයයි. අසනීපවලට බයයි. තමන්ගේ ශරීරය ගැන සැලකිලිමත්. ඒ හින්දාතමයි ෆොටෝෂොප් නැතුව උඹටලට ප්‍රොෆයිල් පික්චර් එක අප්ලෝඩ් කරන්න බැරි. මේ නාසිස්ටික් රෝග ලක්ෂණ උඹලා හැමෝම ළඟ තියෙනවා.
හරි දැං ඉතිං ලැස්තිවෙයල්ලා මැරෙන්න. උඹලට ඇහෙන් නෑ නේද එකෝ කෑ ගහන සද්දේ... පුතේ කන්න එන්න... නංගී ඔයා කොහේද? කෝ මේ දුව... මල්ලි ගෙදර නැද්ද... අයියා අසනීපෙන්ද.... ඕකේම ඔලුව ඔබං ඉන්නැතුව වරෙංකෝ... හහ් හහ් හා... පිස්සු එකෝ. ඒකි උඹලගේ ගෙදර උංට වැහිලා. ගණන් ගන්න එපා. ෆෝන් එකෙං එෆ්බීයටම වෙලා ඒකටම එබීගෙන හිටපං. පේනවද උඹට උඹව. උඹ උඹ දිහාම බලපං. උඹටම ආදරේ කරපං. අනිත් ඔක්කොම හාල්පාරුවෝ. උඹ විතරයි ලස්සන... උඹ උඹට විතරක්ම ලවු කරපං.... දැනෙනවද ඒ ආදරේ.... අන්න ආදරේ... උඹේම ආදරේ...  දැං උඹ තමයි නාසිසස්.... ලස්සනම ලස්සන නාසිසස්. එක පරයෙක්වත් නෑ උඹ තරං ලස්සන... දැං මැරියං...මැරියං... මැරියං... ෆේස්බුක් එක ඇතුළේම මැරියං... කාටවත් උඹව අයිති වෙන්න දෙන්න එපා... උඹ මැරියං නාසිසස්....

ලහිරු සමරසිංහ
(දාර්ශණික ආලෝකය දුන් සමන් වික්‍රමආරච්චිට තුති)


0 comments:

Post a Comment