Pages

Sunday, May 12, 2019

නව මාධ්‍ය භාවිත හා අදාළ පඨිත සඳහා අන්තර්ගතය නිර්මාණය කිරීම
                   (Content creation for relevant texts in New Media)

       
සාම්ප්‍රදායික (Traditional) / පැරණි (Old)  මාධ්‍ය තුළ භාවිත වන අන්තර්ගතයන් නව මාධ්‍ය තුළ භාවිත කළ හැකි ආකාරයට සකස් කළ හැක්කේ කෙසේද? 

බටහිර ලෝකයේ බොහෝ රටවල් මෙන්ම ආසියාතික කලාපයේ බොහෝ රටවල් ද (නිදසුන්: ඉන්දියාව සිංගප්පූරුව වැනි රටවල්) නව මාධ්‍ය (New Media) භාවිතය ඔස්සේ අන්තර්ජාලය පදනම් කොටගත් සන්නිවේදන ක්‍රියාවලියකට අවතීර්ණ වී ඉන් කාර්යක්‍ෂම ලෙස ප්‍රතිඵල අත්පත් කර ගෙන සිටිති. නමුත් ශ්‍රී ලාංකේය සමකාලීන සන්නිවේදන ක්‍රියාවලීන් සමස්තයක් ලෙස ගෙන අධ්‍යයනය කරන විට පෙනීයන ප්‍රධාන කරුණ වන්නේ, ශ්‍රී ලංකාවේ සෑම භූගෝලීය කලාපයක් තුළ ම සාම්ප්‍රදායික, එසේත් නැතිනම් පැරණි මාධ්‍ය (Old Media) භාවිතයෙන් සිදු කරනු ලබන සන්නිවේදනයට සාපේක්‍ෂව අන්තර්ජාලය පදනම් කරගත් සන්නිවේදන ක්‍රියාවලියක් සාර්ථකව සිදු නොවන බවය. මෙයට විවිධ හේතූන් බලපෑ හැකිය. තාක්‍ෂණයේ අඩුලුහුඩුකම්, පරිගණක හෝ අන්තර්ජාල සාක්‍ෂරතාවේ අඩුපාඩුකම්, ලේඛන ශෛලීයේ ඇති පරස්පරතා මෙන්ම අන්තර්ජාල මාධ්‍ය නිසිලෙස තේරුම් නොගැනීම යන කරුණු මූලිකව හඳුනාගත හැකි ගැට`ඵ ලෙස පෙන්වා දිය හැකිය. මෙම කාරණා නව මාධ්‍ය හා අදාළ පඨිත සහ අන්තර්ගතයන් නිර්මාණය කිරීමේදී (Content creation) ඝෘජුවම බලපානු ලබයි. 

එනමුත්, නාගරික මට්ටමින් ඔබ්බට යමින් අර්ධ නාගරික සහ ග්‍රාමීය සමාජවල තවමත් සාම්ප්‍රදායික සන්නිවේදන ක්‍රමවේද හෙවත් පැරණි මාධ්‍යයන් ප්‍රබල සන්නිවේදනාත්මක බලපෑමක් සිදු කරනු ලබන බව ද අපට අධ්‍යයනය කළ හැකිය. නිදසුන් ලෙස: පුවත්පත් මූලික කොටගත් මුද්‍රිත මාධ්‍ය, රූපවාහිනිය සහ ගුවන් විදුලිය ඇතු`ඵ විද්‍යුත් මාධ්‍ය ආදිය පෙන්වා දිය හැකිය. එවන් පසුබිමකදී පැරණි මාධ්‍ය මගින් නිර්මාණය කරනු ලබන අන්තර්ගතයන් නව මාධ්‍යන්හි භාවිත කළ හැකි ආකාරයට සංස්කරණය කිරීම හෝ ප්‍රති නිර්මාණය කිරීම හෝ එසේම, එම අන්තර්ගතයන් භාවිත කළ හැකි නව මාධ්‍යයන් මොනවාද? යන්න පිළිබඳව විමර්ෂණය කිරීම සමකාලීන සන්නිවේදන ක්ෂේත්‍රය තුළ සිදු කළ යුතු වැදගත් අධ්‍යයනයකි. සාම්ප්‍රදායික නැත්නම් පැරණි මාධ්‍ය අන්තර්ගතයන් වුව ද නව මාධ්‍යයට ගැලපෙන ලෙස සකස් කිරීම මගින් වඩාත් කාර්ක්‍ෂම සන්නිවේදන ක්‍රියාවලියක් වෙත ග්‍රාහක ප්‍රජාව යොමු කරවිය හැකිය. එම ක්‍රම පිළිබඳව මීළඟට විමසා බලමු.

Images / Photo Journalism 

නව මාධ්‍ය සමග අන්තර්ක්‍රියා සිදු කරනු ලබන ග්‍රාහක ප්‍රජාව නිරන්තරයෙන් වඩාත් සවිස්තරාත්මක අන්තර්ගතයන් මගහැර ඉතා කෙටි නමුත් සියලු තොරතුරු නිසිලෙස කැටිවුණු සංක්‍ෂිප්ත අන්තර්ගතයන් කෙරෙහි වැඩි නැඹුරුතාවක් පෙන්වයි. විශේෂයෙන්ම ඡායාරූප මූලික කරගත් සන්නිවේදනය - Photo Journalism ඉන් ප්‍රධාන වේ. ප්‍රවෘත්ති හෝ යම් විශේෂ තොරතුරු ඡායාරූප අනුසාරයෙන් ඉදිරිපත් කිරීම (Publish) සහ බෙදාහදා ගැනීම/ ප්‍රකාශයට පත් කිරීම (Share) මේ වනවිට ඉතාම ජනප්‍රිය සන්නිවේදන මාදිලියකි (Model).




ඒ සඳහා නව මාධ්‍යයක් ලෙස Instagram සහ Pinterest  වැනි අන්තර්ජාල අවකාශ (Online platforms) නිර්මාණය වී තිබේ. පුවත්පත්, සඟරා වැනි යම් පැරණි මාධ්‍යයක පළවුණු ප්‍රවෘත්ති විශේෂාංගයක හෝ විශේෂාංග ලිපියක හෝ වෙනත් ලේඛනයක හෝ භාවිත කළ ඡායාරූපයක් ඉතා කෙටි වාක්‍ය කිහිපයක් අනුසාරයෙන්  සටහන් කොට share කිරීමේ හැකියාව මින් සන්නිවේදකයාට හිමිවේ. ලොව පුරා විවිධ භාෂා භාවිතයෙන් සන්නිවේදනයේ නියැළෙන බොහෝ මාධ්‍යවේදීහු මෙම රූප-කතා (Picture stories) බහුලව භාවිත කරනු විමර්ෂණය කළ හැකිය. ඇත්තෙන්ම මෙවැනි නව මාධ්‍ය භාවිත කරන සෑම කෙනෙකුම සන්නිවේදකයකු බවට පත්වේ. එනම්, ජනමාධ්‍යවේදියකු (Journalist), පුවත්පත්කලාවේදියකු/සංස්කාරක (Editor), රචකයකු (Writer), ඉදිරිපත්කරන්නකු (Presenter)  අත තිබූ සන්නිවේදක හැකියාව සහ සන්නිවේදක ගුණය සාමාන්‍ය සිවිල් ජනතාව (Mass)  අතට පත්වීම මෙම නව මාධ්‍ය මගින් සන්නිවේදන ක්‍රියාවලිය තුළ සිදු කළ ප්‍රධානතම වෙනසකි. 

Infographics 

පිටු කිහිපයකින් යුතුව රචනා කරන ලද විශේෂාංගයක් හෝ ප්‍රවෘත්ති විශේෂාංගයක් සාම්ප්‍රදායික හෙවත් පැරණි මාධ්‍ය තුළ සුලභ අංගයකි. නමුත් නව මාධ්‍ය තුළ මෙවැනි තොරතුරු සම්පාදනය සඳහා රූපමය තොරතුරු කතා ස්වරූපය හෙවත් infographics භාවිත කරනු ලබයි. විශේෂයෙන්ම සෞඛ්‍ය, තොරතුරු තාක්‍ෂණ-පරිගණක, විගණන, කෘෂිවිද්‍යා, ඉංජිනේරු ආදී බොහෝ ක්ෂේත්‍රවල තොරතුරු නව මාධ්‍ය ඔස්සේ සම්පාදනය කිරීම සඳහා මෙම infographics  මාදිලිය භවිත කරනු ලැබේ. පඨිතය (Text) නැත්නම් අන්තර්ගතය (Content) වාක්‍ය කිහිපයකට සීමා වීම සහ රූප, වගු, ප්‍රස්තාර ආදිය භාවිත කරමින් සංකීර්ණ තොරතුරු සරල ආකාරයකින් ඉදිරිපත් කිරීම සිදුවේ.


Blogging 

පුවත්පත් වාර සඟරා ආදියේ රචිත විවිධ ලිපි නූතන මාධ්‍ය භාවිතයේදී සන්නිවේදකයින් විසින් සටහන් තබනු ලබන්නේ blogsවලය. ලොව පුරා ලේඛකයින්, විද්‍යාඥ හෝ තාක්‍ෂණ ශිල්පීන්, මාධ්‍යවේදීන්, විවිධ වෘත්තිකයින් මෙන්ම සාමාන්‍ය පාඨක ප්‍රජාව විසින් blogs රචනා කිරීම සිදු කරනු ලබයි. එවැනි විවිධ වෘත්තීන් හා අදාළ පිරිස අතර මෙන්ම විශේෂයෙන්ම ගෝලීය තරුණ ප්‍රජාව අතර ඉතාම ජනප්‍රිය නව මාධ්‍ය මාදිලියකි. Chronological order එකකට සටහන් තබන blog, නියාමනයකින් තොර සන්නිවේදනයකට අවස්ථාව හිමිකර දෙන නව මාධ්‍යයකි. සාම්ප්‍රදායික හෝ පැරණි මාධ්‍යයක වූ යම් සටහනක්, ලිපියක් blog එකක ද එලෙසින්ම පළකිරීම මගින් වැඩි පාඨක පිරිසකගේ අවධානයට යොමු කළ හැකිවාක් මෙන්ම ඝෘජු ප්‍රතිපෝෂණයක් (Direct feedback) ද ලබාගත හැකිලෙස පාඨක පිරිසගේ සහභාගිත්වය ද හිමිකරගත හැකිය. ඇතැම් අවස්ථාවල පිටුවල ප්‍රමාණය නිසා හෝ වචන සීමා නිසා සංස්කරණය වන යම් ලිපියක පූර්ණ විස්තරය දැඩි සංස්කරණයකන් තොරව ආකර්ෂණීය අයුරින් සකස් කොට ඉදිරිපත් කිරීමේ නිදහස blog post එකක් ලෙස යළි සැකසීමේදී රචකයාට හෝ ප්‍රකාශකයාට හිමිවේ. Share කිරීමේ හැකියාව එම article එකට ඉහළ වටිනාකමක් ද ලබාදෙයි.



Podcasts and Audiobooks     
ගුවන් විදුලි වාර්තා වැඩසටහන්/ සංගීත වැඩසටහන්/ විද්වත් සාකච්ඡා/ ප්‍රවෘත්ති/ කාලීන කතාබහ ආදී වූ අංගෝපාංගයන්ගෙන් හෙබි ගුවන් විදුලිය පරිකල්පනීය හැකියාවන් වර්ධනය කරනු ලබන ඉතා වැදගත් පැරණි මාධ්‍ය ප්‍රභේදයකි. ගුවන් විදුලි මාධ්‍ය භාවිතයෙන් සම්ප්‍රේෂණය කරනු ලබන පඨිතයන් වුව ද වැඩිදුර තොරතුරු සම්පාදනය වෙනුවෙන් හෝ අධ්‍යයන මූලාශ්‍ර (Studying materials) ලෙස හෝ මූලාශ්‍ර (References) ලෙස හෝ නැවත විකාශය කිරීමේ අවකාශය නව මාධ්‍ය ඔස්සේ මාධ්‍යවේදියාට හිමිවේ. එවැනි නව මාධ්‍ය භාවිතයක් ලෙස podcasts පෙන්වාදිය හැකිය. එවැනි podcasts විවිධ web sites හෝ i-tunes හෝ Google play  ඔස්සේ බාගත (Download) කළ හැකි අතර ඒවා නැවත නැවත පරිශීලනය කිරීමේ අවස්ථාව ද (References) හිමිවේ.

එහිම දිගුවක් ලෙස හඳුන්වා දිය හැකි නව මාධ්‍ය අංගයක් වන්නේ audio books ය. වැදගත් මාධ්‍ය භාවිතාවක් වන audio books මගින් යම් රචනාවක්, විචාරයක්, ග්‍රන්ථයක් හෝ වෙනත් ලේඛනයක් එහි අන්තර්ගත පඨිතය, කථිකයකු (Narrator) යොදා ගනිමින් හඬකවා, You Tube, Sound cloud වැනි අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සිදු කරනු ලබයි. ඇතැමුන් අදාළ පඨිතයේ තොරතුරු වඩාත් සාර්ථක අයුරින් සම්පාදනය සඳහා ග්‍රෆික් රූප (CG) ද භාවිත කරන ආකාරය නිරීක්‍ෂණය කළ හැකිවේ.



නව මාධ්‍ය සඳහා පැරැණි මාධ්‍ය ඔස්සේ මුදාහරිනු ලබන පඨිත සංස්කරණය (Edited texts) කිරීම හා සමානවම නව මාධ්‍ය හා අදාළව නව පඨිත (Newly created texts) නිර්මාණය කිරීම ද වැදගත් වේ. බොහෝවිට නව මාධ්‍ය සඳහා පැරණි මාධ්‍යයේ පළ වූ සටහන් සහ නව තොරතුරු ඇතුළත් නව පඨිත සම්මිශ්‍රණයක් ලෙස භාවිත කරන ආකාරය ශ්‍රී ලාංකික සමකාලීන මාධ්‍ය භාවිතාව තුළ මෙන්ම බොහෝ බටහිර මාධ්‍ය ආයතන ද භාවිත කරන ආකාරය අධ්‍යයනය කළ හැකිය. එහිදී වැදගත්වන ක්‍රමවේද සැකෙවින් විමසා බලමු.

Media Mix and media Integration



නව මාධ්‍ය සාක්‍ෂරතාව ඉහළ අගයක් ගනු ලබන යුරෝපියන් රටවල් පවා පැරණි මාධ්‍යවලින් බැහැරට නොයන අවස්ථා බහුලව විමර්ෂණය කළ හැකිවේ. 

අමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපියන් රටවල් සිය ජනමත විචාරණ සහ ඡන්ද විමසීමේ කාලසීමාවන්වලදී සිය සැලසුම් සහ ක්‍රමෝපායන් (Strategies) මෙන්ම සිය දැක්ම සහ මෙහෙවර (Vision and Mission) ජනගත කිරීම සඳහා නව මාධ්‍ය සහ පැරණි මාධ්‍ය මිශ්‍ර කරගත් සමෝධානික ක්‍රමවේදයක් (Integrated method) අනුගමනය කරනු ලබයි. ඔවුන්ගේ ප්‍රධානතම සටන් පාඨ Posters, Hoardings, Cutouts, leaflets, flags, Designed stages, Backdrops මෙන්ම TV, Radio, Cinema, Outdoor trucks ආදිය භාවිත කරමින් දියත් කරනු ලබන අතර ඒ සමගම ඒ හා සමගාමීව Twitter, Facebook, Instagram, linked in, YouTube, Blogs, web sites පදනම් කරගත් විචාර සහ දැන්වීම් විස්තර (Webitorials ලෙස දැක්විය හැකි) ආදී මාධ්‍ය මිශ්‍රණයක් (Media Mix) භාවිත කරමින් දැවැන්ත ප්‍රචාරණ ක්‍රමවේදයක් අනුගමනය කරනු ලබයි. බොහෝවිට ඒවා පාරජාතික මාධ්‍ය සහ ගෝලීය මාධ්‍යවල මැදිහත් වීම මත මහද්වීප අතික්‍රමණය කරමින් (Cross boarders) සහ සංස්කෘතීන් අතික්‍රමණය කරමින් (Cross cultural) ලොව පුරා සංක්‍රමණය වීම සිදුවේ. 

සමකාලීන මාධ්‍ය නිෂ්පාදන පරිභෝජනය කරනු ලබන ග්‍රාහක ප්‍රජාව ගෝලීය වශයෙන් වුව ද තවමත් පැරණි මාධ්‍ය පරිහරණය කරනු ලබන අකාරය අධ්‍යයනය කළ හැකිවේ. පාර ජාතික මධ්‍ය (Transnational media) හෝ ගෝලීය මාධ්‍ය (Global media) නිර්මාණය කරන සහ එම මාධ්‍ය භාවිතාවන් කෙරෙහි වැඩි නැඹුරුතාවක් දක්වන අමෙරිකා එක්සත් ජනපදය පවා තවමත් පැරණි මාධ්‍ය භාවිත කරනු ලබයි. Donald Trump පවා ඔහුගේ 2016 ජනාධිපතිවරණ ප්‍රචාරණ ක්‍රියාවලියේදී (Presidential campaign) Poster campaigns බහුල වශයෙන් භාවිත කරන ලදී. 
 

වර්තමාන ගෝලීය දේශපාලන-ආර්ථික වපසරිය තුළ ආන්දෝලනාත්මක මතවාදයන්ට තුඩු දුන් සිදුවීමක් වන බි්‍රතාන්‍ය යුරෝපීය සංගමයෙන් ඉවත්වීම හා අදාළ Brexit සිදුවීම පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිටින බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ අගමැතිනිය වන Theresa May විසින් ද සිය අදහස් ඝෘජුව සහ වඩාත් පැහැදිලි අයුරින් ජනගත කිරීමට posters ප්‍රධාන කරගත් මුද්‍රිත මාධ්‍ය (Print media) වඩාත් කාර්යක්‍ෂම (Efficient) සහ ඵලදායී (Effective) අයුරින් භාවිත කළ ආකාරය ද විමර්ෂණය කළ හැකිවේ.


පහත රූපසටහන මගින් මාධ්‍ය මිශ්‍රණය මැනවින් විග්‍රහ කරනු ලබයි. නව මාධ්‍ය-සමාජ මාධ්‍ය භාවිතය ප්‍රමාණාත්මකව ඉහළ මට්ටමකට පැමිණිය ද සන්සන්දනාත්මකව බලන කළ ප්‍රමාණාත්මකව යම් ප්‍රතිශතයකින් සාම්ප්‍රදායික-පැරණි මාධ්‍ය ප්‍රභේද ද සන්නිවේදනයේදී හෝ ප්‍රචාරණයේ දී යොදා ගැනීමට උපාය මාර්ගික සැලසුම්කරුවන් (Strategic planers)  ක්‍රියාකරන බව මින් පැහැදිලි වේ.


ගෝලීය නායකයින් පවා මෙම මාධ්‍ය මිශ්‍රණය භාවිත කරනු ලබන්නේ තවමත් පැරණි මාධ්‍යවල යම් සාක්‍ෂරතා මට්ටමක් පවතින නිසාත් විවිධ හේතූන් මත ග්‍රාහක ප්‍රජාව මු`ඵමනින්ම පාහේ පැරණි මාධ්‍යවලින් විකර්ෂණය නොවීම නිසාත් බව මේ අනුව අපට නිගමනය කළ හැකිවේ.

මෙවැනි වාතාවරණයක් යටතේ ශ්‍රී ලාංකේය මාධ්‍ය තුළ ද වර්තමානය වනවිට මෙම ප්‍රවණතා ඉස්මතු වෙමින් පවතින බව අධ්‍යයනය කළ හැකිය. නිදසුනක් ලෙස: විල්පත්තු වන සංහාරය පිළිබඳව ඉංග්‍රිසි මාධ්‍යයෙන් නිකුත් කරන ලද විවිධ පඨිතයන් ගෝලීය මාධ්‍ය විසින් පතුරුවා හරින (Share) ලද ආකාරය පෙන්වා දිය හැකිය. ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් මෙන්ම විවිධ බ්ලොග් රචකයන් විසින් මෙම පාරිසරික ගැට`ඵවේ විවිධ පැතිකඩ විචාරාත්මක අයුරින් අන්තර්ජාලය ඔස්සේ පතුරුවා හරින ලද අතර ඒවා මූලාශ්‍ර කර ගනිමින් විවිධ බටහිර මාධ්‍ය සහ බ්ලොග් රචකයින් විසින් මේ පිළිබඳ විමර්ෂණය කිරීම් සිදු කරන ලදී.   

New media and Advertising 

වෙළෙඳ ප්‍රචාරණය හෙවත් දැන්වීම්කරණය ගෝලීය වෙළෙඳපොළ (Global Market) තුළ පවතින තීරණාත්මක සාධකයකි. ගෝලීයකරණය (Globalization) සහ විශ්ව ගම්මාන සංකල්පය (Global Village) පිළිබඳ අවධානය යොමු කරන විට වෙළෙඳ ප්‍රචාරණය යනු ගෝලීය සමාජ වෙනස් කිරීම සිදු කරනු ලබන ප්‍රවාහයක් ලෙස ද හඳුනාගත හැකිය. සමකාලීන වෙළෙඳ ප්‍රචාරණ කලාවන් අධ්‍යයනය කරන විට පෙනී යන්නේ එම උපාය මාර්ග හෙවත් ක්‍රමෝපායන් (Strategies), මතවාද (Opinions), සැලසුම් (Plans) සහ ක්‍රමවේද (Methodologies) ආදිය සහ නව මාධ්‍ය අතර අත්‍යන්ත සබඳතාවක් පවතින බවයි. 

වෙළෙඳ ප්‍රචාරණ ක්‍රියාදාමයන් නිරන්තරයෙන්ම පාහේ නව මාධ්‍ය භාවිත කරනු ලබයි. මීට ප්‍රධාන හේතුවක් ලෙස පෙන්වා දිය හැක්කේ වෙළෙඳ ප්‍රචාරණය සැමවිටම යාවත්කාලීන වූ මාධ්‍ය භාවිතාවක නිරත වීමය. වෙළෙඳපොළ සහ ප්‍රචාරණය එකිනෙකින් ස්වායත්ත වන අතර ප්‍රචාරණ සහ නව මාධ්‍ය ද එකිනෙකින් ස්වායත්ත වේ. ඒ අනුව මේ එක් එක් සාධකයක් සිය ප්‍රබලත්වය මත අනෙක් සාධකය හා අන්තර් ක්‍රියා පවත්වනු ලබන ආකාරය අධ්‍යයනය කළ හැකිය.

නව මාධ්‍ය නිරන්තරයෙන් ග්‍රාහක ආකර්ෂණය හිමිකර ගන්නේ එහි ඇති සජීව බව නිසා බව අනුමාන කළ හැකිය. නිතර යාවත්කාලීන වන සංහතික පඨිත (Mass texts) මෙන්ම ඒවාට එසැණ සිදු කළ හැකි ප්‍රතිචාර දැක්වීම් (Live feedback/ comment) මෙම නව මාධ්‍ය වෙත විශේෂයෙන්ම තරුණ (Youth) සහ යෞවන (Teenagers) ප්‍රජාව වැඩි ප්‍රතිශතයකින් ආකර්ෂණය වීම කෙරෙහි ඝෘජුවම බලපානු ලබන කාරණාවකි. එසේම, සිය අදහස් වාස්තවික වුව ද පෞද්ගලික වුව ද නියාමනයකින් තොරව ඉදිරිපත් කිරීමේ අවස්ථාව ද නව මාධ්‍ය විසින් හිමිකර දෙනු ලබයි.


වෙළෙඳ ප්‍රචාරණයේදී මෙම ග්‍රාහක නැමියාව අතිශය වැදගත් කාර්ය භාරයක් ඉටු කරනු ලබයි. සමකාලීන භාණ්ඩ හා සේවා මෙන්ම වෙනත් ආර්ථික නිෂ්පාදන අලෙවිය සහ ප්‍රවර්ධනය වෙනුවෙන් වෙළෙඳ ප්‍රචාරණය භාවිත කිරීමේදී ග්‍රාහකයින් වෙත නැවුම් මෙන්ම අලුත් මුහුණුවරක අත්දැකීමක් අත්පත් කර දීම වෙනුවෙන් නව මාධ්‍ය වඩාත් උපායශීලී අයුරින් භාවිත කළ හැකිය. 

Integrated campaigns

ගෝලීය මාධ්‍ය භාවිතා පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කරන විට නිරීක්‍ෂණය කළ හැකි තවත් සුවිශේෂී ක්‍රමවේදයක් ලෙස සමෝධානික ප්‍රවර්ධන ක්‍රියාදාම (Integrated Campaigns) පෙන්වා දිය හැකිය. මෙම ප්‍රවර්ධනයන් වෙළෙඳ ප්‍රචාරණය, දේශපාලන සන්නිවේදනය, ජාත්‍යන්තර සබඳතා, ගෝලීයකරණය, ගෝලීය අධ්‍යාපනය ආදී ක්‍රියාදාමයන් සඳහා මෙන්ම AIDS රෝගය නිවාරණය, පියයුරු පිළිකා නිවාරණය, මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම වැනි සමාජ වගකීම් ඉටු කිරීමේ ව්‍යාපෘති (CSR) සඳහා ද වඩාත් ඵලදායී ලෙස යොදාගත හැකි බව විමර්ෂණය කළ හැකි වේ.

Integrated Campaigns සඳහා අත්‍යවශ්‍යම සාධකය වන්නේ නව මාධ්‍ය ය. නව මාධ්‍ය ප්‍රභේද කිහිපයක මිශ්‍රණයක් මෙහිදී භාවිත වේ. නිදසුනක් ලෙස AIDS රෝගය නිවාරණය සඳහා සිදු කරනු ලබන දැනුවත් කිරීමේ ප්‍රවර්ධන වැඩසටහනක් You Tube ඔස්සේ ග්‍රාහකගත කරන අතරතුර Facebook, Instagram සහ Twitter ඔස්සේ අදාළ පඨිතයේ වෙනස් ස්වරූපයන් මුදාහරිනු ලබයි. Blogs මේ සම්බන්ධයෙන් ලිඛිත පඨිත වඩාත් සාර්ථකව සන්නිවේදනය කරනු ලබයි. Live stream  ඔස්සේ සජීව විකාශයක් අවශ්‍ය නම් දියත් කළ හැකිවේ. ලෝකයේ මේ වනවිට වඩාත්ම සාර්ථක සම්ප්‍රේෂණ ක්‍රමවේදයක් ලෙස Integrated Campaigns  හඳුන්වා දිය හැකිය. 
     
         


මේ ආකාරය අධ්‍යයනය කරන විට පෙනී යන එක් ප්‍රධාන කරුණක් වන්නේ, පාර ජාතික මාධ්‍ය (Traditional media) සහ ගෝලීය මාධ්‍ය (Global media) භාවිතයක් සිදුවන සමකාලීන සන්නිවේදන ක්ෂේත්‍රය තුළ පැරණි මාධ්‍යවල භාවිත කළ පඨිත අන්තර්ගතයන් මැනවින් සංස්කරණය කොට නව මාධ්‍ය සඳහා භාවිත කළ හැකි අතර එම ක‍්‍රියාවලිය ලෝකයේ බොහෝ රටවල් සාර්ථක ලෙස භාවිත කරන ආකාරයයි. අනෙක් ප්‍රධානතම කාරණය වන්නේ, නව මාධ්‍ය තුළ එම මාධ්‍යට ආවේණික ලෙස සැකසූ මාධ්‍ය පඨිතයන් සමෝධානික ක්‍රමවේද භාවිත කරමින් සම්ප්‍රේෂණය කරනු ලැබීමයි. කුමන ක්‍රමවේදයකට අනුගතව නව මාධ්‍ය භාවිත කළ ද කාලීනව මෙන්ම අවකාශීයව වැදගත් වන පඨිත අන්තර්ගතයන් නිර්මාණය කිරීම මාධ්‍යවේදියාගේ මුඛ්‍ය කාර්යභාරය ලෙස පෙන්වාදිය හැකිවෙයි.


Manoj T. Dharmawardhane
SC/MAMM/2018/2019/11
Masters in Mass Media Studies 2018/2019 

0 comments:

Post a Comment