Pages

Sunday, September 10, 2017

පුරවැසි ජනමාධ්‍ය හඳුනා ගැනීම, වෘත්තිීය ජනමාධ්‍යවේදයේ ලක්ෂණ හා පුරවැසි ජනමාධ්‍යවේදයේ ලක්ෂණ

ප්‍රජාතන්ත්‍රවාදී සමාජ වටපිටාවක් තුළ මහජන මතයට, අදහසට, ආකල්ප වලට ඉඩ දීම පුරවැසි මාධ්‍ය තුළ සිදුවෙයි. දොරටුපාල ක්‍රියාව වෘත්තීය සංහතික මාධ්‍යවේදයට වඩා අවම වූවකි. එහෙත් පුරවැසි මාධ්‍යවේදීන්ගෙන් උසස් ප්‍රමිතීන්, ආචාරධර්ම, වගකීම් හා බැඳෙන මාධ්‍ය සාරධර්ම පිළිබඳව අපේක්ෂා කළ නොහැක. සංහතික මාධ්‍ය හා පුරවැසි මාධ්‍ය ලක්ෂණ වෙනම වෙනම හඳුනා ගැනීම සිදු කල හැකිය.

පුරවැසි ජනමාධ්‍ය හඳුනා ගැනීම

    යම් පඨිතයක්, කටහඬ පටයක් ලේඛන ආකෘතියක් වුවද පුරවැසි මාධ්‍යයක් විය හැකිය. ස්වයං හෝ කණ්ඩායමක් වශයෙන් නිර්මාණය කළ නාට්‍යයක්, චිත්‍රපටයක්, කෙටිකතාවක්, නවකතාවක්, ගීතයක්, නිසදැසක්, ඡායා රූපයන් සැලසුමක් ආදී ලෙස අන්තර්ගත වන්නා වූ ඕනෑම ආකෘතියක් ලෙස පුරවැසි වාර්තාකරණයක් සිදු විය හැකිය. මෙහි දී මුලික වන්නේ පුරවැසියාය. අතරමැදියා වන්නේ මාධ්‍යයයි. අවසානය වන්නේ පුරවැසි සමාජයයි. (www.educause.edu.2011.03.21).
  නමුත් නව මාධ්‍ය ආගමනයත් සමඟ පුරවැසි වාර්තාකරණය සක්‍රීය තත්ත්වයකට පත්ව ඇත. බ්ලොග්, විකීස්, සමාජ ජාලා වෙබ් අඩවි, ජංගම දුරකථන, ඩිජිටල් කැමරා පුරවැසි සමාජයේ වඩාත් ව්‍යාප්ත වීමත්, ඒවා හැසිරවීමේ දැනුවත් භාවයත්, ආර්ථිකය ශක්තිමත් වීමත්, ස්වාධීන මතයකින් පෙනී සිටිය හැකි වීමත් තුළ පුරවැසි මාධ්‍යවේදය සම්ප්‍රදායික මාධ්‍ය අභිබවා යෑමට සමත් වී ඇත.

අන්තර්ජාලය තුළ මහජනයාට එකතු වීමට නිර්මාණය කරන ලද මුලික වශයෙන් වෙබ් අඩවියක ස්වරූපය ගන්නා පුරවැසි මාධ්‍ය අංගයක් ලෙස බ්ලොග් හඳුන්වා දිය හැකිය. ජනමාධ්‍යයට ජනතාව සහභාගී කර ගැනීමේ දී බ්ලොග් වලින් සිදු කෙරෙන්නේ සුවිශේෂී කාර්යභාරයකි. බ්ලොග් අඩවි වෙත පිවිසෙන ඕනෑම අයෙකුට තමන්ගේ අදහස්, මතවාද පල කිරීමේ හැකියාව ඇත. මෙහි දී ප්‍රවෘත්ති සහ පාඨකයා අතරද බ්ලොග් අඩවිකරුවන් හා පාඨකයා අතරද පාඨකයින් සහ පාඨකයින් අතර ද අන්තර් ක්‍රියා කාරීත්වයක් පවත්වාගෙන යා හැකිය. බ්ලොග් අඩවි මත පලවෙන ප්‍රවෘත්ති, තොරතුරු ප්‍රධාන පුරවැසි මාධ්‍යය ප්‍රයෝජනයට ගන්නා අවස්ථාද පවතී. බොහෝ ප්‍රධාන ධාරාවේ මාධ්‍යකරුවෝ බ්ලොග් පවත්වාගෙන යති (රාජපක්ෂ, 2009). නව වර්ගයේ වෙබ් අඩවි ස්වරූපයක් ලෙස බ්ලොග් කරළියට පැමිණීමත් සමඟ ඕනෑම පුද්ගලයෙකුට වාර්තාකරුවෙක් වීමටත් කිසියම් සිදුවීමක් පිළිබඳ ස්වකීය මතය මාධ්‍ය හරහා පල කිරීමටත් ජනමාධ්‍යවේදියෙකු වීමකින් තොරවම හැකියාව ලැබී තිබේ.

පොදු අභිරුචියන් හුවමාරු කර ගන්නා මිනිසුන් කණ්ඩායමක් අතර අන්තර් ක්‍රියාකාරීත්වයක් සමාජ සබඳතා වෙබ් අඩවි මගින් ඇතිවේ. සමාජ සබඳතා වෙබ් අඩවියක් ලෙෂ මුලින්ම හඳුනා ගැනීමට ලැබෙන වෙබ් අඩවි වන්නේ 1997 දි දියත් වූ Sixdegree.com  වෙබ් අඩවියයි. මිතුරන් හඳුනාගැනීමට එය සුවිශේෂී වුවකි (http://jcme.indiaí.org,2011.07.20).

මෑත කාලීනව ඇති වූ Myspace සහ Facebook, Youtube, mash-ups සමාජ සබඳතා වෙබ් අඩවි පුරවැසි මාධ්‍යවේදීන්ගේ සමහර ගුණාංග වලින් සමන්විත වේ. ත්‍්ජැඉදදන යහ`ඵවන් මුණගැසීමට ප්‍රාථමික ස්ථරයන් නියෝජනය කළත් එහි වර්ධනය වන තත්ත්වයක් ලෙස ප්‍රවෘත්ති වටිනාකම් ලැබීමේ ගුණාංගය හඳුනාගෙන ඇත.

ෆේස්බුක් සමාජ සබඳතා වෙබ් අඩවිය හේතුවෙන් ඊජිප්තුව වසර 30 ක් පාලනය කළ ජනාධිපති හොස්නි මුබාරක්ට ජනාධිපති ධූරයෙන් ඉවත් වන්නට සිදු විය. අන්තර්ජාලය පදනම් කරගත් සමාජ වෙබ් අඩවි හේතුවෙන් පුරවැසි ජනමාධ්‍යවේදීන්, බ්ලොග් කරුවන් සුවිෂේශී කාර්යයක් ඉටු කරමින් මියන්මාරය වැනි රටවල ඒකාධිපති නායකත්වයට එරෙහිව ජවතාවට බලපෑම් කිරීම යම් මට්ටමක සිදු වුවත් ඊජිප්තු නායකත්වය ඉවත් කිරීමය ෆේස්බුක් ජාලයට හැකිවීමේ අවස්ථාව ලොව එවැන්නක් සිදු වූ පළමු අවස්ථාව විය. කලීඞ් සයිඞ් නැමති ඊජීප්තු තරුණයෙකුට පොලිස් නිලධාරීන් සිදු කළ පහරදීමක් හෙතුවෙන් ඔහු මිය යෑමේ සිද්ධිය හරහා වයෙල් හෝනීම් නම් තැනැත්තෙක් We are all Khaled Said  නමින් ෆේස්බුක් පිටුවක නිර්මාණය කරමින් ඒ තුළින් ඊජිප්තු ජනතාව එහි සාමාජිකත්වය ලබා ගනිමින් ඊජිප්තු නායකත්වයට එරෙහිව දේශපාලනික අවශ්‍යතා සඳහා පෙල ගැසෙන්නට වීමත් සමඟ ඊජීප්තුවේ නිදහස පතා වු අරගලයට අන්තර්ජාල සමාජ වේබ් අඩවි සහ පුරවැසි ජනමාධ්‍යකරුවන්, බ්ලොග්කරුවන් වඩාත් සම්බන්ධ විය. මෙහිදී දින18 කට අඩු කාලයක් තුළ දේශපාලන සංවාද හරහා ඊජීප්තු ඒකාධිපති පාලනය පන්නා දැමිමට අවිහිංසාවාදී මෙන්ම නව මාධ්‍යා ප්‍රවනතාවන් සහ පුරවැසි මාධ්‍යකරණයන්ගේ නැගීම ඉවහල් විය. ඒකාධිපති ප්‍රජාතන්ත්‍ර විරෝධී නායකයින්ට සහ රාජ්‍යයන්ට සිතන්නටවත් වේලාවක් ඉතුරු නොකරමින් මෙම අරගලය සිදු විය. (www.vikalpa.org.2011.11.01).

පුරවැසි මාධයයක් ලෙස තවත් ප්‍රබල මෙවලමක් ලෙස අපට විකී හඳුනාගත හැකිය. විකී (wikis) යන්න හවායී භාෂාවෙන් බිඳී ආ වචනයකි. මෙහි පවතින්නේ කඩි මුඩිය වැනි අර්ථයකි. බොහෝ දෙනෙකුට පහසුවෙන් සම්බන්ධවී සාමූහිකව මෙහි අන්තර්ගය සංස්කරණය කළ හැකි වීම සුවිශේෂී වේ. විකී නිර්මාණය කර ඇත්තේ වොඞ් කනින්හැම් නම් පරිගණක විද්‍යාඥයා විසිනි. අද්‍යතනය වන විට wikihow, wikitraval, wikiansever, wikia. wikipedia, wikitionary, wikibook  වැනි වෙබ් අඩවි විකී අංගය හා සම්බන්ධව පවතී.

පුරවැසි මාධ්‍යකරණයේ තවත් ප්‍රබල මෙවලමක් ලෙස අපට හඳුනාගත හැකි වන්නේ ජංගම දුරකතනයයි. එය දිනෙන් දිනම තාක්ෂණික වර්ධනයන් අත්කර ගනිමින් සිටී. වරෙක ග්‍රාහක මෙවලමක් වන ජංගම දුරකතනය තවත් වරෙක සන්නිවේදන මෙවලමක් බවට පරිවර්තනය වෙයි (සමරජීව, කොළඹ ප්‍රකාශන සමු`ඵව, 2008).

මෘදුකාංග ශා දෘඩාංග වල නව වර්ධනයත් සමග Smart phones  අත්‍යවශ්‍යම උපකරණයක් බවට පත්ව තිබේ. අකුරු පමනක් සහිත කෙටි පණිවිඩ (sms, mms) ඡායාරූප, හඬ සහ වීඩියෝ දර්ශන යැවීම පමණක් නොව සජිවී රූපවාහීනී කැමරාවක් ලෙස ක්‍රියා කිරීමට අද වන විට ජංගම දුරකතයට හැකි වි ඇත. අධිවේගය, පහසුව හා පිරිවැය යන සාදක සම්බන්ධයෙන් ගත් විට ජංගම දුරකතන අනෙකුත් සන්නිවේදන මෙවලම්වලට වැඩියෙන් ඉදිරියෙන් පසුවෙයි.

වෘත්තිීය ජනමාධ්‍යවේදයේ ලක්ෂණ

■    වෘත්තීය ජනමාධ්‍යවේදීන් ආචාර ධර්ම පද්ධතියට අනුව කටයුතු කරන අතර ලැබෙන තොරතුරු යළි තහවුරු කර ගැනීමට කටයුතු කරයි.
■    තොරතුරු කේන්ද්‍රීය වේ.
■    ඇතැම් වෘත්තීය ජනමාධ්‍යවේදීන් පුරවැසි ජනමාධ්‍යවේදීන් තමන්ට තර්ජනයක් ලෙස දකී.
■    තොරතුරු ප්‍රවාහය ඒකපාර්ශවීය වේ.
■    සමාජ මාධ්‍ය භාවිත කරනුයේ තමා සතු තොරතුරු වලට අමතර තොරතුරු ලබා ගැනීම සඳහායි.
■    දේශපාලන හෝ වෙළඳපල බලවේග වලට යටත් වීමට සිදුවේ.
■    පුවත්පත, රූපවාහිනිය, ගුවන්විදුලිය ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍ය වේ.
■    ප්‍රවෘත්ති ඒජන්සි මගින් ද තොරතුරු ලබා ගැනේ.
■    ප්‍රවෘත්ති පාලනය කිරීමට උත්සාහ කරයි.
■    පණිවිඩය ප්‍රසිද්ධියේ සම්ප්‍රේෂණය කරයි.
■    වෘත්තීය ජනමාධ්‍යවේදීන් ජන මාධ්‍ය ආයතනයන්ට අධික බරක් වන අතර ඔවුන් නඩත්තුවට අධික පිරිවැයක් දැරිය යුතුයි.
■    පණිවිඩය සාපේක්ෂ වශයෙන් විශාල, විෂමජාතීය, නිර්නාමික ග්‍රාහක පිරිසක් කරා යොමු කෙරේ.
■    සන්නිවේදනයට විශාල වියදමක් දැරීමට සිදු වන සංකීර්ණ සංවිධානයක් තුළ ක්‍රියාත්මක වීමට සිදුවේ. නැතහොත් එසේ කිරීමට නැඹුරුවක් ඇත(කරුණානායක, 2004).

පුරවැසි ජනමාධ්‍යවේදයේ ලක්ෂණ

■    පුරවැසි ජනමාධ්‍යකරුවන් සමාජයේ සාමාන්‍ය ජනතාව වන අතර ඔවුන් විනිවිද භාවයට මුල් තැන ලබා දෙයි. වටිනාකම් පිළිබඳව අවධානය යොමු නොකරයි.
■    තොරතුරු කේන්දී්‍රය වේ.
■    ඇසින් දුටු සිදුවීම් මගින් ලබා ගත් තොරතුරු පුරවැසියා විසින් සකස් කරයි.
■    ස්වාධීනව තම අන්තර්ගතය මුදා හැරිය හැකිය.
■    ප්‍රවෘත්ති කලාවටත් සහ ජනමාධ්‍ය කලාවට නව අර්ථකථනයක් ලබා දී ඇත.
■    තොරතුරු ප්‍රවාහය මත මාධ්‍ය පද්ධතිය ජාල ගත වේ.
■    සංහතික මාධ්‍යයට සාපේක්ෂව දොරටුපාල ක්‍රියාව අවමය.
■    සමාජ මාධ්‍ය පුරවැසි මාධ්‍යකරුවාගේ ප්‍රසාරණය සඳහා වැඩි ඉඩක් ලබා දී ඇත.
■    පුරවැසියා ස්වාධීන නම් තම මතවාදය වෙනත් බලවේගයකට හසු වන්නේ කලාතුරකිනි.
■    නව මාධ්‍ය තුළ අන්තර්ජාලය ප්‍රධාන වේ. ජංගම දුරකථන, කැමරා තාක්ෂණයේ වර්ධනය ද ඇතුලු නව මාධ්‍ය තාක්ෂණයේ වර්ධනය ද එකතු වේ.
■    ප්‍රවෘත්ති ඒජන්සි වලට තර්ජනයකි. පුරවැසි මාධ්‍ය තුලින් ප්‍රධෘන ප්‍රවාහයේ මාධ්‍යය තොරතුරු ලබා ගැනීම සිදුවේ.
■    සන්නිවේදකයා වන්නේ ද තොරතුරු ප්‍රවාහයේ ග්‍රාහකයා වන්නේ ද පුරවැසියායි.
■    වෙනත් කෝණයකින් ප්‍රවෘත්ති දෙස බලා ප්‍රවෘත්ති වලට අභියෝග කරයි.



සාරංග පතිරණ (SC/PG/MAMM/2016/2017/11)

පුරවැසි ජනමාධ්‍යවේදය

පුරවැසි සම්බන්ධතා ගොඩ නැඟීම සහ පුරවැසියන් නව මාධ්‍ය භාවිතයට යොමු වීමත් සමඟ සම්ප්‍රදායික මාධ්‍යයත් ප්‍රධාන ප්‍රවාහී මාධ්‍ය තුළ නව ආකෘතියක් නිර්මාණය කොට ඇත. 90 දශකයේ අග භාගයේ දී ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල ඇති වූ නව මාධ්‍ය ආකෘතියක් ලෙස පුරවැසි මාධ්‍ය වේදය හදුනා ගැනේ. එය එක්තරා ආකාරයකට ජන මාධ්‍ය ක්ෂේත්‍රයේ සිදු වී දැවැන්ත පිපිරීමකි. පුරවැසි මාධ්‍යවේදය යනු ස්වාධීන වාර්තාකරණයයි. ඔබේ කැරමාවෙන් හෝ ජංගම දුරකථනයෙන් ඡායා රූපයක් හෝ වීඩියෝවක් පටිගත කලහොත් එසේ නොමැති නම් හෝ සමාජ ජාලා වෙබ් අඩවියක අදහසක් පල කලහොත් හෝ ඔබ පුරවැසි ජනමාධ්‍ය කරුවෙක් බවට පත්වේ.

වෘත්තීය ජනමාධවේදියෙක් නොවන පුද්ගලයෙක් ලිවීම, බ්ලොග් අඩිවි, වෙබ් විකාශ, ඡායාරූප, විශ්ලේෂණ හෝ විස්තර විචාර මගින් තොරතුරු වාර්තා කිරීම පුරවැසි ජනමාධ්‍යවේදය වශයෙන් අර්ථ දක්වා ඇත (Citizne Journalism/Christine Mc Edwards/2011.11.06).
ඔබේ නගරයේ සිදු වූ අපරාධයක වීඩියෝවක් යූ ටියුබ් හරහා ප්‍රචාරය කිරීම, පුවත්පතක පලවූ ලිපියක් පිළිබඳ ඔබේ අදහස් බ්ලොග් අඩවියක පල කිරීම හෝ ඔබේ නගරයක සිදු වීමක් පිළිබඳව ඡායාරූපයක් වෙබ් අඩවියක පල කිරීම පවා පුරවැසි ජනමාධ්‍යවේදයට උදාහරණ වේ. (www.slideshare.net/shristinemc/citizen-journalism-10051232).

පුරවැසි ජනමාධ්‍යයේදී තොරතුරු සහ පුවත් එක්රැස් කිරීම සහ විශ්ලේෂණය කිරීම සිදු කරනු ලබයි. එම තොරතුරු ප්‍රජාව විසින් නිර්මිත ඒවා මිස මිලියන ගණනින් ලාභ ලබන සංවිධාන විසින් නිර්මිත ඒවා නොවේ.

පුරවැසි ජනමාධ්‍යවේදය යනු ස්වාධීන වාර්තාකරණයයි. එනම් වෘත්තීයක් වශයෙන් නොව ආත්ම තෘප්තිය උදෙසා යම් තැනක සිදු වූ සිදුවීමක් නව මාධ්‍යය හරහා ව්‍යාප්ත කිරීමයි. (www.en.wiktionary.org 2011.07.20).

සංහතික මාධ්‍යයන් තුළ කේන්ද්‍රය වන්නේ ජනමාධ්‍යවේදියායි. පුරවැසි ජනමාධ්‍ය තුළ කේන්ද්‍රය වන්නේ පුරවැසියායි. වෘත්තීය සම්බන්ධතා වලින් මිදී විධිමත් මාධ්‍ය වේදයෙන් තොරව තනිව කාලීනව හා අද්විතීයව වෘත්තීය නොවන තොරතුරු එකතු කිරීම ප්‍රකාශනය තුළ පොදු ජනයා ක්‍රියාත්මක වේ. (www.ojr.org 2011.07.20).2011.07.20).
පුරවැසියා සමාජය තුළ සිදුවන සෑම සිදුවීමක් අසලම හෝ ඒ පිටුපස සිටී. ඒ සෑම සිදුවීමක්ම ග්‍රහණය කිරීමේ අවස්ථාව පුරවැසියාට හිමිවේ. (Steve,www.poynter.org,2011.07.20).

වර්තමානයේ දී සන්නිවේදනයේ වඩාත්ම බලපෑම් සහිත ස්වරූපය ලෙස සාමාන්‍ය පුරවැසියන් අතර පුරවැසි ජනමාධ්‍ය වේදය ජනප්‍රිය වී ඇත. පුරවැසියන් වටා සිදුවුන සිදුවීම් එසැණින් සමස්ත ලෝකය පුරා ගමන් කරයි. ගැටලුකාරී අවස්ථා වලදී පුරවැසියන්ට අවශ්‍ය මොනවද ඒ සඳහා විසදුම් සපයා දීම කලහැකි වීමත් පුරවැසි ජනමාධ්‍ය වේදයේ විශේෂත්වයකි. (Kabilan,Media Asia, 2009).

පුරවැසි ජනමාධ්‍යවේදය යනුවෙන් හදුනාගත හැක්කේ පොදු විශ්වීය සමාජයක නව මාධ්‍ය තුළ පුරවැසියා බලවත් වීම තුළ ස්වාධීනව හෝ සමාජ වශයෙන් ලබා ගන්නා තොරතුරු සංස්කරණය කරමින්, නිර්මාණය කරමින්, පර්යේෂණය කරමින්, ප්‍රවෘත්ති තහවුරු කරගනිමින්, විශ්ලේෂණය කරමින් සම්ප්‍රදායික මාධ්‍යය අභිබවා පැතිර පවතින වෙනසයි. බොහෝ මාධ්‍ය ආයතන තම ප්‍රවෘත්ති අවසානයේ ජනතාවට ඒ පිළිබඳ අදහස් පල කිරීමට අවස්ථාව ලබා දීම මගින් පුරවැසි ජනමාධ්‍යයේ වර්ධනයට දායකත්වය සපයයි. ඇතැම් සංහතික මාධ්‍ය ආයතන පුරවැසි මාධ්‍යවේදීන්ට තම පුවත් පල කිරීම සඳහා වෙනම් ඉඩ ප්‍රස්ථාවන් ලබා දී ඇත. උදා:- CNN - I Repoter, Sirasa - U Repoter, Swarnawahini - I Catcher අන්තර්ජාල හරහා පල කිරීම් මගින් තමා සතු දැනුම සහ තොරතුරු වඩා විශාල පිරිසක් වෙත සන්නිවේදනය කිරීමට පුද්ගලයින් පෙළඹී සිටීම ද අද වනවිට බහුලව දැකිය හැකිය. ඒ හරහාද පුරවැසි ජනමාධ්‍යවේදයේ වර්ධනයට හේතු වී ඇත.

උතුරු ඇමරිකාවේ පලමු පුවත්පත 1690 දශකයේ පලවීමත් සමඟ තවත් පුවත්පත් ගණනාවක් ම පල වීම ආරම්භ විය. නමුත් එවකට කිසිදු වාර්තාකරුවෙන් වෘත්තීය මට්ටමේ නොසිටීම හේතුවෙන් ඔවුන් සැලකුවේ යම් විෂයක් පිළිබඳව දැඩි ඇල්මක් ඇති නිසා ඒ පිළිබඳව යමක් රචනා කල පිරිසක් ලෙයසි. වර්තමානයේ ත් සමාජ ජාලා මාධ්‍ය තුළින් ඡායාරූප පල කිරීම, බ්ලොග් සටහන් යෙදීම සහ වීඩියෝ දර්ශන ප්‍රචාරය තුළින් සිදුවන්නේ ද එවැනිම ක්‍රියාවලියකි. 2000 වසරේ දී පුරවැසි ජනමාධ්‍ය නව මානයකට පිය නැගුවේ බ්ලොග් රචකයින් සහ විස්තර විචාරකයින් හේතුවෙනි. 1963 වසරේ ඇමරිකානු හිටපු ජනාධිපතිවරයෙකු වූ ජෝන් එෆ් කෙනඩි (John F. Kennedy, 1917-1963) ඝාතනය, 2001 වසරේ දී ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරය 2003 වසරේ දී කොලොම්බියා අභ්‍යවකාශ ශටලය විනාශ වීම 2005 වසරේ  ලන්ඩන් උමං මාර්ගයේ බෝම්බ ප්‍රහාරය, 2007 වර්ෂයේ ඇමරිකාවේ වර්ජිනියා උසස් පාසලේ වෙඩි තැබීම, 2016 වසරේ ප්‍රංශයේ නීස් නුවර අයිඑස් අයිඑස්(ISIS) ත්‍රස්තප්‍රහාරය පුරවැසි මාධ්‍ය වාර්තාකරණයට ප්‍රබල නිදසුන් සපයයි.



 සාරංග පතිරණ (SC/PG/MAMM/2016/2017/11)

Saturday, September 9, 2017

ආචාර ධර්ම මාධ්‍ය නියාමනයේ එක් ස්වරුපයකි


ආචාරධර්මවලට මානව සංහතියේ ආරම්භය දක්වා දිව යන ඉතිහාසයක් පවතී. ගෝත්‍රික මිනිසා ක්‍රමයෙන් ශිෂ්ඨ සම්පන්න යුගයකට පිවිසෙන්නේ මේ මානව ආචාරධර්ම තුළින් ඔහුව මෙහෙයවනු ලැබූ නිසාය. මේ සඳහා ආදී ගෝත්‍ර සමාජවල නොයෙකුත් ඇදහිළි, වත් පිළිවෙත් හේතු වන්නට ඇත.
අපේ රටේ සන්නිවේදන ආචාරධර්මවල ඉතිහාසය දෙසට අවධානය යොමු කරන විට දක්නට ලැබෙන්නේ එහි නෛතික ඉතිහාසයට වඩැ පැරණි ඉතිහාසයක් අපසතුව තිබෙන බවයි.  එය අපේ බුදු දහම ඇසුරින් සම්පාදනය වුණු බෞද්ධ ආචාරධර්ම පද්ධතිය  පසුබිම්  කරගෙන නිර්මාණය වූවක් ලෙස හැඳින්වීම අතිශෝක්තියක් නොවේ.
“සන්නිවේදන මගින් මුළු ලෝකයම විශ්ව ගම්මානයක් බවට පත් වෙන බව ” සන්නිවේදන පර්යේෂකයෙකු වූ “මාෂල් මැක්ලුහන්” මීට බොහෝ කලකට පෙර පළ කරන ලද අනාවැකිය අද සත්‍යයක් බවට පත්ව තිබේ.  ඒ විශ්ව ගම්මානය අද විශ්ව පවුලක්  (Global Family)  බවට පත් වී තව දුරටත් කුඩා ඒකකයක් වෙමින් පවතී. වැටකඩුළු මායිම් බිඳ හෙළමින් ඇති වී තිබෙන සන්නිවේදන විප්ලවය හමුවේ නිරාවරණය වෙමින් පවතින ලෝකය සුචරිත මාවතකට යොමු කරලීමට සදාචාර ධර්ම  ප්‍රතිපත්තීන් හරහා නියාමනය  කිරීමට සිදු වී තිබේ.
    ජන සන්නිවේදන ක්‍ෂේත්‍රයේ  මේ විප්ලවකාරී ව්‍යාප්තිය නිසා  ආචාරධර්මීය (Ethical) ගැටලු රැසක් මතු වී තිබේ. මේ නිසා සන්නිවේදකයාට හෙවත් ජනමාධ්‍යවේදියාට සිය වගකීමෙන් නිදහස් වීමට කිසිසේති හැකියාවක් නොමැත.
එදා මෙන් නොව අද සන්නිවේදකයාට අති විශාල සංඛ්‍යාවක් එක විට ඇමතීමට පුළුවන. එමෙන්ම සිය පණිවිඩය හෝ  විස්තරය තොරතුරු හෝ විස්තර සුවිශාල පිරිසක් වෙත එකවිට ගෙන යාමට පුළුවන. එසේම අද ජන සන්නිවේදන  මාධ්‍යය අතිවිශාල සංඛ්‍යාවක් පවතී.  එමෙන්ම තාක්ෂණික දියුණුව  නිසා අද මේ මොහොතේ සිදු වන සේ සජීවීව දැන ගැනීමට පුළුවන. මේ තාක්ෂණික සංවර්ධනය පාලනය කිරීමට නොහැකි තරමට ව්‍යාප්ත වී තිබේ.  එමනිසා ජනමාධ්‍යවේදීන් ස්වයං නියාමනයකට ග්‍රහණය කර ගැනීමට නම්  ආචාරධර්මීය පදනමක් ඔවුන් තුළ ප්‍රගුණ කළ යුතුය. එසේම බලපෑමකින් තොරව ස්වයං මාධ්‍යවේදීන් දැනුවත් කිරීම තුළින් ආචාරධර්ම සඳහා යටත් කළ යුතුය.
    ආචාරධර්ම යනු හැසිරීමේ ප්‍රතිපත්තියකි. එබැවින් ජනමාධ්‍ය ආචාරධර්ම පිළිපැදීම මගින් ජනමාධ්‍යයන්ගේ  ප්‍රමිතිය ඉහළ නැංවීමට පුළුවන.
 ජනමාධ්‍යවේදීන්ට ආචාරධර්මීය ගැටලු මතුවන අවස්ථා කිහිපයක් මෙසේ සටහන් කළ හැකිය.
01    අන්‍යන්ගේ ලිපියක් තම ලිපියක් සේ පළ කිරීම
02    තමන්ගේ පෞද්ගලික හැඟීම් මුසු කිරීම
03    දැනගත යුතු තොරතුරු අත්හිටුවීම
04    වංචනිකව ක්‍රියා කිරීම
05    තොරතුරු විකෘති කිරීම
06    පෞද්ගලිකත්වය  ආක්‍රමණය කිරීම
07    ප්‍රවෘත්තිවලට සහභාගී නොවීම
08    පක්ෂග්‍රාහී වාර්තාකරණයේ යෙදීම
ජනමාධ්‍ය භාවිතයේදී මානව සාරධර්ම සුරකිමින්  තම කාර්යයේ නියැළීම  සඳහා විද්වත්තු විසින් ආචාරධර්ම ප්‍රභේද තුනක් දක්වති. එනම්,
01    පරම ආචාරධර්ම (Absolutes Ethics)
සමස්ත ලෙස පිළිගත් ආචාරධර්ම හා නීති මාලාවක් ඇත. එයට නෛතික පදනමක්ද පවතී. ඉන් බැහැරව නොයා යුතුය.
02    නීති විරෝධී බව (Antinomianism)
    මෙය නීතියට පටහැනිව කටයුතු කිරීම වේ. එනම් අණපනත්, නීතිරීති කඩකරමින් තමන්ට කැමති පරිදි, අභිමත පිරිදි ලිවීමය. ඔහ නීති විරෝධී ජනමාධ්‍යකරුවෙකි.
03         අවස්ථානුකූල ආචාරධර්ම (Situational Ethics)
  සමායේ පවතින ආචාරධර්ම අවස්ථාවට උචිත අයුරින් කිසියම් වෙනස්කමක් සහිතව අභිමත පරිදි අවස්ථානුකූලව භාවිත කිරීමය.
මෙම ආචාර ධර්ම එය භවිත කරන පුද්ගල ඛාණ්ඩ අනුව ප්‍රධාන කොටස් 04 කට බෙදා වෙන් කර  දැක්විය හැකිය. එනම්,
01    මාධ්‍ය පාරිභෝගිකයා රැකීම අරමුණු කර ගත් ආචාරධර්ම
02    මාධ්‍ය සේවකයින් රැකීම අරමුණු කරගත් ආචාරධර්ම
03    අයිතිකරුවන් රැකීම අරමුණු කර ගත් ආචාරධර්ම
04    නීතිමය වගකීම් රැකීම අරමු කර ගත් ආචාරධර්ම


ඇමරිකාවේ මුද්‍රිත මාධ්‍ය ආශ්‍රිතව මෙන්ම විද්‍යුත් මාධ්‍ය සම්බන්ධයෙන්ද ආචාරධර්ම පවතී. රූපවාහිනි , ගුවන්විදුලි ආයතන වලද ලිඛිත ආචාරධර්ම පද්ධති පවතී. ඒවාද ප්‍රධාන කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය.
01    ආයතනගත ආචාරධර්ම
02    වෘත්තීය ආචාරධර්ම වේ
ලෝකයේ ජන සන්නිවේදන මාධ්‍ය බහුල ලෙස ව්‍යාප්ත  වී පවතින රාජ්‍යයන් 200 ක් පමණ වේ. ඒවා අතුරින් රටවල් 40 – 60ක් පමණ ජනමාධවේදීන් කෙරේ  නිසි බලපෑමක් හා පෙළඹ වීමක් ඇති කරන ආකාරයේ හෝ නිදහස් ප්‍රවෘත්ති සංස්කරණය හා ආරක්ෂා කරන ආකාරයේ ආචාරධර්ම පද්ධති ඇත ඉතිරි රටවල් 150 ක පමණ ප්‍රමාණයක එවනි ආචාර ධර්ම පද්ධති හෝ ජනමාධ්‍ය ප්‍රමිති ඇතිකරදීම සම්බන්ධව අවිනිශ්චිත තත්වයක් පවතී.


ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය සහ ලිපි ලේඛන

01    1973 අංක 5 දරණ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත, 1973, කොළඹ
02    තෙන්නකෝන්, රංජිත් කීර්ති, “වාරණ පුරාණය”සමන් ප්‍රකාශන. 2003
03    දිසානායක, විමල්, “ජනසන්නිවේදනය හා සමාජය” 1994, කොළඹ
04    පෙරේරා, කේ.එස්. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය“පුවත්පත් කලා සමීක්ෂා”, 1993, කොළඹ
05    පෙරේරා, කේ.එස්. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය“පුවත්පත් කලා සමීක්ෂා ,1998, කොළඹ
06    රාජපක්ෂ, චන්ද්‍රසිරි“ජනසන්නිවේදන මූලධර්ම1”කර්තෘ ප්‍රකාශන 2003
07    රාජපක්ෂ, චන්ද්‍රසිරි / වීරසිංහ, ටියුඩර්, “ජනමාධ්‍යවේදය”සංහිඳ ප්‍රාකාශන, 2002

පැතුම් ශ්‍රී විජේරත්න (SC/PG/MAMM/2016/2017/10)

ජනමාධ්‍ය නීතිය හා නියාමනය



    ජනමාධ්‍ය නීතිය ශ්‍රී ලංකාවේ අනෙකුත්  ස්ථාපිත නීතිවලින් වෙනස් වූ වෙනමම නීතියකි. ඊට හේතුව නම් මේ නීතිය යටතේ කෙනෙකු වරදකරු බවට පත් කළ හැක්කේ ඒ පුද්ගලයා ජනමාධ්‍ය අංශයේ කුමන හෝ ජනමාධ්‍යකට සම්බන්ධ වන්නේ නම් පමණි. ජනමාධ්‍ය නීතියේ ඉතිහාසය, මිනිසා නිදහස සොයා ගිය ගමනේ ඉතිහාසය තරම්ම පැරණි වූවකි.
    ජනමාධ්‍ය ආශ්‍රිත සීමාවන් ඉක්මවා යාම නිසාත්, අපහාස නීතිය ඇතුළු ජනමාධ්‍යයට බලපාන වෙනත් අණපනත් උල්ලංඝනය කිරීම නිසාත් ජනමාධ්‍යට එරෙහිව නීතිමය ගැටලු මතු වීමට පුළුවන. එය ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ බොහෝමයක රටවල සිදු වන සුලබ තත්ත්වයකි. ජනමාධ්‍ය නීතිය පිළිබඳව අවධානය යොමු කිරීමේදී මෙරට නීති පද්ධතිය හා එහි සැකැස්ම පිළිබඳ අවධානය යොමු කිරීම කාලෝචිතය.
   නියාමනය යනු පාලනයකට, බලපෑමකට හෝ වාරණයකට ලක් කිරීමක් නොවේ. එසේ ම ස්වයං බලපෑමකට හෝ ස්වයං වාරණයකට හෝ යටත් කිරීමක් ද නොවේ.
නියාමනය යන පදය තුළ යහපත් ලෙස නිසි මාර්ගයට ගැනීම, සැලසුම් කිරීම, සංවිධානය කිරීම, පරිපාලනය කිරීම, අධීක්ෂණය, හසුරුවාලීම, පුනර්පෝෂණය, නීත්‍යානුකූල කිරීම, බලවත් කිරීම හා ස්ථායීකරණය යන ක්‍රියාකාරී තත්ත්වයන් ගැබ්ව පවතී.
    නියාමනය යන්න ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ Regulate යනුවෙනි. Regulate යන්න මලලසේකර ශබ්ද කෝෂයේ සඳහන් වන්නේ නිවැරදි බවට, ක්‍රමවත් බවට, නියමානුකූල බවට පත්කරන, හරිගස්සනවා, හසුරුවනවා යන්න ය. මෙය Regularize ලෙස ද හැඳින්වීමට පුළුවන. මලලසේකර ශබ්ද කෝෂයට අනුව Regulation යනු නියමය, විධිය හෝ ව්‍යවස්ථාව ලෙස අර්ථ දක්වා තිබේ. එසේ ම Regulator යනු යන්ත්‍රයක වේගය පාලනය කරන උපක්‍රමය ලෙස හැඳින්වේ. මෙම වදන එක්සත් රාජධානියේ OXFORD ශබ්ද කෝෂයේ සඳහන් වන්නේ ද යමක් ක්‍රමවත් හා විධිමත්භාවයට පත්කර නිවැරදි මාර්ගයේ පවත්වාගෙන යාමට කරනු ලබන පාලනය ලෙස හැඳින්වේ. නමුත් Regulate හෝ Regularize  යන වදන තුළ යමක් පාලනය කිරීම හෝ පරිපාලනය කිරීම හෝ යන අර්ථය ගම්‍යමාන නොවන බව නූතන සන්නිවේදන විශේෂඥයෝ පවසති. පාලනය හෝ පරිපාලනය කිරීම යනු තම බලය යොදා යම් කිසි බලපෑමක් කරමින් නිවැරදි හෝ විධිමත් කිරීමේ ක්‍රියාදාමයකි. නැතිනම් බලය යොදා හසුරුවා ගැනීමේ ක්‍රමවේදයකි.
පාලනය කිරීම, දමනය කිරීම යන්න ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ Control යන නාමයෙනි. ඉංග්‍රීසියෙන් Administration යනු පරිපාලන හෙවත් සංවිධානය කරමින් ආයතනයක් පවත්වාගෙන යාමේ විධික්‍රමය වේ. ඒ සඳහා ද ආයතනගත හෝ සංවිධානගත නියමයන් හෝ නීතිරීති ආදිය යොදාගනු ලබති.
   එසේම ආධිපත්‍ය බලය, ශක්තිය හා අධිකාරී බලය පිළිබඳ ව ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ Authority යනුවෙනි. මෙම Authority  වදන තුළ ද ආණ්ඩුව හා පාලකයින්ගේ බලපෑම තුළින් අධිකාරී බලයක් ගොඩනැගීම යන්න අදහස් කෙරේ. එසේම Sensor  යන වදනේ තේරුම වාරණය කිරීම යන්න ය. මෙහි වාරණය යනු යම් කිසිවකුගේ බලපෑම මත, යමෙකුගේ බලය යෙදීම මත යම් කිසි ප්‍රකාශනයක කොටස් කපා ඉවත් කිරීම ය. එසේ නොමැති නම් තම ස්ව කැමැත්තෙන්ම කළ යුතු ප්‍රකාශය හෝ ලිපිය කොටසක් හෝ සම්පූර්ණයෙන්ම හෝ ඉවත් කරගැනීම ය.
මේ අනුව Control  (පාලනය), Administration  (පරිපාලනය),  Authority (ආධිපත්‍ය බලය), Sensor  (වාරණය) යන වදන් තුළ අඩංගුව පවතින්නේ රජයක් හෝ පුද්ගලයකු හෝ පුද්ගල කණ්ඩායමක් හෝ ආයතනයක් හෝ සිය බලය යොදා යම් කිසි දෙයක් පාලනය කිරීමට ප්‍රයත්න දැරීම යන්න ය.
නමුත් regulate  යන්න තුළ අඩංගුව පවතින්නේ නියාමන යන සරල අදහස ය. නියාමනය කිරීම යන අර්ථය ඉංග්‍රීසියෙන් දැක්වෙන්නේ Regulatory  යනුවෙනි. මෙම Regulatory  හෙවත් නියාමනය කිරීම යන්න තුළ බලය යොදා පාලනය කිරීම, බලපෑම් කිරීම, වාරණය කිරීම, බලෙන් පරිපාලනය කිරීම හෝ ආධිපත්‍ය බලය යෙදීම හෝ යන්න සිදු නොවේ. ඒ නිසා නියාමනය කිරීම යන්න ඉතාමත් සරල ව අර්ථ දක්වන්නේ නම් විනයවත් වූ, ආචාරධර්මානුකූල වූ, යහපත් වූ, වගකීම් සහගත ප්‍රවේශයකට මෙහෙයවීම හෝ හසුරුවාලීම යනුවෙන් හැඳින්වීමට පුළුවන.
සමාජයන් තුළ නියාමන කණ්ඩායම් ද දක්නට ලැබේ. එනම් පාසල, පන්සල, පල්ලිය, කෝවිල ආදී සමාජ ඒකකයන් යම් කිසි නියාමන කාර්යයක යෙදෙමින් සිසු දරුවන් මෙන්ම මහජනතාව යහපත් මාර්ගයට හසුරුවති. එමෙන්ම සංස්කෘතිය හා හුරුපුරුදු ආදිය ද නියාමන සහභාගීත්වයක් දක්වති.
මේ ආකාරයට මාධ්‍ය යහපත් ලෙස හසුරුවාලීමට Regulator  එකක් අවශ්‍ය වේ. මේ ආකාරයට මාධ්‍ය නියාමනය මගින් මාධ්‍ය සන්නිවේදනය මනා ලෙස හසුරුවාලීමට පුළුවන. මේ මගින් පාලනය, වාරණයක් සිදු නොවේ. සිදු වන්නේ යහපත් ලෙස හසුරුවාලීම පමණකි.



    ආශ්‍රිත වෙබ් අඩවි
   


 
 පැතුම් ශ්‍රී විජේරත්න (SC/PG/MAMM/2016/2017/10)