Pages

Tuesday, July 23, 2019





ත්ත මාධ්‍යකරණය, අද්‍යතන මාධ්‍ය ක්ෂේත්‍රය තුළ භාවිත නව්‍ය ප්‍රපංචයකි. මෙය ගවේෂණාත්මක මාධ්‍යකරණය සමග පවතින්නේ අවියෝජනීය සබඳතාවකි. දත්ත මාධ්‍යකරණය (Data Journalism) වූ කලී  මාධ්‍ය පඨිතයක අන්තර්ගත කරුණු පැහැදිලි කිරීම හෝ තහවුරු කිරීම සඳහා සංඛ්‍යාත්මක දත්ත අනාවරණ කිරීමත් එකී දත්ත විශ්ලේෂණය කිරීමත්වේග තවත් අර්ථකථනයකට අනුව දත්ත මාධ්‍යකරණය යනු දත්ත සමග සිදුකෙරෙන මාධ්‍යකරණයයි. එනම්, සංකීර්ණ සංඛ්‍යා ලේඛන සංසන්දනාත්මකව, විශ්ලේෂණාත්මකව, තර්කානුකූලව යම් කරුණක් අනාවරණය කිරීම දත්ත මාධ්‍යකරණය යැයි හැඳින්වේ.

පුළුල් ගවේෂණාත්මක මාධ්‍යකරණයක දී මාධ්‍යකරුවා අතට පත්වන දහසකුත් සංඛ්‍යා ලේඛන දත්ත විශ්ලේෂණය පහසු කාර්යයක් නොවේ. ඒ සඳහා විශේෂිත දැනුමක් අවශ්‍යවේ. ප්‍රස්තාර, වගු, සංඛ්‍යාන ආදිය ඒ සඳහා භාවිත කිරීමට ඇතැම් විට සිදුවේ. දත්ත (Data) මෙන්ම මාධ්‍යකරණයද (Journalism) අර්බුදකාරී මෙන්ම ගැටලුකාරී සංදර්භයන් ද්විත්වයකි. අද්‍යතනය අංකිත (Digital) තාක්ෂණික වපසරියක සමස්ත සමාජ වෘත්තියක්ම ව්‍යුහගතවී ඇත. වර්තමානයේ සෑම සංසිද්ධියක්ම පාහේ අංකනයන් මගින් අර්ථකථනය කිරීමේ හැකියාව පවතී. එනම්, ඡායාරූප, වීඩියෝ, හඬ (Audio) පවා අර්ථ නිරූපණය වන්නේ බින්දු (Zeroes) සහ එක (One) මගිනි. මිනීමැරුම්, දේශපාලන ඡන්ද, දූෂණ වංචා, රෝග ආදී සෑම අංශයක්ම බින්දු සහ එක මගින් අර්ථ නිරූපණය කළ හැකිවේ. දත්ත මාධ්‍යකරණය සාම්ප්‍රදායික මාධ්‍යකරණය සමග එක් වීම මගින් පරිපූර්ණ මාධ්‍යකරණයක් බිහිවේ. ඒ වූ කලී ගවේෂණාත්මක මාධ්‍යකරණය තුළ යම් සංසිද්ධියක් තර්කානුකූල විශ්ලේශනයකට නතු කිරීම සඳහා දත්ත මාධ්‍යකරණයේ සහය අත්‍යවශ්‍යවේ.

සංකීර්ණත්වයෙන් යුත් ප්‍රවෘත්ති කතාංග (News Story) සරල ලෙසත් වඩාත් ග්‍රහක ගෝචර ලෙස ඉදිරිපත් කිරීමටත් පමණක් නොව මාධ්‍යකරණයෙහි දත්ත රැස් කිරීමේ ක්‍රියාවලිය සඳහාත් දත්ත විශ්ලේෂණ ක්‍රියාවලිය සඳහාත් දත්ත වර්ගීකරණය සඳහාත් අර්ථ නිරූපිත සඳහාත් දත්ත මාධ්‍යකරණය අද්‍යතන මාධ්‍යකරණයේ දී වඩා ඉවහල් වන වග ද ප්‍රකට කරුණකි. එමෙන්ම දත්ත මාධ්‍යකරණය සමාන්‍ය මාධ්‍යකරණය මෙන් නොව පූර්ණ වශයෙන්ම පරිගණකගතව සිදුවන ක්‍රියාවලියක් ලෙස සැලකෙන අතර දත්ත රැස් කිරීම දත්ත විශ්ලේෂණය දත්ත බෙදා හැරීම, දත්ත හුවමාරුව ආදී ක්‍රියාවලි සමස්තය පරිගණක ඇසුරෙහි සිදු කෙරේ. මෙකී මාධ්‍යකරණය පරිගණක සහයක වාර්තාකරණය (Computer Assisted Reporting- CAR) සමග ද සමීපස්ථ බවක් දක්වයි. 




පරිගණකගත තොරතුරු විශ්ලේෂණය හා දැනටමත් මාර්ග ගතව (Online) පවතින නිසි ක්‍රිමවේදයකට අනුගතව විශ්ලේෂණය කිරීම මෙකී පරිගණක සහයක වාර්තාකරණයේ දී ප්‍රමුඛත්වය හිමිවේ. තවත් අර්ථ දැක්වීමකට අනුව දත්ත මාධ්‍යකරණය හා පරිගණක සහයක මාධ්‍යකරණය අතර කැපී පෙනෙන වෙනසක් නොමැති බවට ද නිර්ණයවේ.
ගවේෂණාත්මක මාධ්‍යකරණයේ ආරම්භයේ සිට සිදු කරන ලද ස්වකීය පඨිතයේ සම්පූර්ණ මුහුණුවර දත්ත මාධ්‍යකරණයේ දත්ත විශ්ලේෂණ අදියර හේතුවෙන් වෙනස් වීමේ ප්‍රවණතාවක් ද පවතී. එනම් ගවේෂණාත්මක මාධ්‍යකරණයේ දී පඨිතය සඳහා දත්ත මාධ්‍යකරණ විසින් එල්ල කෙරෙන බලපෑම අතිශය ප්‍රබලවේ. සිදු කරමින් පවතින ගවේෂණාත්මක කාර්යය පූර්ණ ලෙස වෙනස් කිරීම සඳහා ද දත්ත මාධ්‍යකරණය හේතු සාධකවේ. එමෙන්ම මෙකී මාධ්‍යකරණය මගින්, සිදු කෙරෙමින් පවතින ගවේෂණාත්මක කාර්යයේ ඉදිරි දිශානතිය පිළිබඳ තීරණවලට එළඹීමටත් සිදු කෙරන ගවේෂණාත්මක කාර්යයේ දිශානතිය වෙනස් කිරීමටත් මෙකී දත්ත මාධ්‍යකරණයෙන් ප්‍රබල පිටුබලයක් හිමිවේ.

වරුණ සංජීව ලියනගේ
SC/PG/MAMM/70



ර්තමාන සමාජ සන්දර්භය තුළ ශී‍්‍ර ලාංකීය මාධ්‍යවේදියා සමකාලීන සමාජ ක‍්‍රියාවන් ප‍්‍රස්තුත කොට ගෙන මාධ්‍යකරණයෙහි නිරතව සිටියි. ඒ වූ කලී දෛනික මාධ්‍යකරණයෙහි නිරත මාධ්‍යවේදියා ස්වකීය කාර්යභාරය දෛනික සමාජ, දේශපාලනික, ආර්ථික ආදී කේෂත‍්‍ර පාදකව සිදු කෙරෙන අතරම ඇතැමෙක් එය අභිබවා යමින් ගැඹුරු සමාජයීය කාරණා පාදකව මාධ්‍යකරණයෙහි වන ආනුශාංගික අංශ ඇසුරු කරමින් නව මං සොයමින් ලාංකීය මාධ්‍යකරණය නැමති ප‍්‍රපංචයට  නව අර්ථදීපනයක් ලබා දීමට උත්සුක වෙති. අද්‍යතන සංහතික මාධ්‍යය තාක්ෂණය සමග මුසුවෙමින් එහි සාම්ප‍්‍රදායික සීමා මායිම් බිඳිමින් නව ආකාරයක කි‍්‍රයාවලියකට අනුගතව ද ක‍්‍රියාත්මකවේ. සාම්ප‍්‍රදායික ජනමාධ්‍යවේ ද අධ්‍යයනයේදී විභේදනීය කරණයට (Differentiate) ලක්කිරීමේ දී සැලකෙන මුද්‍රිත, විද්‍යුත් මාධ්‍ය හෝ පුවත්පත්, `ගරා, ගුවන්විදුලි, රූපවාහිනී ආදී ලෙස හෝ තවදුරටත් සෘජු වර්ගීකරණයකට ලක් කළ නොහැක්කේ මෙකී සියලූම ආකාර මාධ්‍ය වර්ගීකරණ නිර්නායකයන් අතික‍්‍රමණය කරමින් නව්‍ය වූ ද වෙනස් ආකෘතිකමය ලක්ෂණ ප‍්‍රකට කරන්නාවූ ද ආකාරයකට  අද්‍යතන මාධ්‍ය සන්දර්භය වෙනස් වී මාධ්‍ය විභේදනයට ලක්වී ඇත. ඒ වූ කලී අද්‍යතන මාධ්‍ය අභිසාරීතාවක් ප‍්‍රකට කරයි. එනම් 2010 වසරෙන් මෙපිට සිදු වූ ගෝලීය මාධ්‍ය සහ තාක්ෂණික පරිවර්තනය අභිමුව ව්‍යුත්පන්න වූ ස්මාට් යුගය (Smart era) එනම් ජංගම දුරකථනය පාදකව බිහිවූ සන්නිවේදන විපර්යාසය සෑම අංශයක්ම අතිශය ගැඹුරු පරිවර්තනයකට ලක් කෙරිණි.
                                අන්තර්ජාලය පදනම්ව ගොඩනැගුණු මෙකී සන්නිවේදනය ක‍්‍රියාවලිය තුළ දෘෂ්‍ය, මුද්‍රිත යන සාම්ප‍්‍රදායික සන්නිවේදන ක‍්‍රියාවලියෙහි සිදුකෙරෙනු සෑම ආකාරයකම සන්නිවේදන ආකෘති මෙකී සන්නිවේදන ආකෘතිය තුළ වඩා සංවිධිත ලෙස ක‍්‍රියාත්මක වන ආකාරයක් නිරීක්ෂණය කළ හැකිවේ. මීට දශකයකට පමණ පෙර පැවති ජනමාධ්‍යවේදය වර්තමානය වන විට මෙකී ප‍්‍රවණතාවන් සමග අතිශය විපර්යාසයකට භාජන වී ඇත්තේ එහි භාවිත ආකෘතින් තුළින් පමණක් නොව න්‍යායික, සංකල්පීය ආදී තලයන් ඔස්සේ ද වන බව ඒ පිළිබඳ සිදු කෙරෙන අධ්‍යයනයන්හි දී සනාථ වන කරුණකි. එනම් අභිසාරී නව මාධ්‍ය ප‍්‍රජාතන්ත‍්‍රීය තලයෙහි ද බලපෑම් සිදු කෙරෙන බව පැහැදිලිවේ. එනම් පැරණි මාධ්‍ය සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ රැුඳෙමින් ක‍්‍රියාත්මක වූ අතර අද්‍යතන මාධ්‍ය අභිසාරීතාව විසින් එකී සීමා මායිම් බිඳ දමමින් ඇති බවද නිරීක්ෂණය කළ හැකියග කෙසේ වෙතත් මාධ්‍ය අභිසාරීතාව සහ නව මාධ්‍ය භාවිතාව තුළ ජනතාවට තොරුතුරු දැන ගැනීමේ හැකියාව පුළුල් වී ඇති බව ද පෙනී යයි. අද්‍යතන මාධ්‍යයෙහි හැසිරීම නිරීක්ෂණය කිරීමේ දී ගම්‍යවන්නේ මුද්‍රිත මාධ්‍ය ද ස්වකීය පුවත්පත්, `ගරා වැනි මුද්‍රිත ප‍්‍රකාශන අන්තර්ජාලය ඔස්සේ මාර්ගගත ප‍්‍රකාශනයන් මගින් ඉදිරිපත් කිරීමයි. එමෙන්ම ගුවන්විදුලි නාලිකා ද මාර්ගගත වෙබ් අඩවි මගින් ශ‍්‍රව්‍ය මෙන්ම දෂ්‍ය ප‍්‍රකාශනයන් සිදු කරන බවයි. මෙම ආයතනවල සේවය කරන මාධ්‍යකරුවා හට සෑම ආකාරයකම මාධ්‍යකරණයෙහි නියැලීමට සිදුව ඇත. නව්‍යතම ප‍්‍රවණතා ලෙස සැලකෙන මාධ්‍ය ආකෘතීන් තුළ කටයුතු කරමින් නවීන තාක්ෂණික හා අභිසාරී මාධ්‍යකරණයෙහි නව මානයන්හි අණසක පතුරුවාලීමට දෙරණ කටයුතු කරන ආකාරය ද පැහැදිලිය. සිය ප‍්‍රවෘත්ති වෙබ් අඩවිය adaderana.lk ලෙස ද, දෙරණ රූපවාහිනී නාලිකාව derana.lk වෙබ් අඩවිය ඔස්සේ සිය වැඩසටහන් මෙන්ම දෙරණ රූපවාහිනී නාලිකාව සජීව සමගාමී විකාශය මෙකී වෙබ් අඩවිය ඔස්සේ ද විකාශය කෙරේ. fmderana.lk වෙබ් අඩවිය ඔස්සේ දෙරණ ගුවන්විදුලි නාලිකාව සහ එහි වැඩසටහන් විකාශය කිරීම ද සිදු කරයි. 


                  හිරු නාලිකාව ද ස්වකීය රූපවාහිනී ගුවන්විදුලි නාලිකාවලට අමතරව වෙබ් අඩවි ඔස්සේ ප‍්‍රවෘත්ති, වැඩසටහන් ආදිය විකාශය කරයි. එනම් හිරු ප‍්‍රවෘත්ති hirunews.lk  නැමති වෙබ් අඩවිය මගින් ද hirutv.lk නැමති වෙබ් අඩවිය මගින් හිරු රූපවාහිනිය මගින් විකාශය කෙරෙන වැඩසටහන් ආදිය ග‍්‍රාහකයාට ලබා ගැනීමේ හැකියාව සලසා ඇත. හිරු ගුවන්විදුලි නාලිකාව ද යසරමපෙගකන නමින් වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් ගුවන්විදුලි වැඩසටහන්, ගීත ප‍්‍රචාරය කරමින් සම්ප‍්‍රදායික ගුවන්විදුලි සන්නිවේදන කාර්යයට අමතරව මාර්ගගත සන්නිවේදන කාර්යයේ ද නිරතවේ.
                නෙත් එෆ්. එම්. නාලිකාව ද බලපත‍්‍රගත ගුවන්විදුලි නාලිකාවට අමතරව වෙබ් අඩවි කිහිපයක්ම පවත්වා ගෙන යමින් ග‍්‍රාහක පරාසය පුළුල් කරගෙන ඇති බව විද්‍යමානවේ. එනම් nethfm.lk ලෙස ගුවන්විදුලි නාලිකාවෙන් විකාශය කෙරෙන වැඩසටහන් මෙම වෙබ් අඩවිය ඔස්සේ විකාශය කෙරෙන අතර ඊට අමතරව nethnews.lk ලෙස හැඳින්වෙන ප‍්‍රවෘත්ති වෙබ් අඩවියක්ද නෙත් එෆ්. එම් විසින් පවත්වා ගෙන යයි. සිරස නාලිකාව ද  ලාංකීය මාධ්‍ය වෙළෙඳපොළ තුළ සැලකිය යුතු ප‍්‍රතිශතයක් අත්පත් කර ගෙන සිටී. සිරස නාලිකාව විසින් ද sirasatv.lk, sirasafm.lk ලෙස රූපවාහිනි සහ ගුවන්විදුලි නාලිකාවට අදාළව වෙබ් අවකාශයෙහි අඩවි පවත්වා ගෙන යන අතර newsfirst.lk ලෙස සිරස ප‍්‍රවෘත්තිවලට අදාළ වෙබ් අඩවියක් ද සිරස විසින් පවත්වා ගෙන යයි.
                අද්‍යතන සමාජ ව්‍යුහීය තලයේ දී සංහතික මාධ්‍ය, මාධ්‍ය අභිසාරීතාව තුළ ඊට අනුගත වන ආකාරය ප‍්‍රත්‍යක්ෂ වේ. එය තවදුරටත් සනාත වන්නේ එතෙක් සාම්ප‍්‍රදායික මුද්‍රිත මාධ්‍යයන් ද මාර්ගගත වෙබ් අවකාශය තුළ සිය ප‍්‍රකාශන අන්තර්ජාලගත කිරීම මගිනි. මෙතෙක් මුද්‍රිත පිටපතක් ලෙස පාඨකයා අතට පත්වූ පුවත්පත ඊ-පිටපත්ක් (e-paper) ලෙස පාඨකයා අතට පත් කිරීමට පුවත්පත් සමාගම් කටයුතු කරයි. ලංකාවේ වැඩිම පාඨක පිරිසක් ඇති ලංකාදීප පුවත් පත ඊ-පිටපතක් ලෙස පාඨකයා අතට පත් කිරීමට එහි හිමිකාරිත්වය දරණ විජය පුවත්පත් සමාගම පියවර ගෙන තිබේ. lankadeepa.lk වෙබ් අඩවිය තුළින් දිනපතා සහ සතිපතා එළිදක්වන මුද්‍රිත පිටපතට සමගාමීව වෙබ් අඩවිය හරහා ඊ-පිටපත ප‍්‍රකාශයට පත් කරන අතර දෛනික පුවත් එසැන යාවත්කාලීන වන ආකාරයෙන් පුවත් වෙබ් අඩවියක් ලෙසද මෙම වෙබ් අඩවිය පවත්වා ගෙන යාමට විජය පුවත්පත් සමාගම කටයුතු කරයි. එම පුවත්පත් සමාගම මගින් ප‍්‍රකාශයට පත්කෙරෙන Dailymirror, The sunday times වැනි ඉංග‍්‍රීසි පුවත්පත් මෙන්ම සෙසු පුවත්පත් ද මේ ආකාරයට පුවත් වෙබ් අඩවි සහ ඊ-පුවත්පත් ද ප‍්‍රකාශයට පත් කෙරෙනු නිරීක්ෂණය කළ හැකිය. මව්බිම පුවත්පත mawbima.lk නැමති වෙබ් අඩවිය හරහා ද දිවයින පුවත්පත divaina.com මගින් ද ආදී ලෙස වර්තමාන මාධ්‍යවේද ප‍්‍රවණතාවන්ට මුහුණ දෙමින් සාම්ප‍්‍රදායික රූපවාහිනී, ගුවන්විදුලි සහ පුවත්පත් මාධ්‍ය මාර්ගගත මාධ්‍ය අභිසාරීතාව තුළ ස්ථානගත කරමින් ස්වකීය පේ‍්‍රක්ෂක, ශ‍්‍රාවක, පාඨක සමූහයා ගිලිහීයා නොදී රඳවා ගැනීම සඳහා නවීන තාක්ෂණික විපර්යාස තුළ පරිණාමගත විකරණයන්ට ලක්වෙමින් අභිසාරීතාව තුළ ස්ථාවර වෙමින් සංහතික මාධ්‍යකරණය තුළ තවදුරටත් ස්ථාවරත්වය පවත්වා ගැනීමට මාධ්‍ය නාලිකා සහ මාධ්‍ය ආයතන ක‍්‍රියාත්මක වන ආකාරය මෙමගින් සනාථවේ.

වරුණ සංජීව ලියනගේ
SC/PG/MAMM/70

Monday, July 22, 2019




                                                    සමාජ මාධ්‍ය හා තරුණ්‍යයේ හෙට දවස

                          

           
ලෝකය තුළ සිදුවු තාක්ෂණික විපර්යාසයන් අතර නව මාධ්‍ය බිහිවීම යනු සමාජ ක්‍රියාවලියේ සුවිශේෂි සන්ධිස්ථානයකි. එය එසේ වන්නේ අද්‍යතන මානවයාට සිය මුලික අවශ්‍යතා තරමටම නව මාධ්‍ය ජීවිතයේ කොටසක් බවට පත්ව ඇති හෙයිනි. 

මානව සංහතියේ ආරම්භයේ සිටම විවිධ තොරතුරු හුවමාරු කරගැනීමෙහි නිරත වූ මිනිසා සිය අදහස් ආකල්ප අන්‍යෝන්‍ය වශයෙන් හුවමාරු කරගනු ලැබුවේ සංඥා හා සංකේත භාවිතා කරමිනි.  ප්‍රාථමික මිනිසා ක්‍රමයෙන් ශිෂ්ඨාචාර ගතවීමත් සමග තොරතුරු ලබාගැනීමේ සන්නිවේදන ක්‍රමවර්ධනය වන්නට විය. 21 වන සියවසේ අරම්භයත් සමග මුළු ලෝකයම විශ්ව ගම්මානයක් ( Global Village ) බවට පත් කරමින් අන්තර්ජාල මාධ්‍ය ලෝකයට බිහිවිය.

නූතන ගෝලීය සමාජයේ සංස්ථාවන් සහ ඒවායේ වේගවත් ව්‍යාප්තිය සඳහා සන්නිවේදන තාක්ෂණය මඟින් කරනු ලැබ ඇති බලපෑමේ ප්‍රමාණය පසුගිය දශක කිහිපය තුළ ලෝකයේ බොහෝ රටවල්වල දියුණූව දෙස බැලීමෙන් අවබෝධ කර ගත හැක.

පැවැති සාම්ප්‍රදායික සංහතික මාධ්‍යවලයන්ට  අභියෝගයක් වෙමින් අන්තර්ජාල තාක්ෂණය ආශ්‍රිතව ගොඩනැඟුණු නව මාධ්‍ය තුළ බිහිවු ෆේස්බුක් (Facebook), ටිවිටර් ( Twitter), වට්ස්ඇප්  ( Whats-app)   වැනි සමාජ මාධ්‍ය මඟින්  සමස්ත සමාජ විඥානයටම දැඩි බලපෑමක් සිදුකරමින් තිබේ. 

ඒ අනුව එහි වැඩි බලපෑමක් සිදුව තිබෙන්නේ අන්තර්ජාල භාවිතය සමඟ නිතර බැඳී තරුණ පරපුරටයි.තාරුණ්‍ය යනු දිනෙන් දින අලූත්වන සිතිවිලි, ආකල්ප, අදහස් සමඟ ගොඩනැගෙන කාණ්ඩයකි. පසුගිය දශක කිහිපය පුරා තරුණ පරම්පරාව තම ජීවිතයේ අධ්‍යාපන, සංස්කෘතික, සමාජීය භාවිතාවන් සඳහා ආදේශන සපයා ගත්තේ අන්තර්ජාල ප්‍රමුඛ කොටගත් සමාජ මාධ්‍ය භාවිතාවන්ගෙන් බව පෙන්වාදිය හැකිය.

සමාජ මාධ්ය යනු ලොව පුරා සිටින පුද්ගලයින්ට අන්තර්ජාලය හරහා අන්තර් සම්බන්ධ වීමට, කතාබස් කිරීමට සහ අන්තර්ගතය බෙදා ගැනීමට, වීඩියෝ ඇමතුම් එහි පරිශීලකයින්ට ලබා දෙන වෙනත් බොහෝ ක්‍රියාකාරකම් අතරට සම්බන්ධ වන සියලුම යෙදුම් සහ වෙබ් අඩවි හෝ බ්ලොග් වලට ය. යම් පුද්ගලයෙකුට ඕනෑම සමාජ මාධ්‍යයක සාමාජිකයෙකු වීමට නම්, ඔහු හෝ ඇය පළමුව අවශ්‍යවන්නේ අන්තර්ජාල පහසුකමයි. අනතුරුව තාක්ෂණය පිළිබඳ සාක්ෂරතාව මත ඒ ඒ සමාජ මාධ්‍ය ජාලයන්හි  ලියාපදිංචි වී අන්තර්ගතයට ප්‍රවේශ වීමට හැකියාව පවතී. ඒ අනුව එම සමාජ මාධ්‍යය වේදිකාවේදී තම අදහස් වෙනත් පරිශීලකයින් සමඟ බෙදා ගැනීමට හා කතාබස් කිරීමට හැකියාව ඇත. ෆෙස්බුක්, ට්විටර්, වට්ස්ඇප්, ස්නැප්චැට් වැනි පොදු සහ බහුලව භාවිතා වන සමාජ මාධ්‍යන්ගේ සිදුවන්නේ මෙම ක්‍රියාවලියයි.





පසුගිය දශක දෙක තුළ, සමාජ මාධ්‍යය ලොව පුරා මෙතරම් වර්ධනයක් ව්‍යාප්තියක් හා කීර්තියක් අත්පත්කර ගෙන ඇති අතර බොහෝ පර්යේෂකයන් මෙම සමාජ මාධ්‍ය වේදිකා සහ ඒවා ප්‍රජාවට ඇතිකරන බලපෑම  පිළිබඳව වැඩිදුර අධ්‍යයනයන් සිදුකර තිබේ. විශේෂයෙන්ම තරුණ ප්‍රජාව අතරින්  සෑම කෙනෙක්ම පාහේ අවම වශයෙන් එක් සමාජ මාධ්‍යය වේදිකාවක් සමඟ සම්බන්ධ වී සිටියද, මෙම සමාජ වෙබ් අඩවි සදාචාරය, හැසිරීම සහ අධ්‍යාපනය අනුව පවා සමාජයේ තරුණ තරුණියන්ගේ ජීවිතවලට විශාල බලපෑමක් කරන බව පැහැදිලිය.
සමකාලීන අන්තර්ජාල  සන්නිවේදන අවකාශය තුළ විශේෂයෙන්ම තරුණ ප්‍රජාව මුහුණ දී ඇති ප්‍රධානතම අභියෝගයක් සමාජ ජාල සංස්කෘතිය මගින් මෙතෙක් පැවැති ජීවන ශෛලීන්, ආගම්, සංස්කෘතික විටිනාකම් හා නිෂ්පාදන දැඩි යටපත්කිරීමකට ලක්කර ඒ වෙනුවට නව ආදේශක හදුන්වාදීමයි.ඒ අනුව සමාජ මාධ්‍ය භාවිතාව තුළ විවිධ සංස්කෘතීන්, විශ්වාස, පුරුදු වැනි දෑට තරුණ පරපුර යොමුවී තිබේ.
අන්තර්ජාලය පරිහරණයේ වාසි මෙන්ම අවාසි පැවතිය ද අද්‍යතන තරුණ ප්‍රජාව එහි වාසිය නොව අවාසි සහගත දේට වැඩි නැඹුරුවක් පෙන්වයි. එහි ප්‍රතිඵලයක් ලෙස මානසික මෙන්ම සාමාජීය, සොඛ්‍ය  වශයෙන් ඔවුන් අර්බුදයන්ට මුහුණදී තිබීමයි.
    

විශේෂයෙන්ම ෆේස්බුක් (Facebook) ,ටිවිටර් ( Twitter), වට්ස්ඇප් ( Whats-app) වැනි සමාජ මාධ්‍ය වේදිකාවන් (Platform) සමඟ නිරතුරු යාවත්කාලීන වෙමින් සිටින තරුණ ප්‍රජාව ඒ මඟින් විවිධ අපචාරයන්ට ගොදුරුවන බව හදුනාගෙන තිබේ. ව්‍යාජ ගිණුම් සකස් කරමින්, වෙනත් නම්වලින් පෙනී සිටි පුද්ගලයින්ගෙන් මුදල් ලබාගැනීම, විවිධ අපරාධ සඳහා පුද්ගල කණ්ඩායම් ඒකරාශීකරණය වැනි දේ ඒ අතර ප්‍රධානයි.එසේම ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය හරහා ගොඩ නඟා ගනු ලබන සමාජ සබඳතා හේතුවෙන් ලෝකයේ මිනිත්තු 40ට වරක් අපරාධයක් සිදුවන බව වාර්තා වී තිබේ.

සමාජ මාධ්‍ය වෙබ් අඩවි වැඩි පිරිසක් සම්බන්ධ කරගනමින්  ඔවුන් යාවත්කාලීනව සිටින බවක් පෙනෙන්නට තිබුණද, එය සමාජීය වශයෙන් හුදෙකලා වීමට හේතු වන බව විද්වත් මතයයි. තරුණ තරුණියන් අතර මුහුණට මුහුණලා කටයුතු කිරීම අවම වී ඇත්තේ   ඔවුන් වැඩි කාලයක් මෙම ජාලගත සමාජ වේදිකා සඳහා වැය කරන බැවිනි. විවිධ විද්‍යාඥයින් විසින් කරන ලද අධ්‍යයන ගණනාවකින් කරන ලද ඇගයීම්වලින් පෙනී යන්නේ සමාජ හුදකලාව යෞවන වයසේ හා තරුණ වයසෙ පසුවන්නන්ගේ කායික, චිත්තවේගී හා මානසික ගැටලු ගණනාවක් ඇති කළ හැකි බවයි. මෙය මානසික අවපීඩනය, කාංසාව සහ තවත් බොහෝ ගැටළු වලට තුඩු දිය හැකිය. එපමණක් නොව බොහෝ විට සන්නිවේදනයේ දී  කෙටි අක්ෂර හා කෙටි යෙදුම් භාවිතයෙන් වචන අක්ෂර වින්‍යයාසය සහ වචන හා ආකෘතීන් අනිසි ලෙස භාවිතා කිරීමට ද හේතු වේ. මෙය අධ්‍යාපනය ලබන තරුණ ප්‍රජාවට  වැඩි සෘණාත්මක බලපෑමක් ඇති කරන්නේ  එය ඔවුන්ගේ භාෂා හැකියාවන්ට සෘජුවම බලපාන බැවිනි.

එසේම, අවුරුදු දහඅටකට අඩු  යෞවන, යෞවනියන් සමලිංගිකත්වය සහ වෙනත් සාමාන්ය ලිංගික විෂමාචාර වැනි ලිංගික ක්‍රියාවන්ට අන්තර්ජාලය හරහා පෙළඹෙන බව දක්නට ලැබේ. සමහර සමාජ කණ්ඩායම් තුළ අන්තර්ජාලය හරහා ව්‍යාප්ත වන  අසභ්‍ය අන්තර්ගතයන් පිළිබඳව ද මෙම යෞවනයින් නිරාවරණය කරයි. දුරාචාර සාහිත්‍යට සහ වීඩියෝ පටවලට මේ හරහා ප්‍රවේශය ලැබීම නිසා මෙය තරුණයින්ගේ  සදාචාරය ද අඩපණ වීමටද හේතුවී ඇත.


      
සමාජ මාධ්ය වෙබ් අඩවිවල දීර්ඝ කාලයක් ගතකිරීම, තරුණයින් අතර ඵලදායිතාව අඩු කරයි. මෙය තරුණයින්  ස්වයංපෝෂිත නොවීමට හේතු වන අතර ඒ වෙනුවට ඔවුන්ගේ දෙමව්පියන් සහ පවුල් මත යැපීම මත රඳා පවතී. 

අන්තර්ජාලය හරහා සමාජ මාධ්‍යවල නාස්ති වන පැය ගණන ඵලදායී ක්‍රියාකාරකම් වෙත යොමු කළ හැකි අතර එමඟින් කෙනෙකුට ජීවනෝපායක් උපයා ගැනීමට හෝ අධ්‍යාපනයක් ලබාගැනීමට ජාලගත සමාජ මාධ්‍ය වේදිකාවන් මඟින්  අවස්ථාව ලබා ගත හැකි  බව පෙන්වාදිය යුතුය.

සමාජ මාධ්‍යය ද සයිබර් සොරකම් හා හිරිහැර සිදු කරන හොඳ වේදිකාවක් සපයන අතර මෙය අනන්‍යතා සොරකම් කිරීමේ අවස්ථා සහ සම්බන්ධ සිදුවීම්වලට තෝතැන්නකි. මෙය තරුණ තරුණියන්ට අවදානම් ගණනාවක් ඇති කරවන්නක් වන අතර  ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු සොරකම් කළ හැකි බැවින් පරිශීලනයේදී වඩාත් අවධානයෙන් කටයුතු කළ යුතුවේ.

එසේම සමාජ මාධ්‍ය වේදිකා මගින් ප්‍රධාන වශයෙන් වෙනත් පුද්ගලයින්ගේ නම් හෝ දේශපාලන හෝ ආගමික කණ්ඩායම් වැනි වෙනත් උනන්දුවක් දක්වන කණ්ඩායම් වලට කැළලක් ඇති කිරීම අරමුණු කරගත් වැරදි තොරතුරු සහ ප්‍රවෘත්ති පැතිරවීම දිරිමත් කරයි. එවැනි කණ්ඩායම්වල සෘජු ඉලක්කය වන්නේද තරුණ ප්‍රජාවවේ. ඊට හේතුව වන්නේ තරුණයින් බොහෝ විට විමර්ශනයකින් තොරව අදාල කරුණු අන්තර්ග්‍රහණය කරගැනීමත් ඒ මඟින් සමාජ මතයක් හා පෙළඹවීමක් ඇතිකිරීමේ වැඩි හැකියාවක් ඔවුන්ට පැවතීමයි.

කෙසේ නමුත් ජාලගත සමාජ මාධ්‍ය වේදිකාවන් තුළින් තරුණ තරුණියන් සහ සමාජය කෙරෙහි ධනාත්මක බලපෑම් ද සිදුකරන බව පෙන්වාදිය යුතුය.සමාජ මාධ්‍ය තුළ ලොව  සිදුවන සිදුවීම් පිළිබඳව යාවත්කාලීන කිරීම් ඇතුළත් වන අතර ඔවුන්ට ජාලගත වීමටත්, භෞතික හමුවීම්වලින්  තොරව සෙසු තරුණයින් හා මිතුරන් සමඟ සම්බන්ධ වීමටත් හැකිව තිබේ.

උදාහණයක් ලෙස මෙරට අයෙකුට එක්සත් ජනපදයේ සිටින ඔහුගේ හෝ ඇයගේ මිතුරා සමඟ ජාලගත විය හැකි බැවින් එය මිතුරන් අතර දුරස්ථභාවය අඩු කරයි. මීට අමතරව, යෞවනයන්ට ඔවුන්ගේ වෘත්තීන්, ඔවුන්ගේ ජීවිතයේ වෙනත් මානයන්   හා විශ්වාසය මත පදනම්ව සමාජ මාධ්‍ය වේදිකාවල පිටු සහ කණ්ඩායම් නිර්මාණය කළ හැකි අතර, එමඟින් වැඩි සම්බන්ධතා ගොඩනඟා ගැනීමටත්, ඔවුන්ගේ විෂයයන් සඳහා වැඩි අවස්ථාවන් විවෘත කිරීමටත් හැකි වේ. මෙය රැකියා විරහිත තරුණ තරුණියන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කිරීමට පවා හේතු විය හැකිය. බොහෝ තරුණ තරුණියන් පවසනනේ  සමාජ මාධ්‍ය  වේදිකා ඔවුන්ගේ ජීවිත විනෝදජනක, කාර්යක්ෂම හා පහසු කරවන අතර ඔවුන්ගේ ජීවන රටාව බවට පත්ව ඇති බවයි.
   



සමස්තයක් ලෙස අන්තර්ජාල සමාජ මාධ්‍ය තරුණ තරුණියන්ට ධනාත්මක හා සෘණාත්මක බලපෑම් ඇති කරන බව පැහැදිලිය. ඒ අනුව  වෙබ් අඩවි භාවිතා කිරීම දිගටම කරගෙන යා යුතුද නැතිනම් ඒවායේ භාවිතය නැවැත්විය යුතුද යන්න පිළිබඳව නිගමනය කරනවා වෙනුවට සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් එහි ප්‍රතිගාමී හා අගතිගාමී තත්ත්වයන් පිළිබඳ නිවැරදි දැනුමක් හා භාවිතය සම්බන්ධයෙන් වු නිවැරදි මඟපෙන්වීමක් නිවස,පාසල, සේවා ස්ථානය යෞවනයින් සහ තරුණයින් වඩා සමීප ස්ථාන වලින් හා පුද්ගලයින්ගෙන් ලබාදීම අනිවාර්ය වේ. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය අනිසි ලෙස භාවිතා කිරීමේ  හෝ අධික ලෙස භාවිතා කරන විට එයින් සිදුවන අහිතකර බලපෑම් පිළිබඳව ඔවුන්ට අනතුරු ඇඟවිය යුතුය. අධ්‍යාපන විෂය මාලාව මඟින් ද මේ පිළිබඳ නිවැරදි දැනුමක් හා අවබෝධයක් ලබාදෙන්නේ නම් මෙරට තරුණ පරපුර සමාජ මාධ්‍යයේ ධනාත්මක ප්‍රවේශයන් ඔස්සේ  තමන්ටත් රටටත් යහපත් කාර්යභාරයක් ඉටුකරනු ඇත.

මනෝජ් බුද්ධික ආනන්ද 
SC/MAMM/2018/2019/25

Sunday, July 21, 2019

රූපවාහිනී ප‍්‍රවෘත්ති තුළින් නිරූපණය වන සමාජ යථාර්ථය.


රූපවාහිනී නාලිකාවක කැඩපත මෙන්ම කවුළුව වන්නේ ද ප‍්‍රවෘත්ති විකාශයයි. ඒ නිසා ම එම නාලිකාවේ ප‍්‍රමුඛතම කාලය ප‍්‍රවෘත්ති සඳහා වෙන් කරයි. එය වාණිජ වටිනාකමකින් වැඩි ම අගයක් ගන්නා ගුවන් කාලය ද වේ.  ඕනෑ ම නාලිකාවක සැබෑ හැඩරුව වටහා ගැනීමට හැකිවන්නේ ද ප‍්‍රවෘත්ති විකාශය තුළිනි. දේශීය මෙන් ම අන්තර්ජාතිකව ද මෙය සාධාරණ වූවකි. ලෝකයේ සෑම තැන ම සෑම තප්පරයකම බොහෝ දේ සිදු වේ. ඒ සියල්ල ප‍්‍රවෘත්ති විකාශයකින් ඉදිරිපත් කළ නො හැකි ය. මෙහිදී තෝරා ගැනීමක් අනිවාර්යයෙන් ම සිදු වේ.

ඒ තෝරාගැනීම සිදු කරනුයේ කුමන පදනමකින් ද? ඒ  යථාර්ථය ක‍්‍රියාවට නගනු ලබන්නේ ඒ ඒ නාලිකාවන්ගේ න්‍යාය පත‍්‍ර අනුව වේ. ඒ න්‍යාය පත‍්‍ර ග‍්‍රාහකයට සෘජුව ම තේරුම් ගැනීමට අපහසු වේ. එම ආයතනික න්‍යාය පත‍්‍රය ග‍්‍රාහකයට තේරුම් ගැනීමට හැකි ප‍්‍රබලත ම රූපවාහිනී වැඩසටහන ප‍්‍රවෘත්තීන් වේ. එහෙත් සමාජ දේශපාලන සිදුවීම් තම ස්වාමියාගේ න්‍යාය පත‍්‍රයට ප‍්‍රතිවිරුද්ධයයි සිත බැහැර කළ නොහැකි අතර ප‍්‍රවෘත්ති ගොඩනැගීමේ දිශානතිය අනුව එය වෙනස් කරගනී. 

"ප‍්‍රවෘත්ති ජලය මෙනි. ජලය බහාලන භාජනයේ ස්වරූපය අනුව ජලයේ ස්වරූපය දැකගත හැකි ය"


එය මාධ්‍ය ලෝකයේ පවතින කියමනකි. සිද්ධීන් ඒ ආකාරයෙන් වාර්තා කිරීම මාධ්‍යයේ මූලික කාර්යභාරය වේ. සිද්ධි වාර්තාකරණයෙන් එහා ගිය අර්ථකථන සැපයීමට යාමෙන් සැබෑ පුවත් යටපත් වී විකෘතීන් ඉදිරියට පැමිණේ. එය ග‍්‍රාහකයා දුෂ්කරතාවට පත් කරවන්නක් වේ. මෙහිදී ග‍්‍රාහකයා සැබෑව වටහා ගැනීමට නම් මාධ්‍ය ආයතන පසුපස ඇති න්‍යාය පත‍්‍රය හඳුනාගත යුතුව ඇත. එය පොදු ජනයාට හෙවත් ග‍්‍රාහකයට අපහසු කටයුත්තක් වේ. 


ජනමාධ්‍ය මගින් ඉදිරිපත් කළ වැඩසටහන් මධ්‍යස්ථ තොරතුරු ජනතාවට ඉදිරිපත් කරන බව දැන්වෙන තවත් මිත්‍යා මතයකි (The myth of neutrality). ගුවන්විදුලි යන්ත‍්‍ර, පුවත්පත්,  සඟරා,  රූපවාහිනී වැනි සෑම මාධ්‍යයක් ම වාණිජ ව්‍යාපාර ලෙස ක‍්‍රියාත්මක වන නිසා,  මධ්‍යස්ථභාවයක් අපේක්ෂා කළ නොහැක. අවම තරමින් වැඩසටහන් සම්පාදකගේ අදහස් මත හෝ පක්ෂපාතී වේ. 1969 ජනවාරි සිට 19 ජුලි දක්වා රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකයින්ට උසාවිවලට පෙනී සිටීමට සිතාසි 02 ක් නිකුත්කර ඇත. ඔවුන්ට චෝදනා ලෙස රජයට විරුද්ධව චෝදනා කිරීම,  රජයේ නීති උල්ලංඝණය කිරීම යන හේතු දක්වා ඇත. ධවල මන්දිර රූපවාහිනී ප‍්‍රවෘත්තිය මෙන් වුව ද එක්සත් ජනපද රූපවාහිනී සම්පූර්ණ ව්‍යුහය එනම් ප‍්‍රවෘත්ති සිට රූපවාහිනී නාට්‍ය දක්වා ම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පක්ෂව කොමියුනිස්ට් විරෝධී ස්වභාවයක් ගන්නා බවත්,  එම රූපවාහිනී ව්‍යුහය, වාර්ගික, පහසුකම් හා දේශනයක අදහස් ඵලදායි පෙනෙන බවත් දක්නට උසාවිය තුළ මාධ්‍ය ක්ෂේත‍්‍රයට මධ්‍යස්ථභාවය ව්‍යාජයක් වේ. අමෙරිකානු රූපවාහිනී වැඩසටහන් සම්බන්ධව විග‍්‍රහ කිරීමේදී වෙනස් නොවන,  මිනිස් ස්වභාව ධර්මය පිළිබඳ මිත්‍යා මතයක්, (The myth of unchanging human natur) බිහිවී ඇත. අමෙරිකානු රූපවාහිනී වැඩසටහන්වලින් පෙන්වන සමාජය හවුමික් නැතැයි කියන මිත්‍යා මතය (The myth of the Absence of social conflict) රූපවාහිනියේ පවත්නා පන්ති එලෙස තහවුරු කිරීමකි. 

මේ අනුව සමාජ කැඩපතක් හෝ කවුළුවක් ලෙස රූපවාහිනී මාධ්‍ය ප‍්‍රවෘත්ති විමසීම දුෂ්කර වුවකි. රූපවාහිනී සංස්කෘතිය (Television culture) නමින් ග‍්‍රන්ථයක් ලියන  ජෝන් ෆිස්ක් (John Fisk)  ප‍්‍රකාශ කරන්නේ ජනතා අපේක්ෂා හා ඔවුන්ගේ සමාජ නියෝජනයන් ප‍්‍රවෘත්ති තුළින් පිළිඹිබු විය යුතු වුවත්, සැබවින් ම සිදුවන්නේ ඉන් අඩක් පමණක් බවයි.

19 වන සියවසේ ජීවත් වූ චාර්ල්ස් ඩානා (Charles  Dana)  මෙන් ම නිව්යෝර්ක් සන් (New York Sun) කර්තෘ ජෝන් බෝගාර්ට් (John Bogart)  ප‍්‍රකාශ කළ ආකාරයට  "බල්ලෙක් මිනිසෙකු සපාකෑම ප‍්‍රවෘත්තියක් නොවේ. එහෙත් මිනිසෙක් බල්ලෙකු සපාකෑම ප‍්‍රවෘත්තියකි" යන නිර්වචනයෙන් එහා ගිය අවශ්‍යතාවක් වර්තමානයේ ප‍්‍රවෘත්ති ඇසුරින් සමාජය බලාපොරොත්තු වේ.

සටහන - ඔමායා කෝවිලගොඩගේ.
SC/MAMM/2018/2019/24

ප‍්‍රවෘත්ති මාධ්‍යවේදීන් සඳහා වූ වෘත්තීය ප‍්‍රතිපත්ති මාලාව බලාත්මක ද?





මිනිසා සාමාජීය පුද්ගලයෙකු වශයෙන් ස්ථාපිත වීමත් සමගම ප‍්‍රවෘත්ති දැනගැනීමේ කුතුහලය, ආශාව විසින් සෑම මිනිසෙකු ම පොළඹවනු ලැබූ බව ඓතිහාසික සත්‍යයකි. අතීතයේදී ත්, වර්තමානයේදී ත් මෙම පොදු මානව හැඟීම මත ක‍්‍රියාකිරීමේදී සමාජයක් තුළ සන්නිවේදන කාර්යයේදී, සමාජයේ වැඩි පිරිසක් උනන්දුවක් දක්වන දේ ප‍්‍රවෘත්ති ලෙස හඳුනාගෙන ඇත.

නමුත් වර්තමානයේ ප‍්‍රවෘත්ති වශයෙන් කරුණු තොරතුරු සමාජගත වීමේදී එමගින් පුද්ගලයාගේ මානව අයිතිවාසිකම් උල්ලංඝණය වන ආකාරයක් දැකගත හැකි ය. මිනිසෙකු වශයෙන් පුද්ගලයෙකු භුක්ති විදින ප‍්‍රධානත ම අයිතිවාසිකම වන්නේ ජීවත්වීමේ අයිතිය වේ. තව ද ප‍්‍රකාශනයේ නිදහස හෙවත් තමා දරන මතයන් පිළිබඳ අදහස් ඉදිරිපත් කිරීමට ඇති අයිතිය ද පුද්ගලයෙකු වශයෙන් ලබා ඇති මූලික අයිතිවාසිකමකි.

 මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනයේ 19 වන වගන්තියේ, ලේඛනයේ හා ප‍්‍රකාශනයේ නිදහස දක්වා තිබේ. එම නිදහස විශ්ව ප‍්‍රකාශනයේ 29 (2) හා 30 වගන්තිවලින් සීමා කර තිබේ. ඒ මෙසේ ය. 

29 (2) වගන්තිය.
      ”සමාජයේ කිසිවෙකුට හිංසා හා පීඩා වන ලෙස සිය අයිතිවාසිකම් හා නිදහස භාවිත නොකළ යුතු ය”

විශ්ව ප‍්‍රකාශනයේ 30 වන වගන්තියට අනුව ”අන්‍යයන්ගේ අයිතිවාසිකම් අහිමි කරන අන්දමින් අපට කැමති දෙයක් ප‍්‍රකාශ කළ නොහැකි ය.” යන්න සඳහන් වේ. මෙයින් අවධාරණය කරන්නේ ”අප කැමති දෙයක් ප‍්‍රකාශ කළ හැකි ය” යන පරම අයිතිය භාෂණයේ නිදහසට ඇතුළත් නොවන බව ය. 


සිවිල් හා දේශපාලන හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය. 

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ 19 වන වගන්තියෙන් ලබා දී තිබෙන අදහස් ප‍්‍රකාශ කිරිමේ නිදහස හෙවත් ලේඛනයේ, භාෂණයේ හා ප‍්‍රකාශනයේ නිදහස එම වගන්තියේ ම (3) වන  ඡ්‍දෙයේ (අ) සහ (ආ) උප වගන්ති මගින් සීමා කර තිබේ. එනම්, මෙම වගන්තියේ 2 වන ඡ්‍දෙයෙහි ප‍්‍රතිපාදිත අයිතිවාසිකම් ක‍්‍රියාත්මක කිරීමේදී ඒ හා බැඳුණු විශේෂ යුතුකම් හා වගකීම් තිබේ. එසේ හෙයින් එය ඇතැම් සීමා කිරීම්වලට යටත් විය හැකි ය. එහෙත් මේ කිසිවක් නීතියෙන් විධිවිධාන සැලසුණු හා යට දැක්වෙන ආකාරයේ ඒවා පමණක් විය යුතු ය. 

(අ) අනෙකාගේ / අන්අයගේ අයිතිවාසිකම්වලට හා කීර්ති නාමයන්ට ගරු කිරීම සඳහා. 
(ආ) ජාතික ආරක්ෂාව හෝ ජනතා විනය හෝ මහජන සාමය හෝ සදාචාරය හෝ රැකීම සඳහා නීතියෙහි ලා විධිවිධාන සලස්වා ඇත්තාවූ ද, අවශ්‍ය වන්නා වූ ද ඒවා විය යුතු ය. 

අන්‍යයන්ගේ අයිතිවාසිකම්වලට හා කීර්ති නාමයන්ට ගරු කළ යුතු බව ඉතාමත් පැහැදිලිව සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ දක්වා තිබේ. මෙයින් ගම්‍ය වන්නේ තමා ලියන, කියන හා ප‍්‍රකාශයට පත්කරන දේ තුළින් සමාජයේ ජීවත්වන පුද්ගලයින්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම හෝ ඔවුන්ගේ කීර්ති නාමයට කැළලක් වන අයුරින් අපහාස කිරීම හෝ නොකළ යුතු බව ය. එනම්, මාධ්‍යවේදියා වගකීමකින් යුතුව ආචාර ධර්මානුකූලව කටයුතු කළ යුතු බව ය. එසේ ම ඔහු ලියන, කියන ප‍්‍රකාශයට පත් කරන දේ තුළින් ජාතික ආරක්ෂාවට, මහජන සාමයට, මහජන සෞඛ්‍යයට හා සදාචාරයට හානියක් සිදු නොකළ යුතුය යන්න ද මේ වගන්තිවලින් අවධාරණය කර තිබේ. 



මාධ්‍යවේදීන් සඳහා වූ වෘත්තීය ප‍්‍රතිපත්ති මාලාව.

මෙය ශ‍්‍රී ලංකා කර්තෘ සංසදය විසින් සම්පාදනය කරනු ලැබ ශී‍්‍ර ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම විසින් පිළිගැනුණු මාධ්‍ය වෘත්තීය ප‍්‍රතිපත්ති (ආචාරධර්ම) සංග‍්‍රහයයි.

x පූර්විකාව.

පුවත්පත් ප‍්‍රකාශන සමාගම්, කර්තෘවරු සසහ ඔවුන්ගේ පුවත්පත් කලාවේදීන්/වේදිනියන් මෙන්ම මුද්‍රිත සහ අන්තර්ජාල ලියුම්කරුවන්, කෙරෙහි බලපාන මේ මාධ්‍ය වෘත්තීය ප‍්‍රතිපත්ති සංග‍්‍රහය, ශී‍්‍ර ලංකා මාධ්‍ය නිදහස්ව ද පාඨක අවශ්‍යතා සහ අපේක්ෂා පිළිබඳ වගකීමෙන් හා සංවේදිතාවෙන් යුතුව ද පවත්වා ගැනීමත්  ඒ අතරම පුවත්පත් කලාවේ උසස්තම ප‍්‍රමිති ආරක්ෂා කිරීමත් අරමුණු කොට ගත්තකි.

මාධ්‍ය නිදහසට එරෙහිව ක‍්‍රියාත්මක වන විකෘති වාණිජත්වයෙන් හො පටු ආත්මාර්ථයේ අනිසි බලපෑමෙන් ද නිර්බාධකව නිරවද්‍යතාව හා වෘත්තීය අව්‍යාජත්වය උදෙසා දරන ප‍්‍රයන්තය ද පොදු ජන සුභ සිද්ධිය සඳහා ගවේෂණාත්මක පුවත්පත් කලාවේ උසස්තම සම්ප‍්‍රදාය සහතික කිරීම ද මේ මාධ්‍ය වෘත්තීය ප‍්‍රතිපත්ති සංග‍්‍රහයෙන් ප‍්‍රයත්න දැරේ. සිය ස්ථීර මත දැරීමේ හා ප‍්‍රකාශයට පත් කිරීමේ නිදහස පුවතත්පතටත්, පුවත්පත් කලාවේදීන්ටත්/වේදිනියන්ටත් හිමි වන අතරම අන්‍යයන්ගේ අදහස් කෙරෙහි නිසි සැලැකිලි දැක්වීමටත් සමාජය කෙරෙහි සිය වගකීම් පිළිබිඹූ කිරීමේ උත්සහයක යෙදීමටත් පුවත්පත් හා පුවත්පත් කලාවේදීහු වග බලා ගත යුත්තෝය.

මේ මාධ්‍ය වෘත්තීය ප‍්‍රතිපත්ති මාලාව, පුද්ගලයාගේ අයිතිය මෙන්ද කරුණු දැන ගැනීමට පොදු ජනතාවට ඇති අයිතිය ද ආරක්ෂා කරයි. ඒ අයිතිය ප‍්‍රකාශනයෙන් මෙන්ම හරයෙන් ද සම්පූර්ණයෙන්ම ආරක්සා විය යුතු අතරම පුද්ගල අයිතිය කෙරෙහි දැක්වෙන ගෞරවයට අදාලව එහි අන්තර්ගත වගකීම අන්කිසිවකට හිලවු වන තරමට පටු අන්දමින් හෝ පොදු ජන සුභ සිද්ධිය උදෙසා කෙරෙන ප‍්‍රකාශය වැළැකෙන තරමට පුළුල්ව හෝ නිර්වචනය නොවිය යුත්තේය.

පැමිණිලි විසඳීමේ දී කර්තෘවරුන්/වරියන් ශ‍්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම සමග ක්ෂණික සහයෝගිතාවෙන්කටයුතු කළ යුතුය. වෘත්තීය ප‍්‍රතිපත්ති මාලාව උල්ලංඝනය කර ඇතැයි නිගමනය වන සෑම ප‍්‍රකාශනයක්ම එම තීන්දුව නිසි ප‍්‍රමුඛතාවක් හා පුවත්පත් පැමිණිලි කොමිසම පිළිබඳ සඳහනක් සහිත සිරස්තලයක් ද ඇතිව පළ කල යුත්තේය.

x නිරවද්‍ය වාර්තාකරණය.

නිවැරැදිවත් විකෘතියකින් තොරවත් ප‍්‍රවෘත්ති පළ කිරීම ඡායාරූප හා වෙනත් අනුරූප නිවැරදිව සහ විකෘති කිරීමකින් තොරව පළ කිරීම සඳහා මාධ්‍ය, සාධාරණ පරෙස්සමකින් ක‍්‍රියා කළ යුත්තේය. සැලකිය යුතු සෑම අනුරූපමය ඩිජිටල් වෙනස් කිරීමකම ඒ බව සඳහන් කළ යුතුය.

වාර්තාවල නිරවද්‍යතාව, එය පළ කෙරෙන්නට කලින් සොයා බැලීම සඳහා කර්තෘවරුන් ඒ ඒ පුවත්පත් කලාවේදියෝත් සෑම සාධාරණ ප‍්‍රයන්තයක්ම දැරිය යුත්තෝය. එවැනි සොයා බැලීමක් ප‍්‍රායෝගිකව නොකළ හැකි අවස්ථාවක දී ඒ බව වාර්තාවෙහි සඳහන් කළ යුතුය.

කර්තෘවරුන්/වරියන්, බාහිර ලේඛකයන්/ලේඛිකාවන් ඇතුළු කාර්ය මණ්ඩලයත් අසත්‍ය හෝ නිවැරැදි නොවන බව තමන් දන්නා වූ ද එසේ යැයි විශ්වාස කිරීමට තමන්ට හේතු ඇත්තාවූ ද කිසිදු කරුණක් තහවුරු වන අන්දමින් පළ නොකළ යුත්තේය.

පොදු ජන සුභ සිද්ධිය සඳහා ගවේෂණාත්මක පුවත්පත් කලාවෙහි නියැලෙන ලෙස ප‍්‍රකාශන දිරිමත් කෙරේ.

විකෘති කිරීම් වලින් වැළකිය යුතුය. සුදුසු පරිදි ජනතාවගේ වෙනත් කටයුතු ආරෝපණය කර දැක්විය යුත්තේ අදාලත්වය අනුවය.
මාධ්‍ය, අර්ථ නිරූපන, අනුමාන සහ කරුණු පැහැදිලිව වටහාගත යුතුය.

x නිවැරදි කිරීම් හා සමාව අයැදීම.

වාර්තාවක් කරුණු අතින් වැරැදි යැයි කර්තෘට පෙනී යන අවස්ථාවකදී එය නිසි ප‍්‍රමුඛතාවක් හා යෝග්‍ය වන්නේ නම් සමා අයැදීමක් ද ඇතිව, එම නිවැරැදි කිරීම හා සමා අයැදීම පීඩිත පාර්ශවයේ කැමැත්තට පටහැනි වන අවස්ථාවක දී හැර, අනෙක් සෑම විටකදීම වහාම නිවැරැදි කළ යුත්තේය.

x පිළිතුරු දීමට අවස්ථා.

කරුණු අතින් සාවද්‍ය ප‍්‍රකාශන නිසා පුද්ගලයන්ගේ හෝ සංවිධානවල හෝ කීර්තියට, ගෞරවයට, නම්බුවට, හැඟීම්වලට, පෞද්ගලිකත්වයට හා නිලයට හානි සිදුවන්නේ නම්, ඒ ප‍්‍රකාශන වලට පිළිතුරු දීම සඳහා සාධාරණ හා යුක්ති සහගත අවස්ථාවක් ඒ පුද්ගලයනට හෝ සංවිධානවලට හො දිය යුත්තේය. 

වරද ගැන සමාව අයැදීම හෝ කනගාටුව පළ කිරීම වෙනුවට පැමිණිලිකරුගේ/පැමිණිලිකාරියගේ පිලිතුරට ප‍්‍රතිචාර දක්වන කතුවරු හෝ පුවත්පත් කලාවේදියෝ ඊට පිළිතුරු දීමේ තවත් අවස්ථාවක් අතෘප්ත පාර්ශවයට සලසා දීමට සූදානම් විය යුත්තෝය.

x රහස්‍ය මූලාශ‍්‍ර.

තොරතුරුවල රහස්‍ය මූලාශ‍්‍රය, එය අනාවරණය කිරීමේ අවසරය ඒ මූලාශ‍්‍රයෙන්ම නොලැබෙන තෙක් හෙළිදරව් නොකිරීමේ සදාචාරාත්මක වගකීමක් සෑම පුවත්පත් කලාවේදියෙකුටම/වේදිනියකටම ඇත්තේය.

x පොදු වාර්තාකරණය හා ලිවීම.

කම්පන හෝ හිත් වේදනා ඇති කරන ආකාරයේ සමාජ ප‍්‍රශ්න, එනම්, කෲරත්වය, ප‍්‍රචණ්ඩත්වය, මත්ද්‍රව්‍ය අපයෝජනය, දුෂ්ටත්වය, පරපීඩා/කාමුකත්වය, ලිංගික පීඩනය හා අශිෂ්ටත්වය ද යනාදිය පිළිබඳ කරුණු වාර්තා කිරීමේ දී ඊට සම්බන්ධ ඡුායාරූප හා චිත‍්‍ර, අවශ්‍ය සංවේදීතාවෙන් හා විචාර බුද්ධියෙන් යුතුව මෙන්ම පොදු ජන යහපත උදෙසා කරුණු ප‍්‍රකාශයට පත් කිරීම පිළිිබඳ තමන්ගේ වගකීමට යටත්ව ද ඉදිරිපත් කිරීමට පුවත්පත විශේෂයෙන් සැලැකිලිමත් විය යුත්තේය.

අපරාධ හා අපරාධ නඩු පිළිබඳ තොරතුරු හා වාර්තා කිරීමේදී ප‍්‍රකාශන නීතියෙන් හා පොදු ජන යහපත පිළිබඳ සාධකයෙන් ද යන දෙවිදියෙන්ම අවසර ලැබෙතොත් විනා එසේ නොවේ නම්, 

!. ලිංගික අපරාධවලට  ලක්වූවන්ගේ නම් හෙළිදරවු නොකළ යුතුය.
2. සාපරාධී වරදක් සම්බන්ධයෙන් චෝදනා ලත් වයස අවුරුදු 16 ට අඩු හා පෙර දඬුවම් නැති  කිසිදු                 බාලයෙකුගේ නම, කරුණු දැන දැනම අනාවරනය නොකළ යුතුය.  
3. අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා හෝ දඬුවම් හෝ ලැබූ පුද්ගලයෙකුගේ ඥාතීන්ගේ අනන්‍යතාවය ඔවුන්ගේ කැමැත්ත නැතිව හෙළිදරව් නොකළ යුත්තේය.

පුවත්පත් කලාවේදියෙක් දැන දැනම හෝ හිතාමතා හෝ ජනවාර්ගික හෝ ආගමික අසමගියට හෝ ප‍්‍රචණ්ඩත්වයට අනුබල නොදිය යුත්තේය. 

පුද්ගලයෙකුගේ වර්ගය, වර්ණය, ආගම හා ලිංගිකත්වය පිළිබඳවත් ශාරීරික හෝ මානසික රෝගාබාධ පිළිබඳවත් අගති සහගත හා අවඥා සහගත කරුණු සඳහන් කිරීමෙන් පුවත්පත් වැළැකිය යුත්තේය.

පුද්ගලයෙකුගේ වර්ණය, කුලය, ආගම, ලිංගික නැඹුරුතා ශාරීරික හෝ මානසික රෝගාබාධ පිළිබඳ විස්තරය, කතාවට සෘජුවම අදාළ වන්නේ නම් විනා, එසේ නැතිව ප‍්‍රකාශයට පත් කිරීමෙන්වැළැකිය යුත්තේය.

සිය දිවි නසා ගැනීම් වාර්තා කිරීමේදී, ඒ ජීවිත හානිය සඳහා යොදා ගැනුණු උපක‍්‍රමය පිළිබඳ පමණට වැඩි විස්තර ඉදිරිපත් නොකිරීම විය යුතුය.
   
x පෞද්ගලිකත්වය.

පුද්ගලයන්ගේ පෞද්ගලික හා පවුල් ජීවිත ඔවුන්ගේ ගේ දොර, සෞඛ්‍යය හා සහසම්බන්ධතා ද සංඛ්‍යාංක සන්නිවේදනය කෙරෙහි ගෞරවයක් දැක්වීමෙහිලා පුවත්පත් විශේෂ සැලැකිල්ලකින් ක‍්‍රියා කළ යුත්තේය. පෞද්ගලිකත්වයට ඇති මේ අයිතිය අදාළ පුද්ගලයන්ගේ කැමැත්තෙන් තොරව ආක‍්‍රමණය කිරීම සාධාරණීකරණය කළ හැක්කේ පොදු ජන සුභ සිද්ධිය ඒ සියල්ල ඉක්මවා යන්නේ නම් පමණකි.

පෞද්ගලිකත්වය පිළිබඳ සාධාරණ අපේක්ෂාවක් පවත්නා පෞද්ගලික හෝ පොදු තැනක සිටින පුද්ගලයන් ඔවුන්ගේ කැමැත්ත නැතිව ඡායාරූපගත කරනු සඳහා දිගු කාච සහිත හෝ වෙනත් ආකාරයක කැමරා භාවිතය, පොදු යහපත පිණිස නොවන්නේ නම්, එය පිළිගත නොහැක්කේය.

ශෝකය හෝ කම්පනය හා සම්බන්ධ සිද්ධි පිළිබඳ කරුණු විමසීමේදීත් ඒ සඳහා ඒවාට සමීපවීමේදීත් නිසි සංවේදීතාවෙන් හා ස්ථානෝචිත ප‍්‍රඥාවෙන් ද කටයුතු කිරීමට පුවත්පත් කලාවේදීහු විශේෂයෙන් සැලැකිලිමත් විය යුත්තෝය.

සිය පාසල් සමය අනවශ්‍ය අත පෙවීම්වලින් තොරව සම්පූර්ණ කර ගන්නට බාලයනට නිදහස තිබිය යුතුය. ළමයෙකුගේ පෞද්ගලික ජීවිතය හා සම්බන්ධ කරුණු ප‍්‍රකාශයට පත් කිරීම පිළිගත හැකි කාර්යයක් වනු ඇත්තේ ඔහුගේ හෝ ඇගේ පවුලේ හෝ භාරකරුගේ කීර්තිය, ප‍්‍රසිද්ධිය හා තත්ත්වය හැර අනෙක් කරුණක් පොදු ජන සුභ සිද්ධිය උදෙසා වන්නේ නම් පමණි.

පෞද්ගලිකත්වය ආක‍්‍රමණය කිරීමට එරෙහි තහංචි, රෝහල් වල හෝ සමාන වෙනත් ආයතන වල හෝ සිටින පුද්ගලයන් පිළිබ`ද විමසීම්වලට විශේෂයෙන් අදාළ වන්නේ එය පොදු ජන සුභ සිද්ධිය පිණිස වන්නේ නම් පමණි.
 
x   හිරිහැර හා කපටිකම්.

බිය වැද්දීමෙන් හෝ හිරිහැර කිරීමෙන් හෝ වැරැදි කරුනු ඉදිරිපත් කිරීමෙන් හෝ කපටිකමින් හෝ තොරතුරු හෝ ඡායාරූප ලබා ගැනීමට ඡායාරූප ශිල්පීහු ද ඇතුළු පුවත්පත් කලාවේදීහු තැත් නොකළ යුත්තෝය. පොදු ජන යහපත පිළිබඳ සාධකයෙන් සාධාරණීකරණය කළ නොහැකි නම් හා වෙනත් පිළිවෙළකින් තොරතුරු ලබා ගත හැකි නොවිණි නම් දිගු කාච, කැමරා හෝ ශ‍්‍රවණ උපකරණ, පුද්ගලික අන්තර් නිරෝධනය, ජංගම දුරකථන ඇමතුම්, විද්‍යුත් තැපෑල හෝ පිණිවිඩ භාවිතා නොකළ යුත්තෝය.

x වෘත්තීය ගෞරවය.

සෑම මාධ්‍යවේදියෙකුම අවංකත්වය සමග කටයුතු කළ යුතුය. සහ ඔවුන්ගේ කාර්යය ඉටු කිරීමේදී ගෞරවය ආරක්ෂා කිරීමට වගබලා ගත යුතුය.

අභිරුචිය පිළිබඳ ගැටුම් ඇති වන අවස්ථාවලින් වැලකිය යුතුය. 

තමා සම්බන්ධ යම් පුවතකට අදාළව සමීප පෞද්ගලික සබඳතා පවතීනම් හෝ තමන්ගේ ගෞරවයට හානිවන අන්දමට ත්‍යාග දීම හෝ ගැනීම හේතුවෙන් කිසියම් ගැටුම්කාරී තත්ත්වයක් වැළැක්විය නොහැකි වන්නේ නම්, පුවත්පත්කලාවේදීන්/වේදිනියන් විසින් ඒ බව තමන්ගේ කර්තෘට හෝ වගකිවයුතු ප‍්‍රධානියෙකුට හෝ දැන්විය යුතුය. 

එවැනි ගැටුමක් නොවැළැක්විය හැකි නම් එය සාමාන්‍යයෙන් පාඨකයාට අනාවරණය කළ යුතුය.

මේ සඳහා නීති පනවා නොමැති වුවත්, සාමාන්‍යයෙන් ප‍්‍රකාශයට පත්වීමට ප‍්‍රථමයෙන් තමන්ට ලැබෙන මූල්‍ය තොරතුරු වලින් තමන්ට ලැබෙන යහපත ගැන නොසලකා පුවත්පත්කලාවේදීන්/වේදිනියන් විසින් එවැනි තොරතුරු අනෙක් අයගේ යහපත සඳහා ලබා නොදිය යුතුය.

පුද්ගලයන් හෝ ඔවුන්ගේ පවුල්වල අය විසින් පවත්වාගෙන යනු ලබන කොටස් හෝ සුරැකුම්පත් හි සැලකිය යුතු මූල්‍ය ප‍්‍රතිලාභ ඇති බව හිමිකරුට (ප‍්‍රකාශකයාට), කර්තෘට හෝ මූල්‍ය කර්තෘට දැනුම්දීමකින් තොරව පුවත්පත් කලාවේදීන්/වේදිනියන් ඒ පිළිබඳව ලිවීම නොකළ යුතුය.

ව්‍යාපාරික හෝ කර්තෘ මණ්ඩල නොවන පාර්ශව මගින් ගෙවීම් හෝ වෙනත් ප‍්‍රතිලාභ දෙනු ලබන දැන්වීම් ප‍්‍රචාරණය හෝ ප‍්‍රවර්ධනය සඳහා ලියා ඇති ලිපි ලේඛනවල ඒබ ව පැහැදිලිවම සදහන් කළ යුතුය. කර්තෘ මණ්ඩල කාරණෘ වෙනුවෙන් ගෙවීම් ලැබීම හෝ භාර ගැනීම නොකළ යුතුය.

➤අර්ථ නිරූපණය.

”මහජන යහපත යනු, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය, අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස සහ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ජනතාව විසින් තෝරාපත්කර ගනු ලැබූ නියෝජිතයින් ගේ සහ රජයේ ක‍්‍රියාකලාප පිළිබඳව ජනතාව දැනුවත් කිරීම.”

මතු දැක්වෙන කරුණුද ඇතුළත් වේ. එසේ වුවත් එම කරුණුවලට සීමා වී නොමැත. 

1. අපරාධයක් හෝ තර්ජනය කිරීමක් සොයාගැනීම හෝ හෙළිදරව් කිරීම. 
2. පුද්ගලයෙකු හෝ සංවිධානයක් නෛතික බැඳීම් වලට අවනත වීමට අපොහොසත් වීම හෝ අපොහොසත් වන බව පෙනීයාම අනාවරණය කිරීම. 
3. යුක්තිය නොතකා හැරීම් අනාවරණය කිරීම.   
4. තදබල ලෙස නොහොබිනා කටයුතු වල යෙදීම, අචාරධර්ම වලට පටහැනි ලෙස හැසිරීම හෝ ජනතාව සම්බන්ධයෙන් නොහැකියාවෙන් ක‍්‍රියා කිරීම යන 
    වැදගත් කරුණු සඳහා ප‍්‍රසිද්ධ විවාද පැවැත්වීම හෝ දායකත්වය ලබාදීම.
5. සැඟවී සිටීම සැඟවී සිටීමට තැත් කිරීම හෝ ඉහත දැක්වෙන  ඕනෑම දෙයක්.   
6. මහජන සෞඛ්‍ය සහ සෞඛ්‍යාරක්ෂාව සහ සමාජ, සංස්කෘතික සහ අධ්‍යාපනික සම්මත ආරක්ෂා කිරීම.   
7. පුද්ගලයෙකු හෝ සංවිධානයක් මගින් යම් ප‍්‍රකාශනයක් හෝ ක‍්‍රියාවකින් මහජනතාව නොමග යැවීමෙන් ආරක්ෂා කිරීම.

කවර තත්ත්වයක් යටතේ වුව ද පොදු ජන සුභ සිද්ධිය අදාළ වන අවස්ථාවක දී එය යථා පරිදි ඉටු වී තිබේ ද යන වග පැහැදිලිව දක්වන සම්පූර්ණ විස්තරයක් ඉදිරිපත් කරන ලෙස කතුවරයාගෙන් හා/හෝ පුවත්පත් කලාවේදියාගෙන්/වේදිනියගෙන් ඉල්ලා සිටීමේ අයිතිය පුවත්පත් පැමිණිලි කොමිසමට ඇත්තේය.
   
         ➤අන්තර්ජාල ප‍්‍රකාශන.

මෙම වෘත්තීය ප‍්‍රතිපත්ති මාලාවේ විධිවිධාන පුවත්පතේ අන්තර්ජාල ප‍්‍රකාශනවලට ද අදාළ වන්නේය.

1. පුවත්පතේ, සඟරාවේ හෝ ස්වාධීන වෙබ් ප‍්‍රකාශනයේ කතුවරයා අවසානයේ දී වගකීම භාරගත යුතු අතර එහි කර්තෘ මණ්ඩල පාලනය සහ ප‍්‍රකාශයට පත්කිරීමට පෙර වෘත්තීය ප‍්‍රතිපත්ති මාලාවේ අඩංගු නියමනයට අනුකූල ද යන කරුණු දෙක ගැනම සැළකිලිමත් විය යුත්තේය.  
2. යොදා ගනු ලබන ලිපි ලේඛන පූර්ව සංස්කරණයකට භාජනය නොවිය යුතු අතර අන්තර්ජාල මාධ්‍ය හෝ අන්තර්ජාල මාධ්‍ය නොවන වෙත් මාධ්‍ය නියාමන ආයතන වලට සම්මතයනට අනුකූල බවට සහතික විය යුත්තේය.

       ➤සමාලෝචනය. 

ශ‍්‍රී ලංකා කර්තෘ සංසදයේ සාමාජිකයන්ගෙන්/සාමාජිකාවන්ගෙන් හා සංසදය විසින් පත් කෙරෙන එහෙත් සංසද සාමාජික නොවන්නන්ගෙන් ද සමන්විත වෘත්තීය ප‍්‍රතිපත්ති කමිටුවක උපදෙස් ඇතිව, ශී‍්‍ර ලංකා කර්තෘ සංසදය මෙම වෘත්තීය ප‍්‍රතිපත්ති මාලාවේ විධිවිධාන වරින් වර සමාලෝචනය නළ යුත්තේය.
පහත දැක්වෙන සංවිදාන මෙම ආචාරධර්ම පද්ධතියට සහයෝගය දැක්විය.

පුවත්පත් ප‍්‍රකාශකයන්ගේ සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ‍්‍රී ලංකා වෘත්තීය පත‍්‍ර කලාවේදීන්ගේ සංගමය, ශී‍්‍ර ලංකා පුවත්පත් ආයතනය, ශී‍්‍ර ලංකා ජනමාධ්‍ය විද්‍යාලය, ශී‍්‍ර ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, ශී‍්‍ර ලංකා ද්‍රවිඩ මාධ්‍ය සංවිධානය, දකුණු ආසියා නිදහස් මාධ්‍ය සංගමය (ශී‍්‍ර ලංකා පාර්ශවය).

සංශෝධනය 2014

දෙවන මුද්‍රණය 2015 මැයි මස


සටහන - ඔමායා කෝවිලගොඩගේ.
SC/MAMM/2018/2019/24