Pages

Saturday, June 15, 2019

අධ්‍යාපනය යනු කුමක්ද?


                                                       අධ්‍යාපනය යනු කුමක්ද?




Education  යන ඉංග්‍රීසි වචනය අධ්‍යාපනය යනුවෙන්  සිංහල භාෂාවේ කියැවේ. Education යන ඉංග්‍රීසි වචනය බිඳී ඇත්තේ ලතින්  භාෂාවේ  Educare යන පදයෙනි. මෙම ලතින් වචනයෙන් ගම්‍ය වන්නේ ඉවතට යාම (To lead out) නැතහොත් පිටතට මතු  කරදීම යන්නයි.





Educere - මඟ පෙන්වීම හෝ එළියට ගැනීම
   
Educare - ඇතිදැඩි කිරීම, සාරය එළියට ගැනීම 
                                
Educo -  ඉදිරියට යොමු කිරීම

Education -  ඉගැන්වීමේ ක්‍රියාවලිය

 මෙලෙස Education යන වචනයෙහි නිරුක්තිය පිළිබඳ අදහසක් දැක්විය හැකිය.

"අධ්‍යාපනය යනු මිනිසාගේ කායික, මානසික, සමාජයීය, සංස්කෘතික,  සදාචාරාත්මකාත්මක, ආධ්‍යාත්මික වශයෙන් සහජ ශක්තීන් නොනවත්වා වර්ධනය කරන්නාවූ නිත්‍ය ක්‍රියාවලියකි." 
                                                                                                                               V. R. Taneja





අධ්‍යාපනය යනු  ඉතා   සංකීර්ණ සංකල්පයකි. අතීතයේ සිට මේ දක්වා  මිනිසා  අධ්‍යාපන ක්‍රියාවලියෙහි නිරතව  සිටියි.

විවිධ නිර්වචන වල ස්වභාවය අනුව අධ්‍යාපනය යන සංකල්පය පිළිබඳ ඇති අදහස් කලින් කලට වෙනස්විය හැකි බව  අධ්‍යනය කිරීමේදී පැහැදිලි වෙයි.
" අධ්‍යාපනය යන්න කුමක්දැයි සෙවීමට දරන ප්‍රයත්නය කාලය නාස්තිවන නිෂ්ඵල කාර්යයක්"  ලෙස  ලෙස්ටර් ස්මිත් විස්තර කරයි.   
  
එමෙන්ම අධ්‍යාපන සංකල්පය  සංකීර්ණ වීමට ප්‍රධාන සාධක හතරක් බලපාන බව  J. C. aggrwal  පෙන්වා දෙයි. 

1.   පුද්ගලයන්ගේ පෞරුෂත්වයේ පවතින විවිධ
2.   පරිසරයේ පවතින විවිධතා
3.   ජීවිතය පිළිබඳ ඇති විවිධතා
4.   විවිධ අධ්‍යාපනික න්‍යායන් හා ව්‍යවහාරයන්

 "අධ්‍යාපනය රටින් රට සංස්කෘතියෙන් සංස්කෘතියට පමණක් නොව කලින් කලට ද වෙනස් වේ."





අධ්‍යාපනය සමාජ වෙනස්වීම් පසුපස යන අතර අධ්‍යාපනය විසින්ද සමාජය වෙනස් කරනු ඇත.

M. D. B. Prasad Weerasinghe
SC/MAMM/2018/2019/10

Monday, June 10, 2019

නව මාධ්‍ය පඨීතයන් සබැඳි ත්‍රිමාණික අතථ්‍යාසන්න යථාර්තය .......(New Media Text and 3D, Virtual Reality.)


අද්‍යතනය වන විට නව මාධ්‍ය පඨීතයන් සඳහා  අන්තර්ගතයන් නිර්මාණය කිරීමේදී එහි නව ප්‍රවනතාවන්  සඳහා අවධානය යොමු කිරීම වැදගත් වේ.පැරණි මාධ්‍යන් හී පැවති දුර්වලතාවන් නව මාධ්‍යන් හී  දක්නට නොමැත.එනම් පඨීතයන් නැරබීමේදී අද්‍යතනය වන විට  එය වඩාත්  අන්තර්ක්‍රියාකාරිත්වයකින් යුක්තව නැරබීමේ හැකියාව, ප්‍රතිචාර  දැක්වීමේ හැකියාව නව මාධ්‍ය තුළ ගැබ්ව ඇත.

3D Visualization
           Facebook වැනි සමාජ ජාලා වෙබ් අඩවි අද්‍යතනය වන විට සිය ප්‍රදර්ශනයන් (POST) දිරිපත් කිරීම සදහා ග්‍රාහකයන් සහ සන්නිවේදකයන් හට ත්‍රිමාණ තාක්ෂණය උපයෝගී කර ගැනීමේ අවස්ථාව උදාකර දී ඇත. එනම්, ත්‍රිමාණිකව සකස් කරන ලද 3mb පමණ වන ත්‍රිමාණ අනුරුවක් Facebook වැනි සමාජ ජාලා වෙබ් අඩවියක් මගින් ප්‍රදර්ශනය කිරීම තුළින් ලබාදෙන පණිවිඩය අන්තර් ක්‍රියාකාරීත්වයකින් යුත් පණිවිඩයක් ලෙස ලබා දීමේ හැකියාව අද්‍යතනය වන විට උදාවී ඇත. එනම්, ග්‍රාහකයන් හට එම ත්‍රිමාණ අනුරුව පරිනාමනය කිරීම මගින් එනම්, කැරකැවීම, ස්ථානීය වෙනස්කම් කිරීම මගින් එම පඨීතයේ ඇති ආකර්ශණීය බව දියුණු කිරීමේ හැකියාව උදාවී ඇත. එමගින් නව මාධ්‍ය පඨීතයන් මෙන්ම නව මාධ්‍ය ඉලෙක්ට්‍රෝණික වෙළදාම් ශ්‍රේත්‍රයටද මෙම තාක්ෂණික  නව සොයා ගැනීම මනා පිටුවහලක් වේ. එනම්, ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් අන්තර් ක්‍රියාකාරීත්වයකින් යුක්තව, සජීවීව, සමීපව සහ සවිස්තරාත්මකව නැරබීමේ හැකියාව මගිනි.







Instant 3D Photography

           එමෙන්ම, සමාජ ජාලා වෙබ් අඩවියන් හි ඇති තවත් නව ප්‍රවනතාවක් වනුයේ සුහුරු (Smart)  දුරකථන හි ඇති කැමරා ද්විත්වයක් භාවිත කොට එක්වර ජායාරූප ද්විත්වයක් ලබා ගැනීම මගින් නිපදවා ගනු ලබන Depth map ජායාරූපයක් මගින් සන්නිවේදකයන් හට සිය ප්‍රදර්ශනයන් ත්‍රිමාණව ප්‍රදර්ශනය කිරීමේ හැකියාවයි. 
එමගින් ග්‍රාහකයන් හට ප්‍රදර්ශනයන් වඩාත් සමීපතවත් සහ ගවේශණශීලීවත් නැරබීමේ හැකියාව අනාගතයේදී උදාවනු ඇත. 









          අතථ්‍යාසන්න යථාර්තය එසේත් නොමැති නම් VR - Virtual reality තාක්ෂණය ග්‍රාහකයන්ට ලගා කර දීම මෙහි මුඛය පරමාර්ථය වේ. මෙම නව මාධ්‍ය ත්‍රිමාණික නව ප්‍රවනතාවන් ද්විත්වයම මගින් මාධ්‍ය පඨීත නිර්මාණය ආකර්ශණීත්වය, සමීප සහ ගවේශණ ශීලීව නැරබීමේ හැකියාව මෙහි ඇති සුවිශෙෂී ලක්ෂණයක්  බවට පෙනී යයි. 




Neil Cooray

SC/MAMM/2018/2019/19
Masters in Mass Media Studies 2018/2019 

Sunday, May 12, 2019

නව මාධ්‍ය භාවිත හා අදාළ පඨිත සඳහා අන්තර්ගතය නිර්මාණය කිරීම
                   (Content creation for relevant texts in New Media)

       
සාම්ප්‍රදායික (Traditional) / පැරණි (Old)  මාධ්‍ය තුළ භාවිත වන අන්තර්ගතයන් නව මාධ්‍ය තුළ භාවිත කළ හැකි ආකාරයට සකස් කළ හැක්කේ කෙසේද? 

බටහිර ලෝකයේ බොහෝ රටවල් මෙන්ම ආසියාතික කලාපයේ බොහෝ රටවල් ද (නිදසුන්: ඉන්දියාව සිංගප්පූරුව වැනි රටවල්) නව මාධ්‍ය (New Media) භාවිතය ඔස්සේ අන්තර්ජාලය පදනම් කොටගත් සන්නිවේදන ක්‍රියාවලියකට අවතීර්ණ වී ඉන් කාර්යක්‍ෂම ලෙස ප්‍රතිඵල අත්පත් කර ගෙන සිටිති. නමුත් ශ්‍රී ලාංකේය සමකාලීන සන්නිවේදන ක්‍රියාවලීන් සමස්තයක් ලෙස ගෙන අධ්‍යයනය කරන විට පෙනීයන ප්‍රධාන කරුණ වන්නේ, ශ්‍රී ලංකාවේ සෑම භූගෝලීය කලාපයක් තුළ ම සාම්ප්‍රදායික, එසේත් නැතිනම් පැරණි මාධ්‍ය (Old Media) භාවිතයෙන් සිදු කරනු ලබන සන්නිවේදනයට සාපේක්‍ෂව අන්තර්ජාලය පදනම් කරගත් සන්නිවේදන ක්‍රියාවලියක් සාර්ථකව සිදු නොවන බවය. මෙයට විවිධ හේතූන් බලපෑ හැකිය. තාක්‍ෂණයේ අඩුලුහුඩුකම්, පරිගණක හෝ අන්තර්ජාල සාක්‍ෂරතාවේ අඩුපාඩුකම්, ලේඛන ශෛලීයේ ඇති පරස්පරතා මෙන්ම අන්තර්ජාල මාධ්‍ය නිසිලෙස තේරුම් නොගැනීම යන කරුණු මූලිකව හඳුනාගත හැකි ගැට`ඵ ලෙස පෙන්වා දිය හැකිය. මෙම කාරණා නව මාධ්‍ය හා අදාළ පඨිත සහ අන්තර්ගතයන් නිර්මාණය කිරීමේදී (Content creation) ඝෘජුවම බලපානු ලබයි. 

එනමුත්, නාගරික මට්ටමින් ඔබ්බට යමින් අර්ධ නාගරික සහ ග්‍රාමීය සමාජවල තවමත් සාම්ප්‍රදායික සන්නිවේදන ක්‍රමවේද හෙවත් පැරණි මාධ්‍යයන් ප්‍රබල සන්නිවේදනාත්මක බලපෑමක් සිදු කරනු ලබන බව ද අපට අධ්‍යයනය කළ හැකිය. නිදසුන් ලෙස: පුවත්පත් මූලික කොටගත් මුද්‍රිත මාධ්‍ය, රූපවාහිනිය සහ ගුවන් විදුලිය ඇතු`ඵ විද්‍යුත් මාධ්‍ය ආදිය පෙන්වා දිය හැකිය. එවන් පසුබිමකදී පැරණි මාධ්‍ය මගින් නිර්මාණය කරනු ලබන අන්තර්ගතයන් නව මාධ්‍යන්හි භාවිත කළ හැකි ආකාරයට සංස්කරණය කිරීම හෝ ප්‍රති නිර්මාණය කිරීම හෝ එසේම, එම අන්තර්ගතයන් භාවිත කළ හැකි නව මාධ්‍යයන් මොනවාද? යන්න පිළිබඳව විමර්ෂණය කිරීම සමකාලීන සන්නිවේදන ක්ෂේත්‍රය තුළ සිදු කළ යුතු වැදගත් අධ්‍යයනයකි. සාම්ප්‍රදායික නැත්නම් පැරණි මාධ්‍ය අන්තර්ගතයන් වුව ද නව මාධ්‍යයට ගැලපෙන ලෙස සකස් කිරීම මගින් වඩාත් කාර්ක්‍ෂම සන්නිවේදන ක්‍රියාවලියක් වෙත ග්‍රාහක ප්‍රජාව යොමු කරවිය හැකිය. එම ක්‍රම පිළිබඳව මීළඟට විමසා බලමු.

Images / Photo Journalism 

නව මාධ්‍ය සමග අන්තර්ක්‍රියා සිදු කරනු ලබන ග්‍රාහක ප්‍රජාව නිරන්තරයෙන් වඩාත් සවිස්තරාත්මක අන්තර්ගතයන් මගහැර ඉතා කෙටි නමුත් සියලු තොරතුරු නිසිලෙස කැටිවුණු සංක්‍ෂිප්ත අන්තර්ගතයන් කෙරෙහි වැඩි නැඹුරුතාවක් පෙන්වයි. විශේෂයෙන්ම ඡායාරූප මූලික කරගත් සන්නිවේදනය - Photo Journalism ඉන් ප්‍රධාන වේ. ප්‍රවෘත්ති හෝ යම් විශේෂ තොරතුරු ඡායාරූප අනුසාරයෙන් ඉදිරිපත් කිරීම (Publish) සහ බෙදාහදා ගැනීම/ ප්‍රකාශයට පත් කිරීම (Share) මේ වනවිට ඉතාම ජනප්‍රිය සන්නිවේදන මාදිලියකි (Model).




ඒ සඳහා නව මාධ්‍යයක් ලෙස Instagram සහ Pinterest  වැනි අන්තර්ජාල අවකාශ (Online platforms) නිර්මාණය වී තිබේ. පුවත්පත්, සඟරා වැනි යම් පැරණි මාධ්‍යයක පළවුණු ප්‍රවෘත්ති විශේෂාංගයක හෝ විශේෂාංග ලිපියක හෝ වෙනත් ලේඛනයක හෝ භාවිත කළ ඡායාරූපයක් ඉතා කෙටි වාක්‍ය කිහිපයක් අනුසාරයෙන්  සටහන් කොට share කිරීමේ හැකියාව මින් සන්නිවේදකයාට හිමිවේ. ලොව පුරා විවිධ භාෂා භාවිතයෙන් සන්නිවේදනයේ නියැළෙන බොහෝ මාධ්‍යවේදීහු මෙම රූප-කතා (Picture stories) බහුලව භාවිත කරනු විමර්ෂණය කළ හැකිය. ඇත්තෙන්ම මෙවැනි නව මාධ්‍ය භාවිත කරන සෑම කෙනෙකුම සන්නිවේදකයකු බවට පත්වේ. එනම්, ජනමාධ්‍යවේදියකු (Journalist), පුවත්පත්කලාවේදියකු/සංස්කාරක (Editor), රචකයකු (Writer), ඉදිරිපත්කරන්නකු (Presenter)  අත තිබූ සන්නිවේදක හැකියාව සහ සන්නිවේදක ගුණය සාමාන්‍ය සිවිල් ජනතාව (Mass)  අතට පත්වීම මෙම නව මාධ්‍ය මගින් සන්නිවේදන ක්‍රියාවලිය තුළ සිදු කළ ප්‍රධානතම වෙනසකි. 

Infographics 

පිටු කිහිපයකින් යුතුව රචනා කරන ලද විශේෂාංගයක් හෝ ප්‍රවෘත්ති විශේෂාංගයක් සාම්ප්‍රදායික හෙවත් පැරණි මාධ්‍ය තුළ සුලභ අංගයකි. නමුත් නව මාධ්‍ය තුළ මෙවැනි තොරතුරු සම්පාදනය සඳහා රූපමය තොරතුරු කතා ස්වරූපය හෙවත් infographics භාවිත කරනු ලබයි. විශේෂයෙන්ම සෞඛ්‍ය, තොරතුරු තාක්‍ෂණ-පරිගණක, විගණන, කෘෂිවිද්‍යා, ඉංජිනේරු ආදී බොහෝ ක්ෂේත්‍රවල තොරතුරු නව මාධ්‍ය ඔස්සේ සම්පාදනය කිරීම සඳහා මෙම infographics  මාදිලිය භවිත කරනු ලැබේ. පඨිතය (Text) නැත්නම් අන්තර්ගතය (Content) වාක්‍ය කිහිපයකට සීමා වීම සහ රූප, වගු, ප්‍රස්තාර ආදිය භාවිත කරමින් සංකීර්ණ තොරතුරු සරල ආකාරයකින් ඉදිරිපත් කිරීම සිදුවේ.


Blogging 

පුවත්පත් වාර සඟරා ආදියේ රචිත විවිධ ලිපි නූතන මාධ්‍ය භාවිතයේදී සන්නිවේදකයින් විසින් සටහන් තබනු ලබන්නේ blogsවලය. ලොව පුරා ලේඛකයින්, විද්‍යාඥ හෝ තාක්‍ෂණ ශිල්පීන්, මාධ්‍යවේදීන්, විවිධ වෘත්තිකයින් මෙන්ම සාමාන්‍ය පාඨක ප්‍රජාව විසින් blogs රචනා කිරීම සිදු කරනු ලබයි. එවැනි විවිධ වෘත්තීන් හා අදාළ පිරිස අතර මෙන්ම විශේෂයෙන්ම ගෝලීය තරුණ ප්‍රජාව අතර ඉතාම ජනප්‍රිය නව මාධ්‍ය මාදිලියකි. Chronological order එකකට සටහන් තබන blog, නියාමනයකින් තොර සන්නිවේදනයකට අවස්ථාව හිමිකර දෙන නව මාධ්‍යයකි. සාම්ප්‍රදායික හෝ පැරණි මාධ්‍යයක වූ යම් සටහනක්, ලිපියක් blog එකක ද එලෙසින්ම පළකිරීම මගින් වැඩි පාඨක පිරිසකගේ අවධානයට යොමු කළ හැකිවාක් මෙන්ම ඝෘජු ප්‍රතිපෝෂණයක් (Direct feedback) ද ලබාගත හැකිලෙස පාඨක පිරිසගේ සහභාගිත්වය ද හිමිකරගත හැකිය. ඇතැම් අවස්ථාවල පිටුවල ප්‍රමාණය නිසා හෝ වචන සීමා නිසා සංස්කරණය වන යම් ලිපියක පූර්ණ විස්තරය දැඩි සංස්කරණයකන් තොරව ආකර්ෂණීය අයුරින් සකස් කොට ඉදිරිපත් කිරීමේ නිදහස blog post එකක් ලෙස යළි සැකසීමේදී රචකයාට හෝ ප්‍රකාශකයාට හිමිවේ. Share කිරීමේ හැකියාව එම article එකට ඉහළ වටිනාකමක් ද ලබාදෙයි.



Podcasts and Audiobooks     
ගුවන් විදුලි වාර්තා වැඩසටහන්/ සංගීත වැඩසටහන්/ විද්වත් සාකච්ඡා/ ප්‍රවෘත්ති/ කාලීන කතාබහ ආදී වූ අංගෝපාංගයන්ගෙන් හෙබි ගුවන් විදුලිය පරිකල්පනීය හැකියාවන් වර්ධනය කරනු ලබන ඉතා වැදගත් පැරණි මාධ්‍ය ප්‍රභේදයකි. ගුවන් විදුලි මාධ්‍ය භාවිතයෙන් සම්ප්‍රේෂණය කරනු ලබන පඨිතයන් වුව ද වැඩිදුර තොරතුරු සම්පාදනය වෙනුවෙන් හෝ අධ්‍යයන මූලාශ්‍ර (Studying materials) ලෙස හෝ මූලාශ්‍ර (References) ලෙස හෝ නැවත විකාශය කිරීමේ අවකාශය නව මාධ්‍ය ඔස්සේ මාධ්‍යවේදියාට හිමිවේ. එවැනි නව මාධ්‍ය භාවිතයක් ලෙස podcasts පෙන්වාදිය හැකිය. එවැනි podcasts විවිධ web sites හෝ i-tunes හෝ Google play  ඔස්සේ බාගත (Download) කළ හැකි අතර ඒවා නැවත නැවත පරිශීලනය කිරීමේ අවස්ථාව ද (References) හිමිවේ.

එහිම දිගුවක් ලෙස හඳුන්වා දිය හැකි නව මාධ්‍ය අංගයක් වන්නේ audio books ය. වැදගත් මාධ්‍ය භාවිතාවක් වන audio books මගින් යම් රචනාවක්, විචාරයක්, ග්‍රන්ථයක් හෝ වෙනත් ලේඛනයක් එහි අන්තර්ගත පඨිතය, කථිකයකු (Narrator) යොදා ගනිමින් හඬකවා, You Tube, Sound cloud වැනි අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සිදු කරනු ලබයි. ඇතැමුන් අදාළ පඨිතයේ තොරතුරු වඩාත් සාර්ථක අයුරින් සම්පාදනය සඳහා ග්‍රෆික් රූප (CG) ද භාවිත කරන ආකාරය නිරීක්‍ෂණය කළ හැකිවේ.



නව මාධ්‍ය සඳහා පැරැණි මාධ්‍ය ඔස්සේ මුදාහරිනු ලබන පඨිත සංස්කරණය (Edited texts) කිරීම හා සමානවම නව මාධ්‍ය හා අදාළව නව පඨිත (Newly created texts) නිර්මාණය කිරීම ද වැදගත් වේ. බොහෝවිට නව මාධ්‍ය සඳහා පැරණි මාධ්‍යයේ පළ වූ සටහන් සහ නව තොරතුරු ඇතුළත් නව පඨිත සම්මිශ්‍රණයක් ලෙස භාවිත කරන ආකාරය ශ්‍රී ලාංකික සමකාලීන මාධ්‍ය භාවිතාව තුළ මෙන්ම බොහෝ බටහිර මාධ්‍ය ආයතන ද භාවිත කරන ආකාරය අධ්‍යයනය කළ හැකිය. එහිදී වැදගත්වන ක්‍රමවේද සැකෙවින් විමසා බලමු.

Media Mix and media Integration



නව මාධ්‍ය සාක්‍ෂරතාව ඉහළ අගයක් ගනු ලබන යුරෝපියන් රටවල් පවා පැරණි මාධ්‍යවලින් බැහැරට නොයන අවස්ථා බහුලව විමර්ෂණය කළ හැකිවේ. 

අමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපියන් රටවල් සිය ජනමත විචාරණ සහ ඡන්ද විමසීමේ කාලසීමාවන්වලදී සිය සැලසුම් සහ ක්‍රමෝපායන් (Strategies) මෙන්ම සිය දැක්ම සහ මෙහෙවර (Vision and Mission) ජනගත කිරීම සඳහා නව මාධ්‍ය සහ පැරණි මාධ්‍ය මිශ්‍ර කරගත් සමෝධානික ක්‍රමවේදයක් (Integrated method) අනුගමනය කරනු ලබයි. ඔවුන්ගේ ප්‍රධානතම සටන් පාඨ Posters, Hoardings, Cutouts, leaflets, flags, Designed stages, Backdrops මෙන්ම TV, Radio, Cinema, Outdoor trucks ආදිය භාවිත කරමින් දියත් කරනු ලබන අතර ඒ සමගම ඒ හා සමගාමීව Twitter, Facebook, Instagram, linked in, YouTube, Blogs, web sites පදනම් කරගත් විචාර සහ දැන්වීම් විස්තර (Webitorials ලෙස දැක්විය හැකි) ආදී මාධ්‍ය මිශ්‍රණයක් (Media Mix) භාවිත කරමින් දැවැන්ත ප්‍රචාරණ ක්‍රමවේදයක් අනුගමනය කරනු ලබයි. බොහෝවිට ඒවා පාරජාතික මාධ්‍ය සහ ගෝලීය මාධ්‍යවල මැදිහත් වීම මත මහද්වීප අතික්‍රමණය කරමින් (Cross boarders) සහ සංස්කෘතීන් අතික්‍රමණය කරමින් (Cross cultural) ලොව පුරා සංක්‍රමණය වීම සිදුවේ. 

සමකාලීන මාධ්‍ය නිෂ්පාදන පරිභෝජනය කරනු ලබන ග්‍රාහක ප්‍රජාව ගෝලීය වශයෙන් වුව ද තවමත් පැරණි මාධ්‍ය පරිහරණය කරනු ලබන අකාරය අධ්‍යයනය කළ හැකිවේ. පාර ජාතික මධ්‍ය (Transnational media) හෝ ගෝලීය මාධ්‍ය (Global media) නිර්මාණය කරන සහ එම මාධ්‍ය භාවිතාවන් කෙරෙහි වැඩි නැඹුරුතාවක් දක්වන අමෙරිකා එක්සත් ජනපදය පවා තවමත් පැරණි මාධ්‍ය භාවිත කරනු ලබයි. Donald Trump පවා ඔහුගේ 2016 ජනාධිපතිවරණ ප්‍රචාරණ ක්‍රියාවලියේදී (Presidential campaign) Poster campaigns බහුල වශයෙන් භාවිත කරන ලදී. 
 

වර්තමාන ගෝලීය දේශපාලන-ආර්ථික වපසරිය තුළ ආන්දෝලනාත්මක මතවාදයන්ට තුඩු දුන් සිදුවීමක් වන බි්‍රතාන්‍ය යුරෝපීය සංගමයෙන් ඉවත්වීම හා අදාළ Brexit සිදුවීම පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිටින බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ අගමැතිනිය වන Theresa May විසින් ද සිය අදහස් ඝෘජුව සහ වඩාත් පැහැදිලි අයුරින් ජනගත කිරීමට posters ප්‍රධාන කරගත් මුද්‍රිත මාධ්‍ය (Print media) වඩාත් කාර්යක්‍ෂම (Efficient) සහ ඵලදායී (Effective) අයුරින් භාවිත කළ ආකාරය ද විමර්ෂණය කළ හැකිවේ.


පහත රූපසටහන මගින් මාධ්‍ය මිශ්‍රණය මැනවින් විග්‍රහ කරනු ලබයි. නව මාධ්‍ය-සමාජ මාධ්‍ය භාවිතය ප්‍රමාණාත්මකව ඉහළ මට්ටමකට පැමිණිය ද සන්සන්දනාත්මකව බලන කළ ප්‍රමාණාත්මකව යම් ප්‍රතිශතයකින් සාම්ප්‍රදායික-පැරණි මාධ්‍ය ප්‍රභේද ද සන්නිවේදනයේදී හෝ ප්‍රචාරණයේ දී යොදා ගැනීමට උපාය මාර්ගික සැලසුම්කරුවන් (Strategic planers)  ක්‍රියාකරන බව මින් පැහැදිලි වේ.


ගෝලීය නායකයින් පවා මෙම මාධ්‍ය මිශ්‍රණය භාවිත කරනු ලබන්නේ තවමත් පැරණි මාධ්‍යවල යම් සාක්‍ෂරතා මට්ටමක් පවතින නිසාත් විවිධ හේතූන් මත ග්‍රාහක ප්‍රජාව මු`ඵමනින්ම පාහේ පැරණි මාධ්‍යවලින් විකර්ෂණය නොවීම නිසාත් බව මේ අනුව අපට නිගමනය කළ හැකිවේ.

මෙවැනි වාතාවරණයක් යටතේ ශ්‍රී ලාංකේය මාධ්‍ය තුළ ද වර්තමානය වනවිට මෙම ප්‍රවණතා ඉස්මතු වෙමින් පවතින බව අධ්‍යයනය කළ හැකිය. නිදසුනක් ලෙස: විල්පත්තු වන සංහාරය පිළිබඳව ඉංග්‍රිසි මාධ්‍යයෙන් නිකුත් කරන ලද විවිධ පඨිතයන් ගෝලීය මාධ්‍ය විසින් පතුරුවා හරින (Share) ලද ආකාරය පෙන්වා දිය හැකිය. ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් මෙන්ම විවිධ බ්ලොග් රචකයන් විසින් මෙම පාරිසරික ගැට`ඵවේ විවිධ පැතිකඩ විචාරාත්මක අයුරින් අන්තර්ජාලය ඔස්සේ පතුරුවා හරින ලද අතර ඒවා මූලාශ්‍ර කර ගනිමින් විවිධ බටහිර මාධ්‍ය සහ බ්ලොග් රචකයින් විසින් මේ පිළිබඳ විමර්ෂණය කිරීම් සිදු කරන ලදී.   

New media and Advertising 

වෙළෙඳ ප්‍රචාරණය හෙවත් දැන්වීම්කරණය ගෝලීය වෙළෙඳපොළ (Global Market) තුළ පවතින තීරණාත්මක සාධකයකි. ගෝලීයකරණය (Globalization) සහ විශ්ව ගම්මාන සංකල්පය (Global Village) පිළිබඳ අවධානය යොමු කරන විට වෙළෙඳ ප්‍රචාරණය යනු ගෝලීය සමාජ වෙනස් කිරීම සිදු කරනු ලබන ප්‍රවාහයක් ලෙස ද හඳුනාගත හැකිය. සමකාලීන වෙළෙඳ ප්‍රචාරණ කලාවන් අධ්‍යයනය කරන විට පෙනී යන්නේ එම උපාය මාර්ග හෙවත් ක්‍රමෝපායන් (Strategies), මතවාද (Opinions), සැලසුම් (Plans) සහ ක්‍රමවේද (Methodologies) ආදිය සහ නව මාධ්‍ය අතර අත්‍යන්ත සබඳතාවක් පවතින බවයි. 

වෙළෙඳ ප්‍රචාරණ ක්‍රියාදාමයන් නිරන්තරයෙන්ම පාහේ නව මාධ්‍ය භාවිත කරනු ලබයි. මීට ප්‍රධාන හේතුවක් ලෙස පෙන්වා දිය හැක්කේ වෙළෙඳ ප්‍රචාරණය සැමවිටම යාවත්කාලීන වූ මාධ්‍ය භාවිතාවක නිරත වීමය. වෙළෙඳපොළ සහ ප්‍රචාරණය එකිනෙකින් ස්වායත්ත වන අතර ප්‍රචාරණ සහ නව මාධ්‍ය ද එකිනෙකින් ස්වායත්ත වේ. ඒ අනුව මේ එක් එක් සාධකයක් සිය ප්‍රබලත්වය මත අනෙක් සාධකය හා අන්තර් ක්‍රියා පවත්වනු ලබන ආකාරය අධ්‍යයනය කළ හැකිය.

නව මාධ්‍ය නිරන්තරයෙන් ග්‍රාහක ආකර්ෂණය හිමිකර ගන්නේ එහි ඇති සජීව බව නිසා බව අනුමාන කළ හැකිය. නිතර යාවත්කාලීන වන සංහතික පඨිත (Mass texts) මෙන්ම ඒවාට එසැණ සිදු කළ හැකි ප්‍රතිචාර දැක්වීම් (Live feedback/ comment) මෙම නව මාධ්‍ය වෙත විශේෂයෙන්ම තරුණ (Youth) සහ යෞවන (Teenagers) ප්‍රජාව වැඩි ප්‍රතිශතයකින් ආකර්ෂණය වීම කෙරෙහි ඝෘජුවම බලපානු ලබන කාරණාවකි. එසේම, සිය අදහස් වාස්තවික වුව ද පෞද්ගලික වුව ද නියාමනයකින් තොරව ඉදිරිපත් කිරීමේ අවස්ථාව ද නව මාධ්‍ය විසින් හිමිකර දෙනු ලබයි.


වෙළෙඳ ප්‍රචාරණයේදී මෙම ග්‍රාහක නැමියාව අතිශය වැදගත් කාර්ය භාරයක් ඉටු කරනු ලබයි. සමකාලීන භාණ්ඩ හා සේවා මෙන්ම වෙනත් ආර්ථික නිෂ්පාදන අලෙවිය සහ ප්‍රවර්ධනය වෙනුවෙන් වෙළෙඳ ප්‍රචාරණය භාවිත කිරීමේදී ග්‍රාහකයින් වෙත නැවුම් මෙන්ම අලුත් මුහුණුවරක අත්දැකීමක් අත්පත් කර දීම වෙනුවෙන් නව මාධ්‍ය වඩාත් උපායශීලී අයුරින් භාවිත කළ හැකිය. 

Integrated campaigns

ගෝලීය මාධ්‍ය භාවිතා පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කරන විට නිරීක්‍ෂණය කළ හැකි තවත් සුවිශේෂී ක්‍රමවේදයක් ලෙස සමෝධානික ප්‍රවර්ධන ක්‍රියාදාම (Integrated Campaigns) පෙන්වා දිය හැකිය. මෙම ප්‍රවර්ධනයන් වෙළෙඳ ප්‍රචාරණය, දේශපාලන සන්නිවේදනය, ජාත්‍යන්තර සබඳතා, ගෝලීයකරණය, ගෝලීය අධ්‍යාපනය ආදී ක්‍රියාදාමයන් සඳහා මෙන්ම AIDS රෝගය නිවාරණය, පියයුරු පිළිකා නිවාරණය, මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම වැනි සමාජ වගකීම් ඉටු කිරීමේ ව්‍යාපෘති (CSR) සඳහා ද වඩාත් ඵලදායී ලෙස යොදාගත හැකි බව විමර්ෂණය කළ හැකි වේ.

Integrated Campaigns සඳහා අත්‍යවශ්‍යම සාධකය වන්නේ නව මාධ්‍ය ය. නව මාධ්‍ය ප්‍රභේද කිහිපයක මිශ්‍රණයක් මෙහිදී භාවිත වේ. නිදසුනක් ලෙස AIDS රෝගය නිවාරණය සඳහා සිදු කරනු ලබන දැනුවත් කිරීමේ ප්‍රවර්ධන වැඩසටහනක් You Tube ඔස්සේ ග්‍රාහකගත කරන අතරතුර Facebook, Instagram සහ Twitter ඔස්සේ අදාළ පඨිතයේ වෙනස් ස්වරූපයන් මුදාහරිනු ලබයි. Blogs මේ සම්බන්ධයෙන් ලිඛිත පඨිත වඩාත් සාර්ථකව සන්නිවේදනය කරනු ලබයි. Live stream  ඔස්සේ සජීව විකාශයක් අවශ්‍ය නම් දියත් කළ හැකිවේ. ලෝකයේ මේ වනවිට වඩාත්ම සාර්ථක සම්ප්‍රේෂණ ක්‍රමවේදයක් ලෙස Integrated Campaigns  හඳුන්වා දිය හැකිය. 
     
         


මේ ආකාරය අධ්‍යයනය කරන විට පෙනී යන එක් ප්‍රධාන කරුණක් වන්නේ, පාර ජාතික මාධ්‍ය (Traditional media) සහ ගෝලීය මාධ්‍ය (Global media) භාවිතයක් සිදුවන සමකාලීන සන්නිවේදන ක්ෂේත්‍රය තුළ පැරණි මාධ්‍යවල භාවිත කළ පඨිත අන්තර්ගතයන් මැනවින් සංස්කරණය කොට නව මාධ්‍ය සඳහා භාවිත කළ හැකි අතර එම ක‍්‍රියාවලිය ලෝකයේ බොහෝ රටවල් සාර්ථක ලෙස භාවිත කරන ආකාරයයි. අනෙක් ප්‍රධානතම කාරණය වන්නේ, නව මාධ්‍ය තුළ එම මාධ්‍යට ආවේණික ලෙස සැකසූ මාධ්‍ය පඨිතයන් සමෝධානික ක්‍රමවේද භාවිත කරමින් සම්ප්‍රේෂණය කරනු ලැබීමයි. කුමන ක්‍රමවේදයකට අනුගතව නව මාධ්‍ය භාවිත කළ ද කාලීනව මෙන්ම අවකාශීයව වැදගත් වන පඨිත අන්තර්ගතයන් නිර්මාණය කිරීම මාධ්‍යවේදියාගේ මුඛ්‍ය කාර්යභාරය ලෙස පෙන්වාදිය හැකිවෙයි.


Manoj T. Dharmawardhane
SC/MAMM/2018/2019/11
Masters in Mass Media Studies 2018/2019 

Sunday, April 21, 2019

සන්නිවේදනයේ නව මුහුණුවර

සන්නිවේදනයේ නව මුහුණුවර 


නව මාධ්‍ය යන යෙදුම භාවිතයට පැමිණෙන්නේ 1980 දශකයේ අග භාගයේදීයි.නමුත් එය ප්‍රචලිත යෙදුමක් බවට පත්වන්නේ 90 දශකයෙන් පසුවයි.පළමුවරට නව මාධ්‍ය ආක්‍රමණය කළේ බටහිර රටවල් ය. නව මාධ්‍ය යන්න ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ සිදුවූ පුළුල් ප්‍රසාරණයකි.එනම් සත්‍ය වශයෙන් ම සදහන් කළ හැක්කේ මාධ්‍ය නිෂ්පාදනයේ,බෙදා හැරීමේ සහ පරිභෝජනයේ සිදුවූ පුළුල් පරාසයේ වෙනස්වීම් සදහා බලපෑ මාධ්‍යයන් ය. නව මාධ්‍යවල පවතින සුවිශේෂීත්වය වන්නේ නිරන්තර වෙනස්වීම් වලට ලක්වෙමින් වර්ධනය වීමයි.

නව මාධ්‍යයේදී

බොහෝ පිරිසකගෙන් → බොහෝ පිරිසකට
එක් පුද්ගලයෙකුගෙන් → බොහෝ පිරිසකට
බොහෝ පිරිසකගෙන් →  එක් පුද්ගලයෙකුට

සන්නිවේදනය සිදුවේ.



මුල්කාලීනව නව මාධ්‍ය ලෙස වර්ධනය වූයේ තාක්ෂණික අංගයන් වන අතර පසුව නව මාධ්‍ය ප්‍රබල ලෙස සමාජයට බලපෑම් සිදුකරත්ම එය තවත් සමාජයීය බලපෑම් සහගත ක්‍රියාවලියක් බව ඒ පිළිබද පර්යේෂණ කළ විද්වතුන් අවබෝධ කොට ගත්තේ ය.මේ අනුව නව මාධ්‍ය පරම්පරාව මත තවත් මාධ්‍ය පරම්පරාවක් බිහිවනු ඇත.ලෝකයේ යථා ස්වභාවය එය වේ.


නූතන මාධ්‍ය අභිබවා නව මාධ්‍යයේ නැගීම සිදුවිය.නව මාධ්‍යයේ ප්‍රබල වර්ධනය සිදුවන්නේ ප්‍රධාන වශයෙන් ම අන්තර්ජාලයේ ව්‍යාප්තිය හා වර්ධනය තුළීනි. අන්තර්ජාලයේ ඇරඹීම නව මාධ්‍යයේ ගමන තීව්‍ර කරන අතර ඊට පූර්වයේදී නිර්මාණය වු හඩ පටිගත කිරීමේ වීඩියෝ පටිගත කිරීමේ යන්ත්‍රය නව මාධ්‍යයේ මූලික අවස්ථා විය.මෙම නව මාධ්‍යයේ නැගීම හා වර්ධනය විද්වතුන් විසින් පෙන්වා දෙන්නේ තවදුරටත් තොරතුරුවලට දේශ සීමා බාධා නොමැති වීමෙන්  ගෝලීයකරණ ශක්‍යතාව ප්‍රබල වී ඇති බවයි.
පුවත්පත,රූපවාහිනිය හා ගුවන් විදුලි මාධ්‍ය සිදුකරනු ලැබූ සංහතික සමාජයීය කාර්යභාරය වත්මන අන්තර්ජාලය විසින් ඉටුකරනු ලබන්නේ වඩා සාධනීය ප්‍රතිළුල අත්පත් කරගනිමිනි.පොඩ්කාස්ටින්,යූ ටියුබ් ෂෙයාරින් ආදී ආදේශකයන් මගින් සාම්ප්‍රදායික ගුවන් විදුලි හා රූපවාහිනී මගින් සිදුකරනු ලැබූ විභවතාවන් ආකර්ෂණීය ලෙස ඉදිරිපත් කරයි. මේ හේතුව මත අද වන විට නව මාධ්‍ය යනු වේගයෙන් මිනිසා අතරට යන මාධ්‍යයක් ලෙසත් සාම්ප්‍රදායික පුවත්පත,ගුවන් විදුලිය හා රූපවාහිනිය මිනිසාගෙන් ගිලිහී යන මාධ්‍යයක් බවටත් පත්ව ඇත. නව මාධ්‍ය ලෝකය මිනිසාගේ අත මතට ගෙනවිත් දී ඇත.

- වසන්ත මාසිංහගේ
- SC/MAMM/2018/2019/14

Saturday, April 20, 2019

නව මාධ්‍ය හා නූතන මිනිසා

නව මාධ්‍ය හා නූතන මිනිසා


පැරණි සිංහල කියමනක් තිබෙනවා දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග කියලා.නව මාධ්‍ය තුළද නූතන මිනිසාට සිදුව ඇත්තේ මෙම කියමනට සමාන දෙයකි.නව මාධ්‍ය දැනගෙන භාවිත කරන පිරිස සිටින්නේ ඉතා අඩු ප්‍රමාණයක්.බහුතරයක් දෙනා නව මාධ්‍ය තුළ අතරමංව සිටින්නේය.එබැවින් කතරගම යාමට උත්සාහ දරන බොහෝ දෙනෙකුට එම ගමන නොහැකි වී ඇත. 



නව මාධ්‍ය තුළ එලෙස පුද්ගලයින් අතරමං වන්නේ ඇයි ?

දශකයක පමණ කාලයක සිට නව මාධ්‍ය එසේත් නොමැතිනම් සමාජ මාධ්‍ය මිනිසුන් අතර ඉතා ජනප්‍රිය තත්ත්වයකට පත්වුණා. එය කොතරම්ද යත් කඩදාසි සොයා ගැනීමෙන් පසු ජනප්‍රියත්වයට පත්වූ පුවත්පත එමෙන්ම ඉන්පසු ජනප්‍රියත්වයට පත්වූ ගුවන් විදුලිය හා රූපවාහිනියද අභිබවා යමින්. මේ තත්ත්වය තුළ දෛනිකව දැකගත හැකි වූ දෙය වූයේ පුවත්පත,ගුවන් විදුලිය හා රූපවාහිනිය ක්‍රමයෙන් අභාවයට යාමයි. පසුගිය දශකයක කාලය තුළ එම සාම්ප්‍රදායික මාධ්‍ය අභිබවා යමින් නව මාධ්‍ය කැපීපෙනන වර්ධනයක් අත්කර ගන්නට සමත්විය.පුවත්පත,ගුවන් විදුලිය හා රූපවාහිනිය තුළ සැමට කළ හැකි දෙයක් නොමැතිවීම මේ තත්ත්වයට හේතුවුණා.නමුත් නව මාධ්‍ය තුළ එසේ නොවේ එහි සෑම අයෙකුම කොටස්කරුවන්.එම නිසා වයස් භේදයකින් තොරව සෑම අය අතරම නව මාධ්‍ය ජනප්‍රිය වන්නට වුණා.

නව මාධ්‍ය ජනප්‍රියත්වය කෙතරම්ද යත් අප සියලු දෙනාගේ මූලික අවශ්‍යතාවක් වන තරමට එය පත්ව ඇත.නූතන මිනිසා ආහර පාන,නිවාස,ඇදුම් පැළදුම්,බීමට ජලය සපයා ගනිද්දි තම සන්නිවේදන අවශ්‍යතා සපුරාගනු ලබන්නේ නව මාධ්‍ය භාවිතය හරහායි. මිනිසා යනු හුදකලාව සිටින සත්ත්වයෙකු නොවේ.සෑම විටම අනෙකා සමග සන්නිවේදනයේ යෙදෙන සත්ත්වයෙකි. එබැවින් නව මාධ්‍ය ඊට හොදම මෙවලම බවට පත්ව තිබෙනවා.මේ මෙවලම භාවිතයේදී මිනිසාට තමා කළ යුතු නොකළ යුතු දේ කුමක්ද යන්න පවා අමතකව ගොස් තිබෙනවා. ඊට හේතුව නව මාධ්‍ය තුළට පිවිසෙන ඕනෑම කෙනෙකුට වාරණයකින් තොරව තම අදහස් ප්‍රකාශනයට ඉඩකඩ විවෘතව ඇති නිසායි. එහි බාධා කිරීමට කිසිවෙකුත් නැත.තම අදහස සමාජගත කිරීමට නව මාධ්‍ය තුළ ඕනෑතරම් ඉඩකඩ විවෘතව පවතින්නේය. එමෙන්ම අනෙකාගේ අදහසට තමා එකගද?එකග නොවන්නේද? ඒ සම්බන්ධයෙන් තම අදහස කුමක්ද යන්න පවා දැන්වීමටද නව මාධ්‍ය තුළ ඉඩකඩ ඇත.මේ තත්ත්වය තුළ නූතන මිනිසාට තබා අපේක්ෂා කරන මට්ටමද ඉක්මවා සන්නිවේදනය සදහා ඉඩකඩ නව මාධ්‍ය තුළ විවෘතව පවතින්නේය. මේ හේතුවෙන් තමාගේ සීමාව හදුනා ගත නොහැකිව ඇති නූතන මිනිසා නව මාධ්‍ය තුළ අතරමංවීම වැලැක්විය  නොහැකි දෙයකි.

වැදගත්ම කාරණය වනුයේ සාම්ප්‍රදායික මාධ්‍ය සලකා බැලීමේදී එහි පලවන තොරතුරුවලට වගකියන්නෙකු ඇත.එමෙන්ම එම තොරතුරු පලකරන්නේ කවුරුන්ද යන්න පොදු ජනතාවට දැන ගත හැකියි. නමුත් නව මාධ්‍ය තුළ එවැනි තත්ත්වයක් දක්නට නැහැ. නව මාධ්‍ය ඇතැම් විද්වතුන් සමාන කරනුයේ වනයකටයි. වනය තුළ නීතියක් නැත. අප සාමාන්‍ය ව්‍යවහාරයට සදහන් කරනුයේ කැලෑ නීතිය කියා.ඇතැම් විද්වතුන් පෙන්වා දෙන්නේ නව මාධ්‍ය තුළද ඇත්තේ එවැනි කැලෑ නීතියක් බවයි. එබැවින් සීමාව කුමක්ද තමන් යා යුත්තේ කුමන දිශාවකටද යන්න තීරණය කළ යුත්තේ එය පරිශීලනය කරන්නා විසින්මය. මේ කැලෑ නීතිය තුළ බොහෝ දෙනෙකු අතරමං වන්නේය.එම නිසායි නව මාධ්‍ය පරිශීලනය ද නොදැන ගියොත් අතරමග වන්නේ.


- වසන්ත මාසිංහගේ
- SC/MAMM/2018/2019/14






Thursday, April 18, 2019

නව මාධ්‍ය සහ සංවිධිත පුරවැසි මාධ්‍ය


සමකාලීන ලෝකයේ වඩා ජනප්‍රිය මාතෘකාවක් වන පුරවැසි මාධ්‍යකරණය අද වන විට විවෘත අවකාශයක් වූ සයිබර් අවකාශය තුළ ලෝකයට වඩාත් බලපෑම් සහගත මාධ්‍ය ක්‍රියාවලියක් බවට ප්‍රවේශව සිටී.  සංහතික මාධ්‍ය භාවිතයන්ට අභියෝග කරමින් නැගී එන නව මාධ්‍ය ප‍්‍රවණතාවන්ගේ අංගයන් ලෙස ඉස්මතු වූ ජංගම දුරකතන, වෙබ් අඩවි, බ්ලොග් අඩවි, හා සමාජ ජාල මාධ්‍ය අවශ්‍ය ධාරිතා එළෙසම සලසමින් පුරවැසි මාධ්‍යකරණයේ වර්ධනය අවැසි අංගෝපාංග නිර්මාණය කරදී ඇත. මේ නිසා ජනමාධ්‍ය පිළිබඳ අධිපති මතවාද කඩා වැටෙමින් නව මාධ්‍ය ඔස්සේ කෙරෙන නව කියවීම් කරළියට එයි. පුරවැසියා මෙන්ම පුරවැසි මාධ්‍යවේදියා ද සංවිධානගත වෙමින් සංවිධානාත්මක බලයක් ලෝකය වෙත මුදා හරිමින් සිටී. විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය ආයතනයකට වාර්තා සපයන පුරවැසි මාධ්‍යවේදියෙකුගේ හෝ තම ෆේස්බුක්, ට්විටර්, බ්ලෝග් අඩවි තුළින් වාර්තා ගෙන එන පුරවැසි මාධ්‍යවේදීන් නව මාධ්‍ය වේදිකාවමතම සංවිධානගතව කරන බලපෑමේ ශක්‍යතාව ඉහළ බැවු පහත ලෝක අත්දැකීම් අපට පසක් කර දෙයි.

2000 වසරේදී සෑම පුරවැසියෙකු ම වාර්තාකරුවෙක් යන තේමාවෙන් ඇරඹි Ohmy News යනු දකුණු කොරියාවේ පුරවැසි වාර්තාකරණයේ නිරත අන්තර්ජාල ප‍්‍රවෘත්ති වෙබ් අඩවියකි. තම පාඨකයන්ගේ ලිපි පිළිගෙන, සංස්කරණය කොට, ප‍්‍රකාශයට පත් කළ දකුණු කොරියාවේ පළමු ප‍්‍රවෘත්ති වෙබ් අඩවිය මෙයයි. මෙම වෙබ් අඩවියේ අන්තර්ගතයන්ගෙන් 20%‍්‍ර ක් පමණ එහි කාර්ය මණ්ඩල සාමාජිකයන් රචනා කරන අතර බොහෝ ලිපි සම්පාදනය කරන්නේ සාමාන්‍ය පුරවැසියන් ය. 2002 වසරේ පැවති දකුණු කොරියානු ජනාධිපතිවරණයට Ohmy News වෙබ් අඩවිය විශාල බලපෑමක් සිදු කර ඇත. 

ජනාධිපතිවරණයෙන් රෝ  මූ යුන් ජයග‍්‍රහණය කිරීමෙන් පසුව ප‍්‍රථම සම්මුඛ සාකච්චාව ලබාදී ඇත්තේද Ohmy News වෙබ් අඩවියටයි. එමෙන්ම කිසිදු බාහිර පාර්ශ්වයක සහය නොලබමින් 10,000කට අධික පුරවැසි මාධ්‍යෙව්දීන් පිරිසකගේ සහභාගීතවයෙන් සම්මේලනයක් පැවැත්වීමටද  Ohmy News වෙබ් අඩවිය සමත්වී ඇත. 2007 වසරේ දී මෙම වෙබ් අඩවිය මගින් පුරවැසි ජනමාධ්‍යවේදය පිළිබඳ පාසලක් ද විවෘත කරනු ලැබීය. 


On The Ground News Reports නැතහොත් OGNR යනු පුරවැසි මාධ්‍යවේදය මූලික කර ගත් ප‍්‍රවෘත්ති ක‍්‍රමවේදයකි. මෙහිදී සිදුවන්නේ පුරවැසි වාර්තාකරුවන් රැස්කරන ප‍්‍රවෘත්ති තහවුරු කර කෙටියෙන් ප‍්‍රකාශයට පත් කිරීමයි. ජැමෙයිකානු ජාතික මාර්ක් රැම්සි ගේ පුරෝගමීත්වයෙන් ජැමෙයිකාවෙන් ආරම්භ වූ මෙම ප‍්‍රවෘත්ති ක‍්‍රමවේදය මේ වන විට ලොව පුරා ව්‍යාප්ත වී ඇත. ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු අල්ලා ගැනීම සඳහා හමුදාව දියත් කළ මෙහෙයුමක තොරතුරු ජැමෙයිකානු රජය සැඟවීමට කටයුතු කළ අතර ඒ සම්බන්ධයෙන් ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය නිහඬ ප‍්‍රතිපත්තියක් අනුගමනය කළේය. එම අවස්ථාවේදී OGNR ෆේස්බුක් පිටුව මීට අදාළ සියලූ තොරතුරු වාර්තා කළ අතර එය එම තොරතුරු වාර්තා කළ එක ම ප‍්‍රවෘත්ති මූලාශ‍්‍රය විය. තමන් වෙත ලැබෙන ප‍්‍රවෘත්ති OGNR සංස්කාරකවරුන් පරීක්ෂා කර ඒවායේ සත්‍ය අසත්‍යතාව තහවුරු කර ප‍්‍රකාශයට පත් කිරීම මෙම වෙබ් අඩවිය තුළ සිදුවෙයි. ප‍්‍රවෘත්ති වාර්තාවක් ප‍්‍රකාශයට පත්කළ පසු අනෙකුත් පුරවැසි මාධ්‍යවේදීන්ට ද අවශ්‍ය යාවත්කාලීන තොරතුරු ආදිය ඊට එකතු කළ හැකිය. පරිගණක වෙබ් අඩවි, ජංගම දුරකතන සඳහා නිර්මිත වෙබ් අඩවි, පරිගණක මෙවලම් හා විද්‍යුත් තැපෑල ආදිය මගින් ප‍්‍රවෘත්ති වාර්තා යැවීමටත්, ලබා ගැනීමටත් මෙහිදී සාමාජිකයින්ට පහසුකම් සලසයි. සමාජ මාධ්‍ය දෙකක් වන ෆේස්බුක් හා ට්විටර් ඔස්සේ ද වාර්තා එවීමේ හැකියාව පවතී. මෙය භාවිතා කරන්නන්ට ලැබෙන වාර්තාවකට තම ජංගම දුරකතනයෙන් පණිවිඩයක් ඔස්සේ ප‍්‍රතිචාර දැක්වීමට ද අවස්ථාව හිමිවේ.

විවිධ සිද්ධිවලට මැදි වන පුරවැසියෝ ප‍්‍රවෘත්ති වාර්තා, ජායා රූප හා වීඩියෝ පේ‍්‍රක්ෂකයන් සඳහා විසුරුවා හරිති. එවිට පේ‍්‍රක්ෂකයන් ඒවා තවත් තහවුරු කරමින් යාවත්කාලීන තොරතුරු, අදහස් දැක්වීම් හා ඒවාට සම්බන්ධ දෑ එකතු කරයි. පැය 48 ක කාලයක් තුළ OGNR ෆේස්බුක් පිටුවට ග‍්‍රාහකයින් 22,000 ක් දායක වී ඇත. ජැමෙයිකාව පුරා සිදුවන දේවල් රැගෙන එසැණ පුවත් මූලාශ‍්‍රයක් ලෙස OGNR ෆේස්බුක් පිටුව අඛණ්ඩව වර්ධනය විය. 2013 මැයි මාසය වන විට OGNR ෆේස්බුක් පිටුවේ ග‍්‍රාහකයන් 94,000 ට අධික පිරිසක් ද, රටවල් 25 ක කෙටි පණිවුඩ ග‍්‍රාහකයින් ද, 12,000 කට අධික ටිව්ටර් අනුගාමිකයන් සංඛ්‍යාවක් ද විය. එසේම අද වනවිට ජැමෙයිකාවේ වැඩිම පිරිසක් භාවිතා කරන මාධ්‍ය වෙබ් අඩවි අතර තුන් වන ස්ථානය හිමිවී ඇත්තේ OGNR වෙබ් අඩවියටයි.

සාමුහිකව පුරවැසි මාධ්‍යවේදය පදනම් වූ ප්‍රවෘත්ති වෙබ් අඩවි මෙන්ම තනි තනි වශයෙන් සැකසුණු බ්ලොග් අඩවි හා ෆේස්බුක්, යූ ටියුබ් වැනි සමාජ ජාල ඔස්සේ සිදුවන පුරවැසි මාධ්‍යකරණය අද ලෝකය තුළ ඉතා සුලබය. පසුගිය ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍යකරුවන්ගේ සංගමයද  මෙවන් අවකාශයක් මෙරට පුරවැසි මාධ්‍යවේදීන්ට තනා දීමට මුලපිරුව ද තවමත් එහි සාර්ථක ඉදිරි පියවරයන් දැකගත නොහැකිය.






L.A. Samarasinghe
SC/MAMM/2018/2019/17