Pages

Tuesday, December 31, 2019


සිනමාව භාෂාවක් ද ?


ඔව්, සිනමාව භාෂාවක් ! 
එසේම අනෙකුත් කලා මාධ්‍යයන්ද භාෂාවන් සේ අර්ථ ගැන්විය හැක. එලෙස අර්ථ ගන්වා ද ඇත. ඕනෑම භාෂාවක ප්‍රධාන කාර්යය සන්නිවේදනයයි. එයින් කිසියම් අදහසක් සන්නිවේදනය කරන අතර ම මානව හැඟීම් හුවමාරුව ද සිදුවෙයි. එය ලෝකයේ ඕනෑම භාෂාවක් තුළ සිදුවන ක්‍රියාවලියකි. ආදරය යන වචනය ලියූ පමණින් හෝ, කියූ පමණින් හෝ, ඇසූ පමණින් හෝ, දුටු පමණින් හෝ,  ඒ පිළිබඳව අදහසක් සේම එම සංඛේත පද්ධතිය එක් වී සෑදුනු වචනය හරහා කිසියම් මානව සංවේදනාවක්, හැඟීමක් සිත් තුළ ජනිත වීමක් සිදුවෙයි. නමුත් අප විසින් තේරුම්ගත යුත්තේ භාෂාව තුළ ඇති මෙම සංඛේත පද්ධතියෙ හි ඇති ස්වර හෝ ව්‍යංජනාක්ෂර වෙන වෙන ම ගත්විට එවැන්නක් සිදු නොවන බවයි. ඉතාම කලාතුරකින් අවස්ථාවක දී තනි තනි අක්ෂර හෝ සංඛේත වලින් යම් අදහසක් හෝ හැඟීමක් ජනිත කළ හැක. උදාහරණ ලෙස "මා" නැතිනම් "I" යන අක්ෂරයන් තනිව ගත්විට යම් අදහසක් සහිතව මානව සන්තානය තුල පුද්ගලාර්ථය පිළිබඳව හැඟීමක් ඇතිවිය හැකිය. එසේ නැති අවස්තාවන් වල දී උදාහරණයක් ලෙස "ආ" තනිවත්, "ද" තනිවත්, "ර " තනිවත්, "ය" තනිව වත් ගත්විට එම අක්ෂර සංඛේත පිළිබඳව යම් අදහසක් පමණත් ජනිත වන නමුත් මානව හැඟීමක් හෝ හැඟීම් පද්ධතිය පිලිබඳ ව උත්තේජනයක් සිත් තුල ජනිත නොවේ. 

ඕනෑම භාෂාවක කුඩාම ඒකකය අක්ෂරය යි. (එක් අකුරක් ) භාෂාවක අක්ෂර එකතු වී වචන සෑදෙයි. වචන එකතු වී වාක්‍ය සැදෙයි. වාක්‍ය එකතු වී අර්ථ සම්පාදනය කරයි, එසේත් නැතිනම් මානව හැඟීම් ජනනය කරයි.

සිනමාවේ දී කුඩාම ඒකකය රුපයයි. එක් රූපයක් හෝ රූප කීපයක් එක් වී දර්ශනයක් නිර්මාණය වෙයි. දර්ශන කීපයක් එක් වී සමස්ථ කතාවක් නිර්මාණය වී අර්ථයන් සම්පාදනය කරයි. එසේම එයින් මානව හැඟීම් සමුදායක් ජනනය කරනු ලබයි. එලෙස බලන කල සිනමාව භාෂාවක් ලෙස හඳුනා දිය හැකි නමුත් මේ මොහොත වනවිට ශ්‍රී ලාංකේය සිනමා කර්මාන්තය තුල සිනමාව භාෂාවක් ය යන තේරුම් ගැනීම බහුතර පිරිසක් තුල තිබෙන නමුත්, සිනමාව යන ප්‍රධාන භාෂාව තුල ඒ හා සමාන වූ තවත් ප්‍රධාන භාෂාවන් ගණනාවක් සංවිධානගතව, මානව හැඟීම් ගණනාවක් ජනනය කරවමින් එක් ප්‍රධාන අර්ථයක් සම්පාදනය කිරීම සඳහා නිවැරදිව ප්‍රධාන මාර්ගයක ගමන් ගන්නා බව අවබෝධ කොට නොගෙන සිටීම කනගාටුවට කරුණකි. ඒ ප්‍රධාන වූ අනෙක් භාෂාවන් පිළිබඳව අවධානය යොමු කිරීමේ දී භාෂාවේ ප්‍රධාන සංඛේත පද්ධතිය මත ගොඩනැගෙන සාහිත්‍යමය තිර රචනාවත්, කැමරා අධ්‍යක්ෂණය සහිත රූපමය භාෂාවත්, කලා අධ්‍යක්ෂණයත්, ඇඳුම් නිර්මාණයත්, අංග රචනයත්, සංගීතයත් සේම ශරීර භාෂාව (බොඩි ලැන්වේජ්) සහ එහි අභ්‍යන්තරීක මානව හැඟීම් පද්ධතිය මත ඉතා සියුම් ව ගොඩනැගෙන රංගනය යන ප්‍රධාන භාෂාවත්, ඇතුළුව මේ සියලු  භාෂාවන් ගේ කොටස් කුමන ප්‍රමාණයෙන්, කුමන හැඩයෙන්, කුමන වර්ණයෙන්, තම ප්‍රධාන ආඛ්‍යානය ගොඩනැගීම සඳහා යොදාගන්නවාද යන ක්‍රියාවලිය හෙවත් අධ්‍යක්ෂණය එසේත් නැතිනම් රූපමය භාෂාවේ අවසන් රචනය නිවැරදිව ඉදිරිපත් කරන්නා සිනමා අධ්‍යක්ෂවරයා ලෙස අපට හඳුනාගත හැක.

නමුත් ශ්‍රී ලාංකේය සිනමා කර්මාන්තය තුල සිනමා භාෂාව පිලිබඳ ඇති සාක්ෂරතාව, සිනමා කර්මාන්තය තුල ප්‍රායෝගිකව නියැලෙන ඒ ඒ අංශවල පුද්ගලයින්ට තිබෙනවා ද ? යන පැනය මේ මොහොතේ ඇති බරපතලම ගැටළුව ලෙස හඳුනාගත හැක. යල්පැන ගිය ශාස්ත්‍රාල යී ය සිනමා අධ්‍යාපන ක්‍රමවේදයන් ඉතා ඉක්මණින් වෙනස් විය යුතුය. සිනමාව කලාවක් ද ? සිනමාව කර්මාන්තයක් ද ? එසේත් නැතිනම් සිනමාව කලාත්මක කර්මාන්තයක් ද ? යන්න වහාම අවබෝධ කොටගත යුතුය. තව දුරටත් සිනමාව භාෂාවක් ලෙස පිළිගන්නේ නම්, වඩා වැඩි පිරිසකට තේරෙන, වැඩි පිරිසකට රසවිඳිය හැකි ලෙස එම භාෂාවෙන් කතාවක් කියන්නේ කෙලෙසද යන්න ඉගෙන ගත යුතුය, නැතිනම් අවබෝධ කරගත යුතුය.

(මෙම  ලිපිය හුදෙක් පුද්ගලික මතයකි.)    

අතුල ජයසිංහ,
කේ.ඒ.කේ. ජයසිංහ,
SC/MAMM /2018/2019/21

0 comments:

Post a Comment