Pages

Wednesday, January 1, 2020


මලයාලම් සිනමාව අපිට  හරියන සිනමාවක් ද ?



මහා වංශයේ සිට ඓතිහාසිකවද, පන්සිය පනස් ජාතක පොතේ සිට ආගමික අර්ථයෙන් ද, අවුරුදු සිය ගණනක් මුළුල්ලේ ම අප විසින් ප්‍රභන්ධ කතා කියමින් ද, අසමින් ද, නැවත නැවත ප්‍රභාන්ධ කරමින් ද  සිටියි. වර්තමානය වනවිට රටේ ප්‍රධාන පුරවැසියා ගේ සිට කසල ශෝධකයා දක්වා ද ප්‍රභ්න්ධාත්මක කතා කියමින් සිටියි. මෙය අප රටේ පමණක් නොව, වැඩි ඈතක නොයා සොයා බැලූ කල අපට අල්ලපු රට වන ඉන්දියාවේ ද කිසිදු වෙනසක් නොමැතිව එකසේ  ඓතිහාසිකව සිදුවෙමින් පවතී.

නමුත් ඉන්දියාව විසින් මෙම ප්‍රභන්ධ කතාව කර්මාන්තමය ස්වභාවයෙන් යුතුව, කලාත්මක අයුරින්, ඉතා ශූර ලෙස ටෙලිවිෂනය තුළත්, සිනමාව තුළත්, රූපමය අවකාශය තුළ ප්‍රතිනිර්මාණය හෙවත්, ප්‍රතිනිෂ්පාදනය කරන්නේ කෙසේද ? යන්න පිළිබඳව අවබෝධ කොටගෙන තිබෙයි. නමුත්, ශ්‍රී ලාංකිකයන් ලෙස අඩුම තරමින් තම පවුලේ සාමාජිකයින් හතර පස් දෙනා හටවත් නැරඹිය හැකි ප්‍රභන්ධයක් ගොඩනැගීමට අපොහොසත් වී සිටියි. විශේෂයෙන් ම මේ වන විට ඉතා දැඩි අර්බුදයකට ලක් වී තිබෙන සිනමා කර්මාන්තය තුළ, සිනමාත්මක ව ප්‍රභන්ධ ගොඩනගන්නේ කෙසේද ? යන්න පිළිබඳවත්, කර්මාන්තමය ස්වරූපයක් තුළ පිහිටා වඩා වැඩි ප්‍රේක්ෂක සංඛ්‍යාවකට රසවින්දනය ලබා දිය හැකි අන්දමේ කලාත්මක වූත්, වින්දනීය වූත්, ප්‍රභන්ධ ආකෘතීන් ගොඩනගන්නේ කෙසේද ? යන්න පිළිබඳවත්, මේ මොහොතේ වැඩි වැඩියෙන් සොයා බැලිය යුතුය, එසේම අධ්‍යනය කළ යුතුය.

ඉන්දියාවේ කේරලය (ත්රිවන්දෘම් සහ කෝචි) පදනම්ව ගොඩනැගෙන මලයාලම් සිනමා කර්මාන්තය මේ සඳහා අධ්‍යනය ට යොදාගත හැකි හොඳම උදාහරණයක් ලෙස පෙන්වා දිය හැක.

2019 වසරේ දී මධූ සී. නාරායනන් විසින් අධ්‍යක්ෂණය කරන ලද " කුම්බලන්ගි නයිට්ස් " නම් චිත්‍රපටය ඉන්දියානු රුපියල් කෝටි 6.5ක් වියදම් කරන ලද අතර, එය ප්‍රදර්ශනය කර ලබාගත් සමස්ත ආදායම ඉන්දියානු රුපියල් කෝටි 39 කි. නිෂ්පාදකවරු සතර දෙනෙකි.




මෙවැනි උදාහරණ මලයාලම් සිනමා කර්මාන්තය තුළ ඕනෑ තරම් හමුවන අතර, " කුම්බලන්ගි නයිට්ස් " මේ අතරින් උපුටා දැක්වීම ට හේතුව වනුයේ අපේ රටේ සිනමාකරුවන් ( විශේෂයෙන්ම විශ්ව විද්‍යාල ඇසුරේ සහ සිනමා පාසල් වලින් බිහිවූ තරුණ රැඩිකල් මතධාරී සිනමාකරුවන් ) සම්භාව්‍ය සිනමාව සහ වාණිජ සිනමාව ලෙස බෙදා වෙන්කර ගනිමින්, මෙය කර්මාන්තයක් ලෙස අවබෝධ කොට නොගෙන, කර්මාන්තයක් තුළ, කර්මාන්තය ප්‍රතික්ෂේප කරමින් තම සිනමා කෘතීන් අත්හදා බලන්න ට ගන්නා උත්සාහය ඉතා අත්තනෝමතික අයුරින් උත්කර්ශයට නංවනු පෙනෙන නිසාය. එනිසා ම "කුම්බලන්ගි නයිට්ස් " යනු අපේ රටේ සිනමාකරුවන් විසින් නැරඹිය යුතුම සිනමාපටයක් ලෙස යෝජනා කළ හැක.


මේ මොහොතේ ඉන්දියාවේ දේශපාලන, ආර්ථික, ආගමික, සංස්කෘතික, සමාජ වටපිටාව පිළිබඳව ඉතා සියුම් ව හා ගැඹුරින් විග්‍රහ කරමින්, එක් පවුලක පිරිමි සහෝදරයන් හතර දෙනෙකු වටා ගොතා ඇති ප්‍රභන්ධය, වඩා සිනමාරුපී ව, සිනමා සාහිත්‍ය ඔස්සේ  "ෂාම් පුෂ්කරන්" ඉතා ශූර ලෙස රචනා කර තිබෙන අන්දමත්, එය වාණිජමය ලක්ෂණ වලින් සියයට පනහකුත්, කලාත්මක ලක්ෂණ වලින් සියයට පනහකුත් සහිතව කර්මාන්තය තුළ වඩා ප්‍රගතිශීලී ප්‍රතිනිෂ්පාදන ක්‍රියාවලියක ට දායක වී ඇති අන්දම වඩා විචක්ෂණශීලීව විමසා බැලීම මේ මොහොතේ ලාංකේය චිත්‍රපට කර්මාන්තයේ නියැලෙන සියලු දෙනා විසින් කළ යුතුය, යන්න මගේ හැඟීමයි. ඒ සඳහා අවශ්‍ය තොරතුරු පහත පරිදි උපුටා දක්වා ඇත. 

https://www.youtube.com/watch?v=3P4BFBSafF0


(මෙම  ලිපිය හුදෙක් පුද්ගලික මතයකි.)    

අතුල ජයසිංහ,
කේ.ඒ.කේ. ජයසිංහ,
SC/MAMM /2018/2019/21
  

0 comments:

Post a Comment