ජනමාධ්‍ය නීතිය ශ්‍රී ලංකාවේ අනෙකුත් ස්ථාපිත නීතිවලින් වෙනස් වූ වෙනමම නීතියකි. ඊට හේතුව නම් මේ නීතිය යටතේ කෙනෙකු වරදකරු බවට පත් කළ හැක්කේ ඒ පුද්ගලයා ජනමාධ්‍ය අංශයේ කුමන හෝ ජනමාධ්‍යකට සම්බන්ධ වන්නේ නම් පමණි. ජනමාධ්‍ය නීතියේ ඉතිහාසය, මිනිසා නිදහස සොයා ගිය ගමනේ ඉතිහාසය තරම්ම පැරණි වූවකි.
ජනමාධ්‍ය ආශ්රිත සීමාවන් ඉක්මවා යාම නිසාත්, අපහාස නීතිය ඇතුළු ජනමාධ්‍යයට බලපාන වෙනත් අණපනත් උල්ලංඝනය කිරීම නිසාත් ජනමාධ්‍යට එරෙහිව නීතිමය ගැටලු මතු වීමට පුළුවන. එය ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ බොහෝමයක රටවල සිදු වන සුලබ තත්ත්වයකි. ජනමාධ්‍ය නීතිය පිළිබඳව අවධානය යොමු කිරීමේදී මෙරට නීති පද්ධතිය හා එහි සැකැස්ම පිළිබඳ අවධානය යොමු කිරීම කාලෝචිතය.
නියාමනය යනු පාලනයකට, බලපෑමකට හෝ වාරණයකට ලක් කිරීමක් නොවේ. එසේ ම ස්වයං බලපෑමකට හෝ ස්වයං වාරණයකට හෝ යටත් කිරීමක් ද නොවේ.
නියාමනය යන පදය තුළ යහපත් ලෙස නිසි මාර්ගයට ගැනීම, සැලසුම් කිරීම, සංවිධානය කිරීම, පරිපාලනය කිරීම, අධීක්ෂණය, හසුරුවාලීම, පුනර්පෝෂණය, නීත්‍යානුකූල කිරීම, බලවත් කිරීම හා ස්ථායීකරණය යන ක්‍රියාකාරී තත්ත්වයන් ගැබ්ව පවතී.
නියාමනය යන්න ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ Regulate යනුවෙනි. Regulate යන්න මලලසේකර ශබ්ද කෝෂයේ සඳහන් වන්නේ නිවැරදි බවට, ක්‍රමවත් බවට, නියමානුකූල බවට පත්කරන, හරිගස්සනවා, හසුරුවනවා යන්න ය. මෙය Regularize ලෙස ද හැඳින්වීමට පුළුවන. මලලසේකර ශබ්ද කෝෂයට අනුව Regulation යනු නියමය, විධිය හෝ ව්‍යවස්ථාව ලෙස අර්ථ දක්වා තිබේ. එසේ ම Regulator යනු යන්ත්‍රයක වේගය පාලනය කරන උපක්‍රමය ලෙස හැඳින්වේ. මෙම වදන එක්සත් රාජධානියේ OXFORD ශබ්ද කෝෂයේ සඳහන් වන්නේ ද යමක් ක්‍රමවත් හා විධිමත්භාවයට පත්කර නිවැරදි මාර්ගයේ පවත්වාගෙන යාමට කරනු ලබන පාලනය ලෙස හැඳින්වේ. නමුත් Regulate හෝ Regularize යන වදන තුළ යමක් පාලනය කිරීම හෝ පරිපාලනය කිරීම හෝ යන අර්ථය ගම්‍යමාන නොවන බව නූතන සන්නිවේදන විශේෂඥයෝ පවසති. පාලනය හෝ පරිපාලනය කිරීම යනු තම බලය යොදා යම් කිසි බලපෑමක් කරමින් නිවැරදි හෝ විධිමත් කිරීමේ ක්රියාදාමයකි. නැතිනම් බලය යොදා හසුරුවා ගැනීමේ ක්රමවේදයකි.
පාලනය කිරීම, දමනය කිරීම යන්න ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ Control යන නාමයෙනි. ඉංග්‍රීසියෙන් Administration යනු පරිපාලන හෙවත් සංවිධානය කරමින් ආයතනයක් පවත්වාගෙන යාමේ විධික්රමය වේ. ඒ සඳහා ද ආයතනගත හෝ සංවිධානගත නියමයන් හෝ නීතිරීති ආදිය යොදාගනු ලබති.
එසේම ආධිපත්‍ය බලය, ශක්තිය හා අධිකාරී බලය පිළිබඳ ව ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ Authority යනුවෙනි. මෙම Authority වදන තුළ ද ආණ්ඩුව හා පාලකයින්ගේ බලපෑම තුළින් අධිකාරී බලයක් ගොඩනැගීම යන්න අදහස් කෙරේ. එසේම Sensor යන වදනේ තේරුම වාරණය කිරීම යන්න ය. මෙහි වාරණය යනු යම් කිසිවකුගේ බලපෑම මත, යමෙකුගේ බලය යෙදීම මත යම් කිසි ප්රකාශනයක කොටස් කපා ඉවත් කිරීම ය. එසේ නොමැති නම් තම ස්ව කැමැත්තෙන්ම කළ යුතු ප්‍රකාශය හෝ ලිපිය කොටසක් හෝ සම්පූර්ණයෙන්ම හෝ ඉවත් කරගැනීම ය.
මේ අනුව Control (පාලනය), Administration (පරිපාලනය), Authority (ආධිපත්‍ය බලය), Sensor (වාරණය) යන වදන් තුළ අඩංගුව පවතින්නේ රජයක් හෝ පුද්ගලයකු හෝ පුද්ගල කණ්ඩායමක් හෝ ආයතනයක් හෝ සිය බලය යොදා යම් කිසි දෙයක් පාලනය කිරීමට ප්රයත්න දැරීම යන්න ය.
නමුත් regulate යන්න තුළ අඩංගුව පවතින්නේ නියාමන යන සරල අදහස ය. නියාමනය කිරීම යන අර්ථය ඉංග්‍රීසියෙන් දැක්වෙන්නේ Regulatory යනුවෙනි. මෙම Regulatory හෙවත් නියාමනය කිරීම යන්න තුළ බලය යොදා පාලනය කිරීම, බලපෑම් කිරීම, වාරණය කිරීම, බලෙන් පරිපාලනය කිරීම හෝ ආධිපත්‍ය බලය යෙදීම හෝ යන්න සිදු නොවේ. ඒ නිසා නියාමනය කිරීම යන්න ඉතාමත් සරල ව අර්ථ දක්වන්නේ නම් විනයවත් වූ, ආචාරධර්මානුකූල වූ, යහපත් වූ, වගකීම් සහගත ප්රවේශයකට මෙහෙයවීම හෝ හසුරුවාලීම යනුවෙන් හැඳින්වීමට පුළුවන.
සමාජයන් තුළ නියාමන කණ්ඩායම් ද දක්නට ලැබේ. එනම් පාසල, පන්සල, පල්ලිය, කෝවිල ආදී සමාජ ඒකකයන් යම් කිසි නියාමන කාර්යයක යෙදෙමින් සිසු දරුවන් මෙන්ම මහජනතාව යහපත් මාර්ගයට හසුරුවති. එමෙන්ම සංස්කෘතිය හා හුරුපුරුදු ආදිය ද නියාමන සහභාගීත්වයක් දක්වති.
මේ ආකාරයට මාධ්‍ය යහපත් ලෙස හසුරුවාලීමට Regulator එකක් අවශ්‍ය වේ. මේ ආකාරයට මාධ්‍ය නියාමනය මගින් මාධ්‍ය සන්නිවේදනය මනා ලෙස හසුරුවාලීමට පුළුවන. මේ මගින් පාලනය, වාරණයක් සිදු නොවේ. සිදු වන්නේ යහපත් ලෙස හසුරුවාලීම පමණකි.
ආශ්රිත වෙබ් අඩවි
පැතුම් ශ්‍රී විජේරත්න (SC/PG/MAMM/2016/2017/10)
0 comments:
Post a Comment